දිගටම වේදිකාවේ වැඩ කරන්න කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210216thuthi-2

තුතිනි ගායනය වගේම රංගනයටත් එක ලෙස දක්ෂතා දක්වන නවක ශිල්පිනියක්. මේ වනවිට ඇය විශ්වවිද්‍යාල සිසුවියක් වන අතර විශාරද උපාධියද හැදෑරූ ගායිකාවක්. සාරවිට මේ සොඳුරු කතාබහට එකතු වන්නේ තුතිනි.

තුතිනි ගැන විස්තර කියමුද?

මගේ නම තුතිනි එදිරිසිංහ. ගොඩක් අය තුතී කියලා කතා කරනවා. මගේ ගම ඇල්පිටියේ. මම මේ වෙද්දි කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරනවා. ගායන විශාරද උපාධිය සම්පූර්ණ කළා. ඊට අමතරව මගේ යූ - ටියුබ් නාලිකාව කරගෙන යනවා.

ඔබේම ගීත නිර්මාණ තිබෙනවාද?

මගේම ඔරිජිනල් ඒවා එකක්වත් තවම කරලා නැහැ.

තුතිනි සම්බන්ධ වුණු නිර්මාණ ගැන කිව්වොත්?

මම 2018 ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ සහය ගායිකාවක් ලෙස සම්බන්ධ වුණා. දෙරණ නාලිකාවේ රන්තිලිවැව ටෙලි නාට්‍යයේ කවි ගායනා කරන කවිකාරී වෙන්න මට අවස්ථාව ලැබුණා. ස්වර්ණවාහිනියේ රෑ පැදුර වැඩසටහනට ආරාධනා ලැබුණා. එතකොට බෞද්ධයා නාලිකාවේ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. පොඩි කාලේදි ජාතික රූපවාහිනියේ විකාශය වුණු 'ගී මුතු' වැඩසටහනේ ගීත ගැයුවා.

ඔබ ගායනයට වගේම රංගනයටත් දක්ෂයි නේද?

ඔව්. මම සංගීතයයි නාට්‍යයි දෙකම කරනවානේ. ඒ දෙකෙන්ම ඉස්සරහට යන්න කැමතියි. වේදිකාවේ මේ වනවිට නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. අසංක ගුරුසිංහ සර්ගේ 'ප්‍රේමයේ නගරය' නාට්‍යයට ගායනයෙන් සම්බන්ධ වුණා. සඳමිණි ගීගනගේ මැඩම්ගේ 'නිල් රෝස මල' නාට්‍යයට රංගනයෙන් සම්බන්ධ වුණා. 2016දී පූර්ණ සචින්ත අයියාගේ මියුසික් වීඩියෝවකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ සමගම ජාතික රූපවාහිනියේ වෙළඳ දැන්වීමකටත් රංගනයෙන් එකතු වෙන්න ලැබුණා.

20210216thuthi-3

මුලින්ම සම්බන්ධ වෙන්නේ සංගීතයටද?

ඔව්. මුලින්ම කරන්නේ සංගීතය. මම ඕලෙවල්, ඒලෙවල් දෙකටම නාට්‍ය හදාරලා නැහැ. උපාධියට තමයි මුලින්ම නාට්‍ය කරන්න ගත්තේ. උසස් පෙළ ඉවර වනවාත් සමගම විශාරද උපාධියත් ඉවර කරනවා. ඊටපස්සේ මම නදීක ගුරුගේ සර්ගේ ඇකඩමි එකට සම්බන්ධ වෙනවා. එතනින් තමයි ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ ගායනාවලට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ.

යූ - ටියුබ් නාලිකාව ගැන කිව්වොත්?

ඒක මම පටන් ගන්නේ කොවිඩ් කාලයේදීයි. ඒක දැකලා තමයි රන්තිලිවැව නාට්‍යයට ආරධනා ලැබෙන්නේ. මගේ ඔරිජිනල් ගීත තවම නැති නිසා කවර් නිර්මාණ තමයි චැනල් එකේ තියෙන්නේ.

ඉගෙනීම අතරතුර කලා වැඩ කරන්නේ කොහොමද?

මේ දිනවල නම් කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ලෙක්චර්ස් තියෙන්නේ ඔන්ලයින්. එතකොට වැඩ ප්ලෑන් කරගන්න ලේසියි.

පාසල් කාලයේදී ලබපු ජයග්‍රහණ ගැන කියමුද?

මම පාසැල් තුනක අධ්‍යාපනය හදාරා තිබෙනවා. මම මුලින්ම සමස්ත ලංකා තරඟයකට සහභාගී වන්නේ ඕලෙවල් කාලේදි. ඊටපස්සේ උසස් පෙළට අම්බලන්ගොඩ ධර්මාශෝකයට ගියාට පස්සේ ඒ අවුරුදු තුනේදීම සමස්ත ලංකා සංගීත තරඟාවලිවලට සහභාගී වෙනවා. ඒ අවස්ථා තුනේදිම පළමු දෙවන ස්ථාන ලබාගැනීමට හැකි වුණා. පාසැල් නාට්‍යවලට, නර්තන තරඟවලටත් ගායනයෙන් සහභාගී වුණා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

උපාධිය සම්පූර්ණ කරන්න ඕනේ. ඒ එක්කම ලැබෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාගෙන ඉන්නවා. දිගටම වේදිකාවේ වැඩ කරන්න කැමතියි. මියුසික්වලිනුත් ඉස්සරහට යනවා.

උදව් කළ අය කවුද?

මුලින්ම මතක් කරන්න ඕනේ අම්මා, තාත්තා සහ මල්ලීව. එතකොට මගේ පුංචි කාලේ ඉඳලා උගන්වපු සියළුම ගුරුවරු මතක් කරන්න ඕනේ. මගේ සංගීත ගුරුවරයා වන ගයාන් මධුරංග ගමගේ සර්, එතකොට කැම්පස් එකේ ගයාන් රන්දිර සර්, සඳමිණි ගීගනගේ මිස්, යසන්ත බුද්ධික සර්, අසංක ගුරුසිංහ සර් සහ මගේ යාළුවෝ ටිකත් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20210216thuthi-1 20210216thuthi-4 20210216thuthi-5 20210216thuthi-6