ජනක කාංචන මුදන්නායක තවත් අසීරු ගිනස් වාර්තා උත්සාහයක්


අපේ කාලයේ යෝධයෙකු ලෙස අවිවාදයෙන් පිළිගතහැකි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ කරන ජනක කාංචන මුදන්නායක තවත් අසීරු ගිනස් වාර්තා උත්සාහයක් සඵල කරගැනීමට පසුගියදා පෙරවරුවේ සමත් විය.

ලොව ශක්තිමත්ම දත් දෙපළ ඇතුළු ගිනස් හා ලෝක වාර්තා කිහිපයකට හිමිකම් කියන ජනක, මෙවර සිදු කළ වික්‍රමය වූයේ කිලෝ 50ක් බර හාල් මුට්ට 15කට වැඩි ප්‍රමාණයක් විනාඩි 30ක් ඇතුළත, මීටර 30ක් දුරට කටින් එකින් එක රැගෙන යාමය. එය ගිනස් වාර්තා පරිසාදන මට්ටමද විය. කෙසේ නමුත් ජනක මෙහිදී පරිසාදන මට්ටිමද අභිභවමින් විනාඩි 29යි තත්. 28කදී හාල් මුට්ට 17ක් රැගෙන යාමට සමත් වූ අතර, ඒ සමග ඔහුට සිය ගිනස් වාර්තා උත්සාහය සඵල කරගැනීමට හැකි විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී, පිළිගත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ජනක තමන්ගේ දත් දෙපළෙහි ශක්තිමත් බව ලොවට ප්‍රදර්ශනය කළේය.

ගිනස් වාර්තා පොතට ඇතුළත් කළ මෙම වාර්තාව හා සමාන වාර්තාවක් ලොව මීට පෙර කිසිවෙකු හෝ විසින් පිහිටුවා නොමැති අතර, මෙවැනි වාර්තාවක් පිහිටුවීමේ පරිසාධන මට්ටම ලෙස ගිනස් වාර්තා තරග නීති රීතිහි දක්වා ඇත්තේ විනාඩි 30ක් තුළදී කිලෝ 50ක් බරැති කොට්ට 15කට වැඩි ප්‍රමණයක් රැගෙන යාමයි.

ජනක පසුගිය වසරේ ඔක්තෝබර් මසදී ද ගිනස් වාර්තාවක් පිහිට වූ අතර, එවර ඔහු අඩි 04ක් දිග, මි.මී. 12ක වට ප්‍රමාණයක් සහිත, ග්‍රෑම් 900ක් බර වානේ කම්බි 20ක් එක් විනාඩියක් තුළ තම දත්වලින් නැවීමට සමත් විය.

 මීට අමතරව ජනක තම දකුණතේ ඇඟිලි තුඩු මතින් ටොන් එකහමාරක් (ටො. 1.5) බරැති එල්. 300 වර්ගයේ වෑන් රථ 32ක්, විනාඩි 13ක් තුළදී ධාවනය කර ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ. එමෙන්ම ලෝක වාර්තාවකට ද හිමිකම් කියන ඔහු 1998 වසරේදී ටොන් 9.5ක් බරැති කෝච්චි පෙට්ටියක්, සැතපුම් එකයි කාලක් (සැ. 1.25) තම දෙඅතේ ඇඟිලි තුඩු මතින් තල්ලු කර තිබේ.

පරම්පරාගත ශක්තිවන්තයෙකු වන හඟුරන්කෙත උපන් ජනක කාංචනගේ පියා ද ශක්තිවන්තයෙකු වන අතර, ඔහු ගිනස් වාර්තා 07ක හිමිකරුවෙකු වෙයි. ඒ අනුව පියාගේ අඩිපාරේ යමින් සිටින ජනක, තම පියාට ද ආඩම්බරයක් වෙමින් ගිනස් වාර්තා සංඛ්‍යාව 18ක් පිහිටුවීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මෙහිදී සිය ගිනස් වාර්තා උත්සාහය සපලකර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු මෙසේ පවසා සිටියේය.

"ඇත්තටම ගොඩක් සන්තෝසයි. පැය භාගයක් තුළ හාල් මුට්ට 15යි ගිහින් දාන්න තමයි වාර්තාව තිබුණේ. ඇතැම් අවස්ථාවලදි එකක්, දෙකක් අතහැරුණත්, විනාඩි 30කදී හාල් බෑග් 17ක් රැගෙන ගිහින් ගිනස් වාර්තා උත්සාහය සාර්ථක කර ගත්තා. වීඩියෝ දර්ශන සහ විනිශ්චය මණ්ඩලයේ නිර්දේශ වාර්තා සියල්ල ලෝක ගිනස් වාර්තා  මණ්ඩාලයට ඉදිරිපත් කිරීමෙන් පසු මට වාර්තාව හම්බ වෙයි"