ලූෂන්ගේ කොළඹ රේල්ලුව දැන් රජ ගමනේ

  • 13-05-2026

තමන් ආදරයෙන් ලියූ ගීතයක අයිතිය වෙනුවෙන් ලූෂන් බුලත්සිංහල අවුරුදු 14ක් නඩු කීවා...ළඳුනේ ,කන්‍යාවී ,
තාර පාර දිග  ,මුතුකුඩ ඉහලන මල් වරුසාවේ වැනි අතිශය සෞන්දර්යාත්මක සේම හරවත් ගී සහසක් ලියූ ලූෂන්  තමන්ගෙ ගීයක අයිතිය වෙනුවෙන් කී නඩුවේදී ‘ටොරානා මියුසික්’ ආයතනයට  රුපියල් මිලියනයක දඩයක් ගෙවන ලෙසට  ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ඇත්තටම ගීයක අයිතිය ගැන සමාජයේ ඇස්  ආයෙත් ඇහැරවමින්.   ලූෂන් බුලත්සිංහල ලියූ ‘පිනිබර යාමේ සැවුලන් හඬලනවා ගීතය වෙනුවෙන් තමයි ලූෂන් නඩු කීවේ.


‘දීකිරි දීකිරි ගෙනාවා දීකිරි මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි‘ වේදිකා නාට්‍ය ගීතය මෙරට ශ්‍රාවකයන්ට  ඇසුණේ 1974 දී . ඒ රතු හැට්ටකාරී නාට්‍යයට. ඉතින් ඊට පස්සෙ  වසර හතකට පසු නිර්මාණය වුණු ‘තාරාවෝ ඉගිළෙති‘  නාට්‍යයට ලූෂන් ලියූ  ‘සෝබාව දේ මෙපුර‘ වැනි ගීත අදටත් එදා වගේම අදත් ජනප්‍රියයි.. ලූෂන්  නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ප්‍රවීණ  මාධ්‍යවේදියෙක්., ගීත රචකයෙක්., රංගන ශිල්පියෙක්.ලේඛකයෙක්. 


 ගීත 350-400කට අතර සංඛ්‍යාවක් ලියූ ලූෂන්  දම්පාටින් ලා සඳ බැසයනවා, දෙතොල නොකී දේ දෙනෙත් කියැවෙනවා, අහසින් තරුවක් කඩා වැටෙනවා, බිංදු බිංදු තාරකා, සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ, තරුමල් යායම පොඩිකර අහස් විලේ, විදුලි මිණි පහන් දැවී, මඩේ ලගින තාරාවන් නාවන්නද මං, මේ ගඟ මේ දුරුකතර ගෙවා, පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්, සිරියහනේ ලණු ඉහිරී වැනි ගීත  මේ මොහොතේ යළි මා මතකයට නැගේ.

‘‘මම ඉපදී හැදී වැඩුණේ රත්මලාන ප්‍රදේශයේ. එදා එහි අපමණ ගැමි සුන්දරත්වයක්, ජීවන පැවැත්මක් තිබුණා. ඒ වටපිටාව තමයි මගේ ගී නිර්මාණවල උල්පත වුණේ. එහෙම නැතිව මම හද්දා පිටිසර අමු ගැමියෙක් නෙවේ. ඒත් අද අපි දකින රත්මලානට වඩා ඉතා සන්සුන්, නාගරීකරණයෙන් ඔද්දල් නොවූ පරිසරයක් එදා එහි තිබුණා. පිනිබර යාමේ සැවුලන් හඬලනවා” ගීතයත් මගේ කුඩා කාලයේ ඇත්දැකීම්වලට සම්බන්ධයි. මේ ගීතයේ කියැවෙන වෙලාවට තමයි අපේ තාත්තා කෝච්චියේ වැඩට යන්නේ. රත්මලානේ මුහුද අද්දර තමයි අපේ ගෙවල් තිබුණේ. ලුනාව පැත්තෙන් කෝච්චිය එන සද්දෙ ඇහෙන කොට තාත්තා ගෙදරින් පිටත්වෙනවා. ඉහේ හිටන් පොරවගෙන නිදන් ඉන්න මාව ඇහැරවලා, මට දවසේ වැඩ නියම කරලා තාත්තා ගෙදරින් යන්නෙ. ඒ අත්දැකීම් මට හොඳට මතකයි. ඒත් ඔය කියන පිනිබර යාමේ ගීතයෙන් කියැවෙන දරුවා මං කියලා හුඟක් අය දන්නෙ නැහැ.”


ඒ මීට දශක හතරකට පෙර  ‘පිනිබර යාමේ සැවුලන හඬලනවා’ ගීතය ලියවුණු ප්‍රස්තුතය ගැන ලූෂන්ගේ මතකය අවධි කිරීමක්.


‘‘සුනිල් දවසක් ගුවන් විදුලි වැඩසටහනකට ගිතයක් ඉල්ලුවාම මම ඔය ගීතය ලියලා දුන්නා. හිතවත්කමට දුන්නා මිස සල්ලි ගත්තේ නැහැ. මම ඉල්ලුවෙත් නැහැ. එයා දුන්නෙත් නැහැ. ඔය වගේ මම ලිව්ව කිසිම ගීතයක් මම මුදල් බලාගෙන ලියලා නැහැ. මේ ගීය ගායනා කිරීම ගැන මමත් සුනිලුත් අතර කිසිම ලිඛිත ගිවිසුමක් තිබුණෙ නෑ. ඔහු අවුරුදු 40ක් පමණ කාලයක් සජීවි සංගිත ප්‍රසංගවල මේ ගිතය ගැයුවා. කැසට්පටවල සීඩී පටවල ගියා. මම කවදාවත් සල්ලි ඉල්ලලා නැහැ. කිසිම ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ඔය බුද්ධිමය දේපළ පනත ගැන අපි එතරම් කරුණු කාරණා දැනගෙන හිටියෙත් නැහැ.’’
ගීතයක අයිතිය මූලික වශයෙන් සාකච්ඡා වන්නේ බුද්ධිමය දේපළ නීතියේ ප්‍රකාශන හිමිකම් නීතිය (Copy Rights) යටතේය. ප්‍රකාශන හිමිකම් නීතියේ දී සාකච්ඡා වෙන්නේ සාහිත්‍යමය, කලාත්මක හෝ විද්‍යාත්මක ආදී නිර්මාණවල (උදා : පොත්, ගීත, නාට්‍යය චිත්‍රපට) අයිතිය හිමිවන්නේ කාටද යන කාරණාවය. නමුත් අනෙකුත් නිර්මාණවලට සාපේක්ෂව ගීතයක යම් විශේෂත්වයක් ඇත්තේය. ඒ ගීතය කියන්නේ තනි පුද්ගල නිර්මාණයක් නොව ගේය පද රචකයා, සංගීත ශිල්පියා සහ ඉදිරිපත් කරන්නා හෙවත් ගායකයා යන තිදෙනකුගේ දායකත්වයෙන් යුතු සාමූහික නිර්මාණයක් නිසාය. මේ අය ගීත නිර්මාණයකට දායකත්වය ලබාදෙන ප්‍රධාන චරිත ත්‍රිත්වය වෙන්නේය.
‘‘කොහොම නමුත් ඔය කාලවකවානුව වෙනවිට ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ගැන යම් යම් කරුණු කාරණා දැනගෙන තිබුණා. මේක අවුරුදු දෙසියකටත් එපිට සිට ලෝකයේ ක්‍රියාත්මක වෙන දෙයක්. නමුත් ලංකාවේ අපි මෙහෙම පනතක් ගැන දන්නේවත් නැහැ. ඒවා ක්‍රියාත්මක කළයුතු ආයතන ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. ඔය දැනුම්වත්භාවයත් එක්ක ගැටලු මතුවුණේ 2009 දී පවත්වන ලද සඳකඩපහණ අබියස ගීත ප්‍රසංගය පැවැත්වුව වෙලාවේ. මේ ප්‍රසංගය තිබුණෙ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදි. මේ ප්‍රසංගයේදි සුනිල් ගායනා කළ ගීත අතර මගේ පිනිබර යාමේ ගීතයත් තිබුණා. ඒ වෙලාවේ මේ සම්පූර්ණ ප්‍රසංගයම පටිගත කරලා හදපු වීඩියෝ පටය Torana ආයතනය සතු වුණා. ඊට පසුව ටොරානා ආයතනය මේ ප්‍රසංගයේ ඩීවීඩීපටය දේශීයව මෙන්ම අන්තර්ජාතිකවත් වෙළෙඳපළට නිකුත් කළා. මේක වෙළෙඳ ගනුදෙනුවක්. නමුත් මේ වාණිජමය කාර්යය සම්බන්ධයෙන් ගේයපද රචකයා වුණ මට කිසිදු දැනුම් දීමක් කළේ නැහැ.’’


 සුනිල් එදිරිසිංහ මේ ගීය සජීවී ප්‍රසංගවල ගායනා කළත් මෙම ගීතය වාණිජ අරමුණකින් පටිගත කිරීමට, එම ගීතයෙන් නිෂ්පාදනයක් කිරීමට   හෝ විකිණීමට කිසිම අනුමැතියක් ලබා දී නොතිබුණේය. ඒ අනුව තමන්ගෙ ආර්ථික අයිතිවාසිකමක් කඩ වූ බව තීරණය කළ ලූෂන් බුලත්සිංහල  2012 මැයි 4 වැනිදා මීට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය ඉදිරියේ නඩුකරයක් ගොනු කළේය
 ගීතයේ රචකයා වූ ලූෂන් බුලත්සිංහල  පැමිණිල්ල ඔස්සේ කියා සිටියේ ටොරානා මියුසික් ආයතනය විසින් තමාගේ අවසරයකින් තොරව ගීපද රචනාවක් ප්‍රතිනිර්මාණය කර අලෙවි කළ බවත් එය බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් බැවින් තමා වෙත මූල්‍යමය වන්දියක් ලබා දෙන ලෙස සහ තමන්ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම රැකදෙන ලෙසත්ය.

‘‘මෙතනදි මගේ නඩුවට කිසිදු මුදලක් නොගෙන පෙනී සිටියේ අශෝක සේරසිංහ මහත්තයා. අපි ඒ වෙලාවේ නඩුව අවසන් වෙනතෙක් මේ ඩීවීඩීපටය විකිණීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලුවා. නමුත් 2013 පෙබරවාරි 20 වැනිදා, කොළඹ වාණිජ මහාධිකරණය විසින් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ නඩුව අහන්න පටන් ගත්තා. මම කිව්වා මේ ගී පද රචනාව පටිගත කරන්නවත්, ඩීවීඩී ලෙස විකුණන්නවත්, වාණිජ අරමුණකින් බෙදාහරින්නවත් මම අවසර දීලා නෑ කියලා. ඒ වෙලාවේ ටොරානා අධිපති සරත් කොතලාවල මහත්තයා කිව්වා මේ ගීතයේ ගීපදවල අයිතිය ගැන හොයා බැලුවේ නැහැ කියලා. ඒ හින්දා රචකයාගෙන් ලිඛිත අවසරයක් නොගත් බව. ඔවුන්ගෙ කාර්යය වුණේ තමන්ට ලැබුණු වීඩියෝපටය ඩීවීඩීපටයක් ලෙස නිෂ්පාදනය කිරීම බව. 

ලූෂන් බුලත්සිංහල ජයග්‍රාහකයෙක් බවට පත් කරමින්
විනිසුරු තීරණය ලබා දුන්නත් එම තීරණය සම්බන්ධයෙන් එකඟ නොවූ ටොරානා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය. ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදිනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් ඉදිරියේ එම අභියාචනය විභාග වූ අතර
 ටොරානා මියුසික් ආයතනය තමන්ගේ අභියාචනය ප්‍රධාන කරුණු 4ක් යටතේ ගොනු කර තිබුණි.

ඒ පිළිබඳව සටහන් වී තිබුණේ මෙලෙසය.

 පළමුවැන්න 

බුද්ධිමය දේපළ පනතේ 17 වගන්තිය යටතේ ගායකයකුට තමන්ගේ ඉදිරිපත් කිරීමක් ඒ කියන්නේ ගිතයක් පටිගත කිරීමට සහ එය ප්‍රතිනිර්මාණය කිරීමට අයිතිය තිබෙන බැවින් සුනිල් එදිරිසිංහ මහතා මේ ගීතය ඉදිරිපත් කරමින්, ප්‍රතිනිර්මාණය කිරීමේ අයිතිය ලබාගත් බවත් එය නීත්‍යනුකූල ක්‍රියාවක් බවත්ය.


දෙවැන්න 

  ඩීවීඩී පටයක් සහ ගීපද රචනාවක් අතර විශාල වෙනසක් තියෙන බවත් ඩීවීඩී පටයකින් සිදුවන්නේ ගේය පද රචනාවක් බෙදාහැරීම නොව, සජීවී ඉදිරිපත්කිරීමක් බෙදාහැරීමක් බවත්ය.


  තුන්වැන්න  

 මෙම ඉදිරිපත් කිරීම ගායකයාගේ කාර්යයක් බැවින් ඒ සඳහා ගී පද රචකයාට මැදිහත්වීමක් සිදුකළ නොහැකි බවත්ය.

  සිව්වැන්න 


 බුද්ධිමය දේපළ පනතේ 18 වැනි වගන්තිය යටතේ ශබ්ද පටිගත කිරීම් කරන නිෂ්පාදකයන්ගේ අයිතිවාසිකම් අනුව තමන්ගේ අයිතිවාසිකම බුක්ති විඳින බවය.


‘‘ඊට පසුව මමත් කරුණු ගොනු කළා. මම කිව්වෙ මේ නිෂ්පාදනය කොහොම කළත් එයට භාවිත කළ ගී පදවල අයිතිය මා සතු යි. මේ ගීපද ඇසුරින් කිසිම ප්‍රතිනිර්මාණයක් කරන්න කවුරුවත් මගෙන් අවසර ගත්තෙ නැහැ. ටොරානා ආයතනය තමන්ගෙන් අවසර ගත යුතුව තිබුණා. නමුත් මම අවසර නොදුන් දෙයක් ටොරානා ආයතනය සිදුකර තිබෙනවා. ගායකයකුට ගීතයක් සජීවී ප්‍රසංගයක ගායනා කිරීමට අවසර දීමෙන්, එහි පටිගතකිරීම් අලෙවි කිරීම මේ ආදියෙන් වාණිජ කටයුතු සඳහා අයිතිය දුන් බවක් ඇඟවෙන්නෙ නැහැ කියලා මම කිව්වා. ටොරානා ආයතනය කියපු තව දෙයක් තමයි මේ ගීතය සුනිල් එදිරිසිංහ මහත්තයා අවුරුදු 40ක් විතර දීර්ඝ කාලයක් තිස්සේ ගායනා කරපු එකක් කියන එක. කොයිතරම් දීර්ඝ කාලයක් වුවත්, අවසරය ලැබිලා තියෙන්නෙ සජීවීව ගායනා කිරීමට නම්, කාලය ගතවීමෙන් පටිගත කර විකිණීමට අයිතියක් ලැබෙන්නේ නැති බව මම කිව්වා. ඊට වෙනම අවසර ගත යුතු බව මම පෙන්වා දුන්නා.’’


අවසන් නඩු තීන්දුවෙන් පසු ඒ ගැන ලියවුණේ මෙහෙම.

මේ සියලු ඉල්ලීම් අධිකරණය විසින් සලකා බලා ගායකයාගේ අයිතියත්, නිෂ්පාදකයාගේ අයිතියත් අනිවාර්යයෙන් තිබෙන බවත් නමුත් ඒ හා සමගම ගීපද රචකයාගේ අයිතිය සීමා නොවන බවත් මේ සියලු අයිතීන් සමාන්තරව රැකෙන බවත් ඒ අනුව ගී පද රචකයාගෙන් ද අවසර ලබාගත යුතු බවත් සඳහන් කරමින් 2026 වසරේදී  ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

මේ අනුව ටොරානා මියුසික් ආයතනය විසින්, ලූෂන් බුලත්සිංහලට සියලු නඩු ගාස්තු සහ රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවීමට නියම වුණා.

‘‘මේක ලංකාවේ ගීපද රචකයන්, ගායකයන් සහ සංගීත නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් සම්බන්ධ අතිශය වැදගත් නඩු තීන්දුවක්. ලෝකයේම නීතියෙන් සියලු දෙනා ආරක්‍ෂා කරද්දි අපේ රටේ තවම අදාළ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් දැනුම්වත්භාවය පවා අඩුයි. මෙයින් වෙන්නේ ව්‍යාපාරිකයන්ට හම්බු කරන්න අවස්ථාව ලැබීම. හැමවිටම ගීතයක් පටිගත කරලා අලෙවි කිරීමේදී එහෙම නැත්නම් යම් තැනක බෙදාහැරීමේදී ගායකයා ගැන විතරක් සලකා නොබලා ගීපද රචකයා ගැනත් අනිවාර්යයෙන් සැලකිය යුතුයි කියන එකත් මේ නඩු තීන්දුවේදී ඔප්පු වුණා.’’

ගීයක ගී පද රචකයා කවුරුන්දැයි නොදන්නා තරමට ගී පද රචක භූමිකාව හෑල්ලු වී ගායක ගායිකාවන් බොහොමයක්  තනියෙන් ගී විකුණාගෙන කන  සමහර Super Stars ලා අනුන්ගේ ගීත අමු අමුවේ මරණ විකුණාගෙන කාලෙක ඇත්තටම මේ නඩු තීන්දුවට අපගේ උත්තමාචාරය.