නීල් අලස් අපේක්ෂා රෝහලේ....අලුත් හුස්මක් වෙනුවෙන් ආදරණීය නීල්ට ආශිර්වාද කරන්න
සරණක් අවැසි මොහොතක
ආශිර්වාදයක් අවැසි මොහොතක ඒ සරණ ඒ ආශිර්වාදය නිර්ලෝභීව තුටු සිතින් කවරෙකු වෙත හෝ පිරිනැමිය හැකිනම් මනුෂ්‍යත්වයේ සොඳුරුතම කතාන්දරයක් ළයාන්විතම අක්ෂරයෙන් ලියැවෙන මොහොතක් නොවේද ඒ......

මේ ආදරණීය කලාවේදියාණන්ටද දැන් ඔබගේ ආශිර්වාදය අවැසිය .
ඔහු
ජ්‍යෙෂ්ඨ රංගධර නීල් අලස්ය මේ වෙද්දී ඒ ප්‍රවීණයා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබයි.
ලාංකික කලා ක්ෂේත්රයට අභිමානයක් වූ ලාංකික කලා ක්ෂේත්රය තුළ ස්ව අනන්‍ය මුද්‍රාවක් සනිටුහන් කළ ඒ ආදරණීය කලාකරුවාට ඉතින් හදවතින්ම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න .මක්නිසාද යත් මේ ඒ ආදරණීය රංගධරයාට ඔබේ ආශිර්වාදය අවැසිම මොහොතයි.
සැබැවින්ම නීල් අලස් යනු ලාංකික සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය කලාවේ අමතක නොවන චරිත රැසකට පණ පෙවූ විශිෂ්ට කලාවේදියෙකි.
නීල් අලස් කලාවේදීයාණන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් සමාජ මාධ්‍ය පුරා විවිධ සටහන් ලියැවී තිබේ.
1948 ජූනි 21 වැනිදා උපත ලැබූ නීල් අලස් මහතාගේ කලා ගමන ආරම්භ වන්නේ පාසල් වියේදීමයි.
මිතුරන් කිහිපදෙනෙකු සමඟ එක්ව 'හැංගි මුත්තං' නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරමින් නාට්‍යකරණයට පිවිසි ඔහු, දයා වයමන්ගේ 'අම්මයි පුතයි' වේදිකා නාට්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වේදිකාවට එක්විය.
එම රංගනයෙන් පැහැදුණු ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහතාගේ 'දුන්න දුනුගමුවේ' නාට්‍යයට එක්වීමට ලැබීම ඔහුගේ කලා දිවියේ සුවිශේෂී අවස්ථාවක් විය.
එතැන් පටන් ඔහුගේ රංගන ප්‍රතිභාවෙන් හැඩවූ වේදිකා නාට්‍ය සංඛ්‍යාව 75කට ආසන්නය.
කැලණි පාලම තාරාවෝ ඉගිලෙති , ධවල භීෂණ, ට්‍රෝජන් කාන්තාවෝ , තල මල පිපිලා ,ගජමන් පුවත අංගාරා ගඟ ගලා බසී

මේ ඔහුගේ අසීමිත රංගන හැකියාවෙන් ඔපවත් වූ වේදිකා නිර්මාණ අතරින් කිහිපයක් පමණි.
සිනමාව තුළ ද ඔහු තැබූ රංගන සලකුණ සුළුපටු නොවේ.
සොල්දාදු උන්නැහේ, බිත්ති හතර, සතර පෙර නිමිති, රිදී නිම්නය, කැලෑමල්, කරදිය වළල්ල, මධුසමය, පාලම යට, ක්‍රිස්තු චරිතය ඇතුළු චිත්‍රපට රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබේ.
දූ දරුවෝ, බුමුතුරුණු, බැද්දේගෙදර, මරු සමය ඇතුළු ටෙලිනාට්‍ය නිර්මාණ ඔස්සේ ද ඔහුගේ රංගන ප්‍රතිභාව ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේය.
කලාවේදියෙකුගේ සැබෑ වටිනාකම දැනෙන්නේ ඔහුගේ රංගනයෙන් අප ලැබූ සතුට මතක් වන විටයි.
ආදරණීය නීල් අලස් කලාවේදියාණෙනි
හිතවතාණෙනි
සුලවතාණෙනි......
ඔබට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුව ලැබේවා ....
යනු සාරවිට අපේ හෘදයාංගම ප්‍රාර්ථනාවයි.
