රූ රැජනක් ප්‍රසිද්ධියේ ’’ගුටි කෑ ’’නඩුවේ තීන්දුව ඔක්තෝබරයේදී

  • 23-06-2026

ලාංකික  රූ රැජින ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරමින් රූ රැජනක්   ප්‍රසිද්ධියේ ඇති කළ   කෝලාහලය ඔයාටත් මතක ඇති.එය ලාංකික මාධ්‍යයේ වගේම  ජාත්‍යන්තර මාධ්‍යයේත්  දැඩි ලෙස අවධානයට  යොමු වූ පුවතක් වුණා.

ඉතින් මේ  "නෙළුම් පොකුණේ කිරුළ ගැලවීමේ සිද්ධිය" ට අදාළ  නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය අධිකරණය විසින් දැන්  නියම  කරලා තියෙනවා . ඒ අනුව රූ රැජනක්  ප්‍රසිද්ධියේ අප්‍රසාදය උපදවන ලෙස හැසිරුණු මෙම  සුප්‍රසිද්ධ නඩුවේ තීන්දුව 2026 ඔක්තෝබර් 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම  අද (22) ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළව   චෝදනා ලබා සිටින සැකකාරියන් වන්නේ  හිටපු විවාහක ලෝක රූ රැජනක වන කැරලයින් ජූරි සහ ප්‍රකට මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් ය.

 2021 වසරේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජන තේරීමේ  අවසන් මහා තරගයේදී පුෂ්පිකා ද සිල්වා ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැළඳුවා ඔබට මතක ඇති.

 ඇය කිරුළ පැළඳි මොහොතේම  සිදු වූයේ කුමක්ද ?

එවකට ලෝක විවාහක රූ රැජන  ලෙස කිරුළ දරා සිටි කැරලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් වේදිකාවට ගිහින්  පුෂ්පිකා දික්කසාද වී ඇති බව පවසමින් ඇයට හිංසාකාරීවන ලෙස හැසිරෙමින්  බලහත්කාරයෙන්  පුෂ්පිකාගේ හිසෙන් කිරුළ ගලවා දැම්මා.  පුෂ්පිකාගේ හිසට මේ සිදුවීමේදී තුවාල සිදු වූ බවට ද චෝදනා එල්ල වුණා.

 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ නඩුව  කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වන සාක්ෂි කැඳවීම සහ විභාග කිරීම් පෙර නඩු දිනයන්හිදී සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවය.

ඒ අනුව, නඩුවේ දෙපාර්ශවයේම සාක්ෂි සැලකිල්ලට ගනිමින්  සකස් කෙරෙන අවසන් නඩු  තීන්දුව එළඹෙන ඔක්තෝබර් 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා නිල වශයෙන් දැනුම් දුන්නා.

 මෙම නඩුව වසර කිහිපයක් තිස්සේ විභාග වුණා. ජාත්‍යන්තරයටත් ගිය මේ කළු සිද්ධියේ  නීතිමය තීන්දුව කුමක් වෙයිද ? 

අපි බලා ඉමු.