විනෝදත් දැනුමත් ඇති තාක්ෂණ උද්‍යානය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංචාරය කරනවා කියන්නේ සුන්දර පරිසර පද්ධති දැක බලාගෙන විනෝද වෙන එකම නෙවෙයි. විනෝදය ලබනවා වගේම දැනුමෙන් පෝෂණය වීමත් සංචාරකයෙකුගේ වගකීමක්. විනෝදය මෙන්ම දැනුමෙන් පෝෂණය වන්නට හැකි සංචාරක ස්ථානයක් ගැනයි මේ කතා කරන්න යන්නේ. මේ සංචාරක නවාතැන තියෙන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් බටඅත පිහිටුවා ඇති කෘෂි තාක්‍ෂණ උද්‍යානය ඉදි කිරීම 2006 වසරේ ආරම්භ වී 2008 වසරේදී විවෘත කර ඇත. හරිත උද්‍යාන සංකල්පය සාක්‍ෂාත් කර ගත් ශ්‍රී ලංකාවේ දෙවන කෘෂි තාක්‍ෂණ උද්‍යානය වන්නේ බටඅත චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ උද්‍යානයයි. හිටපු කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂ මහතාගේ සහ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ අදහසකට අනුව මෙම කෘෂි තාක්ෂණ උද්‍යානය නිර්මාණය වන්නේ දැයට මහත් සම්පතක් වූ ගොවීන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහායි. බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයට අයත් වේ.

කෘෂි තාක්‍ෂණ උද්‍යානය වියලි කලාපයේ සීමාවෙන් ඔබ්බට අක්කර 50 ක් පමණ පැතිරී ඇති අතර ඉහළ බෝග විවිධත්වයකින් යුත් විවිධ කෘෂිකාර්මික භෝග වලින් සමන්විතයි. මෙම උද්‍යානයට ඇතුළු වන ස්ථානයේ ලොව ප්‍රථම කෘෂි කාර්මික ස්මාරකය පිහිටා ඇත. එම ස්මාරකය සාම්ප්‍රදායික ගොවියා සහ කෘෂිකර්මාන්තය අතර ඇති බැඳීම සංකේතවත් වන පරිදි දෙඅතේ අතැඟිලි බැඳෙන සේ ගොඩ නඟා ඇති බව පැවසේ. එමගින් ගොවියා සහ කෘෂිකර්මාන්තය අතර පවතින සෞභාග්‍යයේ සම්බන්ධතාවය සංකේතවත් කරයි.

උද්‍යානය පුරා භූමි අලංකරණයන් සංචාරකයින්ගේ නෙත් අමන්දානන්දයට පත් කරමින් නිර්මාණය වී ඇත. කෘෂි තාක්ෂණ හා තොරතුරු මධ්‍යස්ථානයක්, හෙළ බොජුන් අලෙවි සැලක්, එළිමහන් රඟහලක්, බීජ කෞතුකාගාරයක්, ජල උද්‍යානයක්, ඌන පලතුරු උයනක්, වානිජ එළවළු වගාවක්, කෘෂි උපකරණ කෞතුකාගාරයක් ඇතුළු කෘෂි කාර්මික අංශයට බොහෝ ප්‍රයෝජනවත් වන බොහෝ දෑ මෙම උද්‍යානයේ දැකගත හැක.

පාසල් ළමුන්, උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගොවි කණ්ඩායම් සදහා අවශ්‍ය කෘෂි තාක්ෂණික දැනුම බෝග ආදර්ශනයන් හා ප්‍රායෝගික උදාහරණයන් මගින් ලබා දීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත නව බෝග ප්‍රභේද නිර්දේශිත ක්‍රම අනුව නව තාක්ෂණයන් භාවිතයෙන් වගා කිරීම ආදර්ශනය, කෘෂිකර්මය පිලිබද උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබාදීම වැනි දෑ මෙම කෘෂි තාක්ෂණ උද්‍යානයෙන් සිදුවන මෙහෙවරයි.

එමෙන්ම ඊට අමතරව දෙස් විදෙස් සංචාරකයින්ට සංචාරය කරන්නට අපූරු තැනක් ලෙසත් චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ කෞතුකාගාරය හැඳින්විය හැකිය. මෙය දෙස් විදෙස් සංචාරකයින් සදහා විනෝදාස්වාදය මෙන්ම ස්වභාව සෞන්දර්යයේ ආශ්වාදය විඳගන්නට දකුණු පළාතේ ඇති තවත් මනරම් උද්‍යානයක් වේ. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු දේශීය ආහාර සෞඛ්‍යාරක්ෂිතව සංචාරකයින්ට පහසු මිලකට ලබාගැනීමට මෙහිදී හැකියාව පවතී. තවද තමන්ගේ ජීවිතයේ සොඳුරුම දවස වන විවාහ මංගල උත්සවයේ මංගල ජායාරූප ලබා ගැනීමටද මෙම කෘෂි තාක්ෂණ උද්‍යානය භාවිතා කළ හැක.

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග