රැල්ලට අහුනොවී නිර්මාණ කරන්නයි මට අවශ්‍යය වුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ ගායන ක්ෂේත්‍රය තුළ සිය හැකියාවන් විදහා පාන තරුණ ගායන ශිල්පියෙකු වූ ධනංජය රූපසිංහට මෙවර සාරවිට තුළින් අප අවස්ථාවක් වෙන් කළේය. මෑත කාලයේ ගීත කිහිපයක්ම නිකුත් කළ ධනංජය මේ වනවිට සිය අලුත්ම ගීතයද එළිදැක්වීමට සුදානමින් සිටියි. සිය සංගීත කටයුතු මෙන්ම අලුත් නිර්මාණ ගැන ඔහු සමග මෙසේ අප කතා බහා කළා.

ඔබ ගායකයෙක් විදිහට දැන් ස්ථාවරද?

තවම නෑ. තව ඉදිරියට යන්න තියෙනවා. මේ ගමන ස්ථාවර ගමනක් නෙවේ. මොකද කාලය එක්ක හැමදෙයක්ම වෙනස් වෙනවා. ඒ රැල්ලට අහු නොවි නිර්මාණයක් බිහි කරන්න තමයි මට අවශ්‍ය වුණේ. මම එක තැනකදී ඒ දේ කළා. ඉතින් මේ ආපු ගමන ගැන මට ගොඩක් සතුටුයි.

දැනට ඔබගේ හඬින් නිර්මාණය ගීත ප්‍රමාණය කොපමණද?

දැනට මගේ හඩින් ගීත 5ක් විතර නිර්මාණය වෙලා තියෙනවා. ඒ හැම නිර්මාණයකටම වගේ සම්බන්ධ වුණේ ලංකාවේ ජනප්‍රිය සංගීත ශිල්පින්. ආදරේ මතකේ.. ගීතය හරහා තමා ගායකයෙක් විදිහට මාව හැමෝම අඳුන ගත්තේ. ඒ ගීතයේ සංගීතය නිර්මාණය කළේ දුලීප් මිරැන්ඩෝ. පද රචනය සෙව්වන්දි වික්‍රමසිංහගෙන්. ඔය අතරේ මට මුණ ගැහෙනවා සත්සර කසුන් පතිරණ. ඔහුගේ පද රචනයකට අමිත් ගුරු අයියගේ සංගීතයට මාව දන්නෑ.. ගිතය නිර්මාණය වෙනවා. ඒ ගීතය මගේ දෙවැනි ගීතය. නැවත දුලීප් මිරැන්ඩෝ එක්ක මා නුබ නමින්.. ගීතය නිර්මාණය කරනවා. එහි රූප රචනය නිර්මාණය කළේ සත්සර කසුන් පතිරණ. පස්සේ එක්තරා රේඩියෝ නාළිකාවක තේමා ගිතය හැටියට ඔබේ සෙවනට.. ගීතය නිර්මාණය වෙනවා මගේ හඬින්. ඒ ගීතයේ පද රචනය කළේ මම. නිසාම් ගුණසේකර තමයි සංගිතය නිර්මාණය කළේ. මේ ගීත සියල්ලම පස්සේ කාලයක් මම නිහඩ වෙලා හිටියා. ආයේ ක්ෂේත්‍රයට ආවේ මන්දෝදරි.. ගීතය හරහා. මන්දෝදරී.. කියන්නේ මගේ ජිවිතය වෙනස් කරපු ගීතයක් කිව්වොත් හරියටම හරි.

ඔබේ අලුත් ගීතයන් නුදුරේම නිකුත් වෙනවා?

ඔව් අලුතින්ම ගීතයක් එන්න තියෙනවා. දැනට කවර් ගීත දෙකක් සහා ඔරිජිනල් එකක් මම නිර්මාණය කරලා තියෙනවා. වෙලාව ආපු ගමන් මේ නිර්මාණ නිකුත් කරන්න මම සුදානමින් ඉන්නවා. මේ හැම අලුත්ම නිර්මාණයක්ම සංගීතය නිර්මාණය කළේ නවපරපුරේ නිර්මාණ කරුවෙක් වූ දිලාන් පෙරේරා.

රටේ තත්ත්වයත් සමග නවක ගායන තරු දැන් ගොඩක් අසරණයි නේද?

ඔව්, ඒක ඇත්ත. මොකද,  එකම රාමුවක කොටු වෙලා ඉන්න එක තමයි මුලිකම  දේ. මෑත කාලේ කලාකරුවෝ සියල්ලම තමන්ගේ ව්‍යාපාර වලට මුල් තැන් දුන්නා. මමත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ වැඩත් කරන ගමන් සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. මේ කාලයේ තුළ නම් ව්‍යාපාරයට තමා මුල් තැන දුන්නේ. ඒ අතරතුර අපේ ගිවිස ගැනිම සිදුවුණා. එයාගේ නම නිලක්ෂි නිමෙශිකා. මන්දෝදරි.. ගීතය නිර්මාණය වෙන්න මුලීක හේතුව ඇය කිව්වොත් නිවැරදිය.

ගායකයෙක් නොවුණා නම් ඔබ මොන වගේ වෘත්තියක නියැළෙයිද?

ගායකයෙක් වුණේ නැත්නම් සමහර විට මම නර්ථන ශිල්පියෙක් වෙන්න ඉඩ කඩ තිබුණා. පාසල් කාලයේ  නර්තනය තමයි කළේ. වාදන, නර්තන දිස්ත්‍රික් මට්ටම් පළාත් මට්ටම් ප්‍රථම ස්ථාන ලබාගෙන තියෙනවා මම. පාසල් කාලයේ විෂයක් ව්දිහට කලේ නර්තනය. ඒත් සංගිතය අතහැරියෙ නෑ. ඒ වගේම චන්න විජේවර්ධන රන්ගාත්‍රයේ නර්තන ශිල්පියෙක් ලෙස කටයුතු කළා. ඒ වගේ රැජිනි සෙල්වනායගම් නර්තන ආචර්‍යතුමිය යටතේ නර්තනය හදැරුවා. පාසලෙන් පසුව තමයි තුම් රී වොයිස් ඇකඩමි එකට සම්බන්ධ වෙන්නේ. ඒ අතරමගදි ජන කලා සංගමයෙන් තරුණ ගායනට හිමි සම්මනය පවා මට ලැබෙනවා.

ලංකාවේ වගේ රටක තරුණ ගායකයොන්ට අද තැනක් තියෙනවද?

ඔව්, දැන් හැම නාලිකාවකම රියලිටි වැඩසටහන් තියෙනවා. තරුණ පරපුරට බලාපොරොත්තු සහිතව තමන්ගේ ඉලක්කයට යන්න හොදම පාර රියලිටි වලින් සළසලා දිලා තියෙනවා. ගොඩාක් සැඟවුන තරුණ තරුණියෝ ඉදිරියට ආවා. ඒත් ඊට වඩා දක්ෂයෝ තිරයේ පිටිපස්සේ ඉන්නවා. මොකද, රියලිට් තරගවලින් ජයග්‍රහණය නොකරන දක්ෂයෝ ගොඩක් එළියේ ඉන්නේ. හැකියාව තිබුණත්, තැන නෑ. හැබැයි සමාජ මාධ්‍යය තියෙනවා දැන් ඕනෑම කෙනෙකුට තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න.

තරුණ ගායකයෙක් විදිහට අද ඉන්න තැන ගැන සතුටුද?

ඔව්, ගොඩක් සතුටුයි. මේ නිසා නැතිවුණ දෙවල් වලට වඩා ලැබුන දේවල් වැඩි. ඒ නිසා ගොඩාක් සතුටුයි. විශේෂයෙන් අම්මා, මගේ බිරිඳ නිලක්ෂි, ඒවගේම මගේ යහලුවෝ පවුලේ හැමෝටම ගොඩක් ස්තුති. හැමෝටම කියන්න තියෙන්නේ උත්සහා කරන්න නැවත නැවතත් උත්සහා කරන්න දවසක හරියයි අනිවාර්යයෙන්ම.

බුද්ධික සේනාධිර