ලේක් හවුස් සොඳුරු හිතවතාණෙනි දැන් ඉතින් සමුගන්න......

  • 21-10-2026

ආවොතින් යා යුතුමය.......
නොගොසින් යළි එන්නට බැරි නිසා ආවොතින් යා යුතුමය....
එදා දවසක් දා නොරිකො සං දෙවෙන්දරෝ සංට කීවෙත් ලොව ඇත්තේ යාම් ඊම් විතරයි කියලා....
ඉතින් අපි එනවා....
ඉතින් අපි යනවා...
ආයෙත් එනවා ආයෙත් යනවා.....

ඒ නියත දහමට අවසඟව යන්න අපි කාටවත් බෑ......සංසාර වීදියෙන් වීදියට සංසාර මන්දිරයෙන් මන්දිරයට හුඟාක් භව නැවතුම්වල නැවතිලා ඇති....යළි යළිඳු නැවතෙනවත් ඇති.......

මම කවදාවත් මරණය විශ්වාස කරන්නෙ නෑ...මොකද සම්මුති මරණය තුළ මිනිස්සු මැරෙන්නෙ භෞතිකව විතරයි.......

භෞතිකයෙන් අවකාශයට මුදාහැරෙන විඥානය නැවත නැවතත් මේ භව සුවිසැරිය සරා භෞතිකයන් හා ඒකාත්මික වෙමින් සැරිසරනවා....

ඒත් මරණය මියගිය උන්ට නොව ජීවත් වෙන ආදරණීයන්ට වේදනාවක් වෙන්නෙ ආය කවදාවත් ඒ සමුගැනීම යාවත්කාලීන නොවන නිසා......

ඉතින් තිලක් පෙරේරා ආය කවදාවත් තිලක් පෙරේරා විදිහට අපිට මුණගැහෙන්නෙ නෑ........ ඒ ලේක් හවුස් මේ විජයපුවත්පත් සමාගම කියන එක කවදාවත් අපේ මාධ්‍ය තුළ ගොඩනැගෙන සහෝදරත්වයට ආදරයට මිත්‍රත්වයට හේතුවක් නෙවෙයි කියන්න මට හමුවුණු සොඳුරුතම සංනිදර්ශනයක් තමයි තිලක් අය්යෙ ඔයා....

ඔයා හැමෝටම හරි ආදරණීයම මිත්‍රත්වයකින් සහ ගෞරවයකින් සලකපු හිත හොද මනුස්සයෙක් ...කලා ක්ෂේත්‍රයට අලුතින් එන තරු වෙනුවෙන් ආපිට කිසිවක්ම බලාපොරොත්තු නොවී නිර්ලෝභීවම මුල්පිටු වෙන්කරපු ඒ අයට හැමදාම ආශිර්වාදයක් පිරිනමපු ජායාරූප ශිල්පියෙක් ඔයා.....

ජායාරූප ශිල්පියෙක් ළඟ තියෙන්න ඕනෑ විනය සදාචාරය ළෙන්ගතුකම සහයෝගිත්වය වාං දමා ඉතිරෙන්නම හදවතේ පුරවාගත් කෙනෙක් ඔයා...

කවදාවත් කාටවත් හිරිහැරයක් වදයක් නොදුන්න සුන්දරම මනුස්සයෙක් ඔයා....ඔයාගෙ දිලිහෙන ලොකු දුඹුරු ඇස් දෙක ගැඹුරේ හිනාවෙ විසිරිලා තිබුණේ හරිම හැඟීම්බර මිත්‍රත්වයක්...ඒ හිනාව මරන්න මරණයට බෑ අය්යෙ ...ඒ හිනාව ඒ තරම් ප්‍රියමනාපයි....

සුලෝචන ගමගේ ඊයේ post එකක් දාලා මචං උඹගෙ කැමරා එකයි ලැප්ටොප් එකයි තාම මේසෙ උඩ ....කියලා

ඉතින් ඒ හිස්තැන ලේක් හවුස් එකේ සඟයන්ට විතරක් නෙවෙයි තව හුඟාක් අයට දැනේවි තිලක් අය්යෙ....

ඊයේ ඔයා වෙනුවෙන් දයාන් විතාරණ මෙහෙම සටහනක් එකතු කරලා තිබුණා.....

පුවත්පත් කලාවේ ප්‍රකට ඡායාරූප ශිල්පියෙක් වන ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කර්තෘ තිලක් පෙරේරා අද  සිය දිවිසැරිය නිමා කරයි......

ප්‍රකට ඡායාරූප ශිල්පි තිලක් පෙරේරා ටික කාලයක් අසනීප තත්ත්වයෙන් සිට අද සවස අපේක්ෂා රෝහලේ දී අභාවප්‍රාප්ත වේ. 

1966 නොවැම්බර් මස 22වැනි දින උපත ලැබූ ඔහු තව මාසයකුත් දින  2ක් ජීවත්ව සිටියේ නම් ඔහුගේ 60වැනි විය සපුරනු ඇත.

කුලතුංග පෙරේරා හා අයිරින් පෙරේරා යුවලට දාව උපත ලැබු මාලබගේ තිලක් පෙරේරා සහෝදරයන් සිව් දෙනෙක්ගෙන් යුතු පවුලේ තුන් වෙනියා ලෙස ජන්මය ලැබීය. තලවතුගොඩ අග්‍රාමාත්‍ය විදුහලෙන් කුඩා කල සිප්සතර හදාරා පසුව කොළඹ සුසමයවර්ධන මහ විදුහලෙන් පාසල් අධ්‍යාපනය නිම කරන ඔහු ඡායාරූප ශිල්පීන්ගේ සංගමයට සම්බන්ධ වෙමින් මුලික දැනුම ලබාගත්තේය. 

විනෝදාස්වාදය සඳහා ඡායාරුපවේදය ආරම්භ කළ තිලක් පසු කලෙක 'ලේක්හවුස්' ආයතනයට සම්බන්ධ වන අතර එහිදී විවිධ ඡායාරූප ගනිමින් සිටින අතරේ ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරවිටබණ්ඩාර‍යන් 'සරසවිය' පුවත්පතට ඔහුව සම්බන්ධ කර ගත්තේය.

එහිදී සිනමාව, වේදිකා සහ ටෙලි කලාකරුවන් හා රංගන ශිල්ප ශිල්පීණියන්ගේ මෙන්ම සුපතල චරිතයන්ගේ ඔහු ගත් අගනා ඡායාරූපයන්ගෙන් 'සරසවිය' මුල්පිටු බොහෝ විට හැඩවිය. විශේෂයෙන් මෑතකදී ඔහු කළ කවර අතර තරුණ කලාකරුවන් වෙනුවෙන් කර තිබූ ඡායාරූපයන් මා ඉතා ප්‍රිය කරන අතර, ආසන්නතම වශයෙන් පුබුදු සහ මාෂී පෙනී සිටි කවරය ද මම ප්‍රිය කරන්නෙමි.

'රසඳුන' පත්‍රය ආරම්භයේ දී නැසීගිය කලාවේදී ධර්මසිරි ගමගේ විසින් 'සිළුමිණ ; රසඳුන' අතිරේකයට ඔහුව දායක කරගත් අතර එමගින් තිලක්ට 'රසඳුන' මුල් පිටුව මෙන්ම ධර්මසිරි ගමගේයන් සමග දිවයින පුරාම සංචාරය කර චාරිකා  සටහන් ලිපියට ජායාරූපකරණයේ නිරත වන්නට ද අවස්ථාව සැලසුණි. 

පසු කාලයක 'සන්ඩේ ඔබ්‍සවර්' පුවත්වල කර්තෘවරුන් වන ලක්ෂමන් ගුණසේකර හා ජයතිලක සිල්වා, දිනේෂ් වීරවංශ ද එම පුවත්පතට සම්බන්ධ කරගත් අතර එහිදී ප්‍රවෘත්ති, වනජීවි සහ ක්‍රිකට් අතුළු සියලුම විෂය බාහිර ඡායාරූප ගැනිම සඳහා ද ඔහුට ඉඩහසර වෙන්වුණි.

පසුව මානුෂික මෙහෙයුම සමයේ උතුරු නැගෙනහිර මෙහෙයුම අවසන් වනතුරුම සිය ජිවිත පරිත්‍යාගයෙන් යුධ හමුදාව සමග එක්ව ත්‍රස්තයන් හා උරෙන් උර ගැටෙමින් යුධ පුවත් ප්‍රවෘත්ති ජායාරූප සැපයීමට පවා මුල් වූ ඔහු 'ලේක්හවුස්' ආයතනයේ සියළුම පුවත්පත් සඳහා ඡායාරූපකරණයෙන් දායක විය.

බූඩි කිර්තිසේනයන්ගේ 'මාතා' චිත්‍රපටයේ මෙන්ම එම්. සපීර්ගේ 'මම නෙවෙයි' වැනි නිර්මාණයන්හි නිශ්චල ඡායරූප ශිල්පියා ලෙස ද කටයුතු කළ ඔහුගේ ඡායාරූපයක් මුල්වරට ගැනීමට මට හැකිවනුයේ 2020 වසරේ ජනවාරි මස පැවැත්වුණු චන්න පෙරේරාගේ අභිනව චිත්‍රපට මුහුරත් උත්සවයේ දී ය. 

චාන්දනී අතුකෝරළ සමග විවාහපත්ව සිටින ඔහුට තරිණි සරලා සහ තරුෂි නේත්‍රා නම් දුවණියන් දෙදෙනෙක් සිටී.

අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ මෘතදේහය තලවතුගොඩ පන්නිපිටිය පාරේ අංක 351/A දරණ ඔහුගේ නිවසෙහි තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු 22වැනි දින එනම් ලබන බ්‍රහස්පතින්දා සවස 6.00ට තලවතුගොඩ වැලිපාර පොදු සුසාන භූමියේ දී සිදුකරනු ලැබේ. 

ඔහුගේ වියෝවෙන් මේ අවස්ථාවේ ශෝකයට පත් වී සිටින ඔහුගේ භාර්යාව සහ දියණියන් දෙදෙනා ඇතුලු පවුලේ සියලුදෙනාටම මගේ සාතිශය සංවේගය පළකරන අතර, ඔහුට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවායි ප්‍රාර්ථනා කරමි. 

ඉතින් ආදරණීය හිතවතාණෙනි ........

ඔයා දන්නවද තාම කවුරුත් ඔයාගෙ දොසක් කියනවා ඇහුවෙ නෑ මම......

ජීවිතය කියන්නෙ හුස්ම වැටෙන එකට නෙවෙයි හුස්ම ගන්න එකට කියලා කියා දුන්නට ඔයාට හුඟාක් ස්තූතියි අය්යෙ....

ගිහින් එන්න එහෙනම් ......

මතකය හැමදාමත් සුරක්ෂිතව ළඟ රැඳේවි......නියත දහමට අවසඟව යා නොහැකි මුත් සසර තව දිගු බව දනිම්....ඉතින් අපි යළි යළිඳු මේ සසර අතරමඟ නොවැරදීම හමුවේවි ....

ආදරණීය අය්යේ සසර සරා ඔබ පැතූ ජීවිතයක් වෙත්නම් එයම මුණගැසේවා