ඉතින් ආයුබෝවන් ගුරුතුමණි ගරු

සොඳුරුතම ඇඳුරාණන් කෙනෙක් වූ ආදරණීයම කලාකරුවකුගේ මේ භවයේ සදාතනික සමුගැනීම සංවේදී මාතෘකාවක් වෙලා තිබුණා.
එ සමුගැනීම වෙනුවෙන් අතිශය හෘදයාංගම සටහන් මුහුණු පොතේ ලියැවිලා තිබුණා.ප්‍රවීණ කලාවේදී කමල් අද්දරආරච්චි ඒ සමුගැනීමේ ශෝකය වදන් සමුච්චයකට කැටි කරලා තිබුණෙ මෙහෙමයි.
රඟමඬල ජයගන්නට මට අත්පොත් කළ ඇදුරුතුමාණනි..., ඔබට සුබ ගමන්....
ආ ගමන් මඟ සෙවනක් වුණා ඔබ හමා සිහිලැල් පවනක්ව,
තිමිර බිඳලා කිරණ විදහා ආලෝකයෙන් මඟ පෙන්වනා,
රඟමඬල මත නැගී ඉන්නට වාරුවක් දුන් ඔබ අපට,
හුදකලාවේ අද වෙන්ව ගිය අයුරු දැනේ පාරමින් මා හද..
සුබුද්ධි ලක්මාලි කියන්නෙත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස යටතේ සංගීතය හැදැරූ ගායිකාවක් වගේම සම්මානනීය වේදිකා නාට්‍ය නිළියක්.පසුගිය කාලයේ ඇය ටෙලිනාට්‍ය කලාවටත් එකතු වුණා.
ඇය තමන්ට ගුරු හරුකම් සහ ආශිර්වාද එක් කළ එම ඇඳුරාණන් ගැන ස්නේහවත් මතක මුහුණු පොතට එක් කර තිබුණේ මෙහෙමයි.
මගේ කලා දිවියේ සාර්ථකත්වයට හෘදයාංගමව ආශිර්වාද කළ, මගේ දක්ෂතා හදවතින්ම අගය කළ, කරළියේ තවත් දැවැන්තයෙකුගේ නික්මයෑමේ පුවත හදවත සූරන මොහොතක මෙසේ ලියමි....................
2013 වසරේ ලූශන් බුලත්සිංහලයන්ගේ රතුහැට්ටකාරි වේදිකා නාට්‍යයේ නව නිශ්පාදනයේ රතුහැට්ටකාරි වන මා සමඟ රංගනයේ යෙදෙන මහල්ලාගේ චරිතය සමඟින් එතුමාව මට හමුවීම මා ලද භාග්‍යයකි..... නිරන්තරයෙන් මා අගය කරන ඔහුගෙන් මට ලැබුණු වටිනාම අගැයීම ලැබුණේ, ලූශන් සර්ගේ, හර්ෂ බුලත්සිංහල අයියාගේ සහ නිරෝශන් විජේසිංහ අයියාගේ දැඩි ඉල්ලීම මත මා තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ලොරීටාගේ චරිතය රඟපෑ මොහොතේදීය..... එනම් "කාලයකට පස්සෙ මම අද තමයි ලොරීටව හරියටම දැක්කෙ" යනුවෙන් එතුමන් පවසා තිබුණේ මගේ රංගනයේ ගුරු වූ කමල් අද්දර ආරච්චි රංගවේදියානන්ටයි.... ඒ දිනයේ තමයි මා දැනගන්නේ ගාමිණී සමරකෝන් රංගවේදියා යනු කමල් අද්දර ආරච්චි නම් මගේ ගුරුවරයාගේ රංගනයේ මුල් ගුරුවරයා වූ වග... ඉතිං ගාමිණී මාමා නමින් එතුමන් ඇමතූ මා එදා සිට එතුමට සර් කියා ඇමතුවද එතුමන් හැමදාමත් මා ඇමතුවේ කටපුරා පුතේ කියාය ..........
ඉතිං මගේ ආදරණීය ගාමිණී සමරකෝන් සර්...!!! මගේ ගමනට දිරිදුන් , ලාංකීය වේදිකාවේ , පුංචි තිරයේ දස්කම් දැක්වූ ප්‍රතිභාව පරයා යන නිහතමානි මනුශ්‍යත්වයෙන් පිරිපුන් නුඹ වැනි ගුරුවරුන් තබා යන රික්තකය කිසිදා නොපිරෙනු ඇත...
ඔබතුමන් හට අමාමහ නිවන්සුව ලැබේවා
කෘතවේදීත්වය කියන්නේ ලස්සනම මිනිස් දහමක්.....
ගාමිණී සමරකෝන් ඇඳුරාණෙනි.......
මනමේ කුමරුණි..........
ඔබට සුබ සංසාර ගමනක්





