ඉන්දියානු රස වෑහුණු -පරම්පරා

  • 31-03-2026
  • Views 11

ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන සහ සංගීත ප්‍රසංග ද්විත්වයක් පරම්පරා නමින් පැවැත්වුණේ ලයනල් වෙන්ඩ්ට්  ශ්‍රවනගාරයේදී..භරත නාට්‍යම් ගැන පළමු ශාස්ත්‍රීය ග්‍රන්ථය  ලියූ ප්‍රීති ගණේගොඩ නර්තනවේදිනිය තමයි පරම්පරා නර්තන සහ සංගීත ප්‍රසංගය පවත්වන්න මූලික වුණේ.

විශේෂත්වය තමයි හදවතින්ම නර්තනයට සහ සංගීතයට ආදරය කරන එම ප්‍රසංගය සඳහා සහභාගි  වූ ඉන්දියානු කලා ශිල්පීන්  සියලු දෙනාම තමන්ගේ ගුවන් ටිකට් පතේ සිට  සියලු වියදම් තමන්ම දරාගෙන  තමයි ඒ සංගීත ප්‍රසංගය වෙනුවෙන් ලංකාවට ආවේ. ඉන්දියානු ශිල්පීන් මෙන්ම ශ්‍රී ලාංකික ශිල්පිනුත් ඒ ප්‍රසංගය සඳහා ඉදිරිපත් වුණෙත් නොමිලේමයි.හැමදෙයක්ම මුදල් මත තීරණය වන ලෝකයක ඇත්තටම එය ප්‍රශංසනීය ඇගයීමක් කළ යුතුම දෙයක්.

භරත නාට්‍යයම් , කථක් නර්තනය, මෝහිනීයාට්ටම්, කථකලී  නර්තනය, ඔඩිසි නර්තනයේ, චෞ නර්තනය  වගේම සංගීතය වෙනුවෙන් සිතාර් වාදනය උත්තර භාරතීය ශාස්ත්‍රීය ගායනා ,බටහිර වාදනය වීණා,වාදන , තාල වාදන  දක්ෂිණ භාරතීය ශාස්ත්‍රීය ගායනා මේ ප්‍රසංග ද්විත්වය සඳහා ඇතුළත් වුණා.

ප්‍රීති ගණේගොඩ නර්තන වේදනියට මේ ප්‍රසංගයේ සාර්ථකත්වය සඳහා ආචාර්ය රවිබන්ධු විද්‍යාපති  සහ   සමන්තා විද්‍යාපති සැබැවින්ම  උපරිම සහයෝගයක් ලබාදෙමින් කටයුතු කළ අතර මෙවැනි ශාස්ත්‍රීය සංගීත සහ නර්තන ප්‍රසංගයක් පළමුවරට විඳින්නට ලැබුණේ  පරම්පරා ප්‍රසංගය තුළින්. දැනට ඉන්දියාවේ පවා යාවත්කාලීන  නොවුණු නර්තන සම්ප්‍රදායන්හි නර්තන ඉදිරිපත් කිරීම් සැබැවින්ම පැමිණ සිටි ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන්නට සමත් වුණා.ශාස්ත්‍රීය සංගීත වැයුම් සහ වාදන තුළින් ප්‍රකට වූයේත් එවැනිම රසාස්වාදයක්.

ප්‍රවීණ භරත නාට්‍යම් ශිල්පිණී  ප්‍රීති ගණේගොඩ සඳහන් කළේ  මේ ප්‍රසංග ද්විත්වය වසරක්  පුරා පවත්වන බවයි.ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රශංසා සහ ආදරය එම හිතුවිල්ල විෂයෙහි  ඇයට මහත් ශක්තියක් වූ බව තමයි ඇය කියන්නේ.

හරසුන් ගීත වැයුම් නර්තන අඩුවක් නැතුව වේදිකාවන් පුරා දිගහැරෙන මෙවන් කාලයක සැබැවින්ම  ශාස්ත්‍රිය නර්තනයේත් සංගීතයේත් රස සාර  උපරිමයෙන්  ප්‍රේක්ෂක ශ්‍රාවක හදවත්වලට එන්නත් කිරීමට දැරූ උත්තරීතර ප්‍රයත්නයක්  වෙනුවෙන් ප්‍රීති ගණේගොඩ නර්තනවේදිනියට 

සාරවිට අපේ සුභ පැතුම්