සංසාරේ දඩයක්කාරයා දැන් තිරගතවෙයි


සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රසන්න ජයකොඩි මහතා විසින් නිර්මාණය කරන ලද ‘සංසාරේ දඩයක්කාරයා’ පසුගියදා සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාහල්වල තිරගත විය.

ඝන කැලෑවක්, ගමක්, පන්සලක් මෙන්ම ගමෙහි වැසියන්ගේ මාංශ අවශ්‍යතාවට සතුන් මරන දඩයක්කරුවෙකු සහ ‘ගෝමරි’ නම් තරුණියක අතර ගලා යන මෙම චිත්‍රපටය ප්‍රවීණ ලේඛක සයිමන් නවගත්තේගම සූරීන්ගේ ‘සංසාරයේ දඩයක්කාරයා’ කෘතිය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද්දකි.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ප්‍රසන්න ජයකොඩි මහතා විසින් ආගම්වේදීන් හා දර්ශනවාදීන් කොතෙක් සිටියද, සොබා දහම හැර වෙනත් දහමක් ඇත්ද? සත්ත්වයා තුළ ආහාර ගැනීම හා ලිංගිකව එක්වීම හැර පැවැත්මේ වෙනත් සාධකයක් තිබේද? යන සොබා දහමේ නීතිය විමසීමට ගත් උත්සාහයක ලෙස ‘සංසාරේ දඩයක්කාරයා’ චිත්‍රපටය නිර්මාණය වී ඇත.

මෙම චිත්‍රපටයට සංජීව උපේන්ද්‍ර, හේමසිරි ලියනගේ, ක්‍රිස්ටිනා බ්‍රිටෝ, ඉසුරු නවෝද් (ළමා නළු), තුසිත ලක්නාත් රංගනයෙන් දායක වන අතර, නිෂ්පාදනයෙන් රසිත ජිනසේන, කපිල ද සිල්වා සහ වසන්ත බණ්ඩාර දායක වී තිබේ.

මීට අමතරව කැමරා අධ්‍යක්‍ෂණයෙන් විශ්ව බාලසූරිය, සංස්කරණයෙන් රංගන සිංහාරගේ සහ ජීවන්ත ගුණතිලක, සංගීත අධ්‍යක්‍ෂණයෙන් සුමුදු ගුරුගේ, අංග රචනයෙන් නාරද තොටගමුව, සහාය අධ්‍යක්‍ෂණයෙන් චමින්ද පෙරේරා, කලා අධ්‍යක්‍ෂණයෙන් රොහාන් සමරදිවාකර, විශේෂ ප්‍රයෝග අංශයෙන් රෝෂන දෙල්වල, චමිත ලක්මාල් සහ ගයාන් ගුණසේකර, වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර, ෂින් ජුං යුන් සහ කිම් ඉල් ක්වාං, ශබ්ද සංකලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි හා ශබ්ද නිර්මාණයෙන් ඩබ්.ඩී. පොඩිරත්න දායක වී ඇත.