භරත නාට්යයම් රස වෑහෙන රස මංජුසාවක් හැන්දෑවක් ENTERNAL RHYTHM - A DANCE JOURNEY

දෙවියන් හා ආත්මීය ආධ්යාත්මික ප්රේමණීය ප්රේමයකින් බැඳෙන්නට හැකි මාවතක් ඔබට අවැසිද ? එය සාක්ෂාත් කරනු පිණිස අප්රමාණ භක්තියෙන් දෙවියන් අබිමුව වන්දනාවක යෙදෙන මාවත හැරෙන්නට මා විශ්වාස කරන්නේ දෙවියන් හා ආදරයෙන් බැඳෙන්නට ඔබට තැනුණු සෞන්දර්යාත්මක මාවත විවර වන්නේ සංගීතය සහ නර්තනය ඔස්සේය .චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය එක්වූ තෝතැන්න වී නම් ඒ තෝතැන්නේ සොඳුරුතම උරුමයන් වන්නේ නර්තනය සහ සංගීතයයි.සැබැවින්ම එය දෙවියන් විසින් සාංසාරික කුසලයන් දරන්නා වූ මිනිසුන් වෙත පමණක් තිළිණ කරන දිව්යමය ප්රදානයකි.
ගයාත්රි සොයිසා ඒ වත්කම් මිට මොළවාගෙන මෙලොවට සපැමිණියේයැයි මට හැඟේ.ඉඳින් දශක ද්ව්ත්වයකට වැඩි කාලයක් මුළුල්ලේ ඇය නර්තනය හා ආත්මීය සරාගයකින් සරන්නීය.ඒ සරනය තුළ ඇය නර්තන ශිල්පිනියකි.නර්තන ආචාර්යවරියකි.නර්තන නිර්මාණ ශිල්පිනියකි.
ඉතින් ඈ ඒ ආ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ ඇය විසින් සමාරම්භය සනිටුහන් කරන ලද Gayathri School Of Dance නර්තන පාසලයි.
Eternal Rhythm -A Dance Journey ප්රසංගය ඇය ඉදිරිපත් කරන්නේ ඒ ඔස්සේය .
ප්රසංගය -Eternal Rhythm -A Dance Journey
දිනය : 2026.10.23
වේලාව :සවස 6.30
තැන :එල්ෆින්ස්ටන් රඟහල -මරදාන
ප්රවේශපත් විමසීම් :0777357204
Q : ගයාත්රි ඔබ නර්තනයට පෙම් බඳින්නේ පුංචි කාලෙ ඉඳන්ම..........කැමතිද මේ මොහොතේ ඒ අතීත මාවත් දිගේ ඇවිදින්න....
A: ඇත්තටම නර්තනය කියන විෂයට මම ආදරය කරන්න පටන් ගත්තෙ වයස අවුරුදු පහක තරම් පුංචි කාලේ ඉඳන්.මගේ ආදරණීය අම්මා නර්තනය කෙරේ මගේ දක්ෂතා තේරුම් අරගෙන මා ඒ සඳහා යොමු කළා.නර්තනය කියන්නේ මේ තරම් සෞන්දර්යාත්මක මේ තරම් ගැඹුරු විෂයක් කියන්න පුංචි කාලේ මට තේරුණේ නැති වුණාට ඒ කලාව ප්රගුණ කරද්දී ඒ සියල්ල මැනවින් මට අවබෝධ වුණා.අවසානයේ මට හිතෙන්නේ නර්තනය මට මගේ මනෝභාවයන් ප්රකාශයට පත් කළ හැකි අමුතුම වේදිකාවක් වුණා.
Q: නර්තනයේ මුල් අකුර ඔබට ඉගැන්වූ පළමු ගුරුතුමියගේ පටන් මතකයත් මේ මොහොතේ අපි සිහිපත් කරමු
A: භරත නාට්යයම් කලාවේ මගේ මුල් ගුරුතුමිය වූයේ කමලා ජයතිලක ඇදුරුතුමියයි.
ගුරුතුමියක ලෙස නර්තනයේ සියලු මූලධර්මයන් අපිට නිර්ලෝභීවම උගන්වන්න ඇය කළ කැපවීම ඇයගේ දක්ෂතාවය ඇගේ ඉගැන්වීම මට වචනයෙන් විස්තර කරලා කියන්න බැරි තරම් සුවිසල් දායාදයක්. 2002 අවුරුද්දේදී මම මගේ අරන්ගේත්රම් ප්රසංගය පැවැත්වූයේ කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී.මේ මොහොතේ ඒ වෙනුවෙන් මට වචනයකින් හරි ධෛර්යයක් ආශිර්වාදයක් දුන් හැම කෙනාටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
Q: වසර විසි හතරකට පසු එම වේදිකාවේම ඔබ ඔබේ ශිෂ්යාවන් සමඟ නර්තන ප්රසංගයක් පවත්වනවා...ජීවිතය හරි පුදුමයක් ජීවිතය හරි අමුත් දෙයක් ජීවිතය හරි සුන්දර දෙයක් කියලා ඔබට දැනෙන මොහොතක්ද ඒ?
A : නිසැකයෙන්ම ඔව්.ඒ මොහොත මට ආශිර්වාදයක්
Q: ඉතින් නර්තනය හා බැඳුණු ජීවිතයේ තවත් තැන්වල අපි ඇවිදිමු ?
A: මම භරත නාට්යයම් කලාව වගේම කථක් නර්තන කලාවත් ප්රගුණ කළා.ඒ කුමාරි ධම්මගේ ගුරුතුමිය යටතේ.කථක් නර්තන ශෛලියෙන්ද මම විශාරදවරියක් වුණත් ඇත්තටම නර්තන ගුරුවරියක් වීමේ සිහිනියක් මට කවදාවත් තිබුණේ නැහැ.ඒත් කුමාරි ගුරුතුමිය මට කියපු දෙයක් තමයි ඔබගේ දක්ෂතාවය සහ ඔබගේ දැනුම තවත් පරපුරකට තිළිණ කරන්න කියන එක.ඇත්තටම 2005 වසරේ මම මේ නර්තන පාසල ආරම්භ කළේ ඒ දිරිගැන්වීමේ ප්රතිඵලයක් විදිහටයි.ඉතින් දැන් අවුරුදු විස්සක් පුරා මේ නර්තන පාසලත් නර්තනයත් මගේ ශිෂ්යයනුත් මගේ ජීවිතයේ කොටසක් .
Q: ගයත්රි ඔබේ ගමන භරත නාට්යයම් හෝ කථක් නර්තනය කියන සීමාවන් තුළ පමණක් සීමාවූ ගමනක් නෙවෙයි
A: ඔව් මම ලතින් සහ බොල්රූම් කියන නර්තන සම්ප්රදායන් හැදෑරූ ඒ වගේම ඒ තුළිනුත් ජයග්රහණ අත් කරගත් කෙනෙක්.ඒ සියල්ල මම සිහිපත් කරන්නේ හරිම නිහතමානී සතුටකින් සහ තෘප්තියකින්.ඒ වගේම ඔස්ට්රේලියාවේ මෙල්බන් නුවර මොනෑෂ් විශ්ව විද්යාලයෙන් මම ජාත්යන්තර ව්යාපාර පිළිබඳ ශාස්ත්රපති උපාධියක් හැදෑරුවා.ඒ ව්යාපාරික ඥානයත් මම මගේ ජීවිතයේදී යොදාගන්නවා.
Q: ඉතින් බොහෝ දේ අවසානයේ අපි කතා කරමු ඔක්තෝබර් 23 හැන්දෑව ගැන
A: ඇත්තටම මේ ප්රසංගය සාම්ප්රදායික භරත නාට්යම් අංගයන්ගෙන් ආරම්භ වී තවත් බොහෝ රිද්මයන් තුළ ගලා ගෙන යන ප්රසංගයක්.ශ්රී ලාංකික සංගීත සහ නර්තනය වගේම කතක් ලතින් සහ බෝල්රූම් අංගයන්ගෙන්ද වර්ණවත් වන මෙම ප්රසංගයේ තවත් නිර්මාණාත්මක නර්තන අංග වගේම හින්දී සහ දමිළ සිනමා සංගීතය ඇසුරින් නිර්මාණය කළ නර්තන අංගයන්ගෙන් ද සමන්විත ප්රසංගයක් වෙනවා.එහෙත් විශේෂම කාරණය තමයි සාම්ප්රදායික නර්තනයේ ගෞරවයේ රිද්මය සහ සාම්ප්රදායික අනන්යතාවය රැකෙන පරිදි තමයි මේ සියල්ල සිදුවන්නේ .මගේ ජීවිතයේ ආදරණීයම සෙවණැල්ලක් වූ කුමාරි ධම්මගේ ගුරුතුමියත් කෙවින් නුගාරා මහතාත් එදාට සුවිශේෂී අමුත්තන් ලෙස මේ ප්රසංගය වර්ණවත් කරන්නට එනවා.ඇත්තටම මේ ප්රසංගය සඳහා පැමිණෙන හැම කෙනෙක්ම මම පිළිගන්නේ හරිම ගෞරවයකින් .මොකද ප්රවේශපත්රයක් අරගෙන එන අය පවා එන්නේ මේ නර්තන කලාවට මට සහ මගේ ශිෂ්යාවන්ට තියෙන ආදරය සහ ගෞරවය වෙනුවෙන් බව මම විශ්වාස කරනවා.
ඉතින් තවමත් Enternal Rhythm - A Dance Journey විඳින්න යන්න ඔබට ද්වාරය ඇරී තිබෙනවා තිබෙන වග අපි සටහන් කර තබමු.




























