මම රඟපාන්න දන්නෙ නැහැලු, නිරුවත පෙන්වනවා විතරලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇය මෙරට ශ්‍රී ලාංකේය සිනමාවේ සරාගී ගිනිසිළුව ලෙස හැඳින්වූයේ ඇයගේ දක්ෂතාවය, රූමත් බව මොනවට කියාපාමිනි. එකල තරුණ තරුණියෝ පමණක් නොව වැඩිහිටියෝ පවා ඇයට වශී වූහ. ඇයගේ රුව රැගත් ඡායාරූප, කැලැන්ඩර් උණුකැවුම් සේ විකිණී ගියේ ඇයගේ ඒ සරාගී බව නිසාවෙනි. මේ සරාගී රුවැත්තිය නමින් සුමනා ගෝමස් වන්නීය. ඇය දැන් පදිංචිව සිටින්නේ ඇමරිකාවේය. ඇමරිකන් ජාතිකයකු හා විවාහ වී සිටින සුමනා, එදා මෙන් අදටත් තම රූ සපුව එක ලෙසින් පවත්වාගෙනයයි. ඇයට සිදුවී ඇති අසාධාරණකම්, අලුත් අවුරුද්දේ ඇය කරන්න හදන අලුත් දේ පිළිබඳව ඇමරිකාවේ සිට සඳැල්ලට කතා කරන්න අමතක කළේ නැත. ඒ එදා මෙන්ම අදටත් ඇය නිරහංකාරව, කියන දේ කෙළින්ම කියන හිත හොඳ කාන්තාවක් වීම නිසාවෙනි.

මුලින්ම ශ්‍රී ලාංකේය ජනතාවටත්, මගේ රසික රසිකාවියන්ටත් ලැබූ 2024 නව වසර වාසනාවන්ත නව වසරක් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. එදා වගේම ඔයාලා හැමෝටම මම ආදරෙයි. ඒත් මේ නව පරපුරේ, මගේ චිත්‍රපටවත් දැකලා නැති මා පිළිබඳව හරියටවත් දන්නේ නැති අය සමාජ මාධ්‍යවල මා ගැන සඳහන් කරන මට මඩ ගහන දේ ගැන විශාල කනගාටුවක් තිබෙන්නේ. දැන් පරණ නළු නිළියන් ටිකෙන් ටික ජීවිතයෙන් සමුඅරන් ගිහින්. ඒ පරම්පරාව නැතිවෙන කොට අලුත් ජෙනරේෂන් එකක් නෑ. ඒ අය ලෝක සිනමාව ගැනවත්, අපේ ලංකාවේ ඉතිහාසය ගැනවත් දන්නේ නෑ. හැමෝම නෙවෙයි. කිහිපදෙනෙක් මේ අසාධාරණකම් අපට කරන්නේ.
තාක්ෂණය දියුණු නිසා එයින් යහපත් දේ නොවෙයි සමහරු කරන්නේ. මට ආදරය කරන රසික රසිකාවියෝ ගොඩාක් ඉන්නවා. ඒ අය මට වැරැදි දේවල් ගියොත් දැනුම් දෙනවා. මට ෆේස්බුක් හරහා මඩ ගහලා ලිපි දාලා තිබෙනවා. අනෙක ගොඩාක්දෙනා මගේ එකවුන්ට් හදාගෙන බොරු දානවා. මේවා තනිකරම ෆේක් එකවුන්ට් අලුත් කිහිපදෙනෙක් ජනමාධ්‍යවේදීන් කියා හදාගෙන තමයි මට මඩ ගහන්නේ. මේ අය මම රඟපාන කොට අම්මගේ බඩේවත් හිටියාද කියා දන්නේ නෑ. මා පිළිබඳව විකිපීඩියා වල තිබෙන්නෙත් බොරු දේවල්. කවුරු ඒවා දාලද දන්නේ නෑ.

මම රඟපාන්න දන්නේ නෑ, නිරුවත පෙන්වනවා විතරයි කියලා සමහරු දාලා තිබෙනවා. මම වේදිකා නාට්‍ය 100 කට වඩා රඟපාලා තිබෙනවා. එහෙම තිබෙද්දී මෙහෙම කියනකොට දුකක් ඇතිවෙන්නේ නැද්ද? ඔවුන් ලොකු වැරැද්දක් කළේ. මේ අලුත් ජෙනරේෂන් එකේ සමහරුන්ගේ මොළයේ පොඩි අවුලක් තිබෙනවා. මා හිතන්නේ කොවිඩ් සඳහා දුන් එන්නත නිසා මේ අයගේ මොළයේ වෙනස්කම් වෙලා ඇති කියලයි. ඔවුන්ගේ මනසවල් හරියටම අවුල්වෙලා. ඒ හින්දා තමයි මට අපහාස කරන්නේ. මේ අයට තිබෙන්නේ ලිංගික ඊර්ෂ්‍යාව වෙන්නැති.

මම 2014 දී යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කළා මගේ නමින්. එයට හොඳ ප්‍රතිචාර ලැබෙද්දී බලාගෙන ඉන්න බැරිව, එයට විරුද්ධව සමහරු පැමිණිලි කළා. සමහරු තාත්තාගේ මියුසික් කියා මට ලෙඩේ ඇද්දා. ඒ යූ ටියුබ් චැනල් එක එහෙමම මම කැන්සල් කළා. ඊට පස්සේ ගොඩාක් දෙනා මගෙන් ඉල්ලුවා ආරම්භ කරන්න කියා. ආපහු දැන් මම සුමනා ගෝමස් නමින් යූ ටියුබ් නාලිකාවක් දැම්මා. දැනට 12,000 කට වඩා පිරිසක් එයට ඉන්නවා. හැබැයි සමහරු ඒකත් දරාගන්න බැරිව ෆේක් යූටියුබ් නාලිකා මා නමින් ආරම්භ කරලා. සුමනා ගෝමස් ඇයි යූ ටියුබ් නාලිකාවක් අරඹන්න හේතුව කියලා දාලා තිබෙන එක තමයි ඔරිජිනල් මගේ යූ ටියුබ් නාලිකාව. අනෙක් සියල්ල ෆේක් මොකද මම රසිකයන්ට සජීවීව ඇවිත් එහි කතා කරනවා. 

සමහරු ෆේක් ගිණුම් මුහුණු පොතේ හදලා මටත් රික්වෙස්ට් කරන්න කියා එවනවා. ඉතිං බලන්න මේ අයගේ මොළය කොයිතරම් අප්සට්ද කියලා. මගේ ගිණුමෙන් පිංතූර අරගෙන වෙනම ෆේක් ගිණුමක් හදලා. ඒකටත් 19000 කට වඩා රසික පිරිසක් ඉන්නවා. මිනිස්සු හිතන්නේ ඒක මගේ කියලා. මට බැනලා දාලා තිබෙන්නේ. පුදුම කමෙන්ට්ස් ඒකේ තිබෙන්නේ. මිනිස්සු මෙහෙමත් කරනවාද? මට හානියක් නොකර ඕනෑ තරම් හම්බ කළාට කමක් නෑ. ඒත් මඩ ගහලා, අසත්‍ය දේ දාලා සල්ලි හම්බ කරන්න එපා. ඒක හරි පව් වැඩක්. මගේ නමින් ෆේක් එකවුන්ට් හදලා මගේ අයිතිවාසිකම් කඩකරනවා. කොයි තරම් කැතද?

සමහරු මම රඟපෑ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල සෙක්ස් සීන් එකතු කරලා, ඒවා එඩිට් කරලා සෙක්ස් වීඩියෝවලට දාලා සල්ලි හම්බකරනවා. ඒවා මිලියන් ගණන් බලලා තිබෙන්නේ. ඒවායේ නිෂ්පාදක සුනිල් ටී වත් දන්නේ නැතුව ඇති මේ අය හම්බ කරන විදිහ. ෆොනොග්‍රැෆි වෙබ් සයිට්වලට දාලා. ලංකාවේ තමයි මෙහෙම දේවල් කරන්නේ. මොකද සිනමාවට, කලාවට නීතියක් නැති නිසා. පිටරට එහෙම බැහැ. ලංකාවේ කලාව හරිම ලජ්ජාවට කාරණයක් වෙලා.

පදිංචිය ඇමරිකාවේ නිසා කලා ක්ෂේත්‍රයේ නියැලෙන්න අමාරුයි. දවස් 3 ක් යනවා එන්න යන්න. ඒක අමාරු කාර්යයක්. මගේ ගීතයක් ළඟදී එළිදක්වනවා. මගේ ජීවිත කතාව රැගත් පොතක් ලබන ජූලි හෝ අගෝස්තුවල මම ලංකාවට ඇවිත් ජනගත කරනවා. සුමාන දෙකයි මම ලංකාවේ ඉන්නේ.

ගරුත්වයෙන් ආදරයෙන් ඉන්න රසික පිරිසක් තවම මට ලංකාවේ ඉන්නවා. ඒ හැමකෙනාටම තවම මා එක්ක ඉන්න එක ගැන ස්තුතිවන්ත වෙනවා. ආදරෙයි මම එක හිතින්ම ඔවුන්ට. ඒගොල්ලෝ මා ඉන්නතුරු ඉන්න කියලයි ඉල්ලන්නේ. ලැබූ අලුත් අවුරුද්ද රටේ සියලු ප්‍රශ්න විසඳිලා සුබම වෙන්න කියලා මා පතනවා. මොකද මම දන්නවා මිනිස්සු බොහොම අමාරුවෙන් අද ජීවත්වෙන්නේ කියලා. දේශපාලනය හරි නැති නිසයි අද මිනිස්සු දුක් විඳින්නේ. හැම කෙනාටම යහපත් අවුරුද්දක් උදාවේවා. යහපත් නායකයෙක් රටට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. මගේ බලාපොරොත්තුව ආපහු රංගනයට එන්නයි. අවස්ථාවක් ලැබුණොත් රඟපානවා. ඒ වගේම මම නිව්යෝර්ක්වල අවුරුදු 22 ක් හිටියා. දැන් ඉන්නේ ෆ්ලොරිඩාවල. මහත්තයාගේ අම්මයි තාත්තයි එක්ක. ඒ පවුලේ එකම පුතා. මම විවාහ කරගෙන ඉන්නේ. ඒත් මටම කියා නිවසක් මෙහෙන් ගන්නයි මගේ බලාපොරොත්තුව. මට කිසිම ප්‍රශ්නයක් නෑ. මහත්තයාට විශාල ගෙයක් තිබෙනවා. අපි අම්මයි තාත්තයි එක්ක මේ ගෙදර ලස්සනට ඉන්නවා. මට ඕනේ මගේ කියලා ගෙයක් ගන්නයි. ඒක ළඟදීම ඉෂ්ඨ වේවි.

සමන්ත යහම්පත්