ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ සිනමා පාසලක්!

  • 22-06-2026

ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය නව මගකට යොමු කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් පරිපූර්ණ වූ නව ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත්  සිනමා පාසලක් (National Film School) ස්ථාපිත කිරීම සඳහා වන විද්වත් රැස්වීමක් පසුගිය දිනයක ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී  පැවැත්විණි. සැබවින්ම එය සාර්ථක හමුවක් ලෙස තමයී ජාතික චිත්‍රපට සංස්‌ථා ආරංචි මාර්ග සඳහන් කළේ. 

එම හමුව පිළිබඳ  ඔවුන් සටහන් තබා තිබුණේ මෙහෙමයි. 

දේශීය සිනමා ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තීය දැනුම, කලාත්මක නිපුණතා සහ නව තාක්ෂණික හැකියාවන්ගෙන් සන්නද්ධ නව පරපුරක් බිහිකිරීම උදෙසා  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා අමාත්‍යාංශයේදී පැවැත්වුණු විශේෂ සාකච්ඡාවේ තීරණවලට අනුකූලව මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම විශේෂ සාකච්ඡාව සඳහා ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා පාසල් සහ විශ්වවිද්‍යාලවලින් සිනමාකරණය පිළිබඳ හදාරා ඇති, ක්ෂේත්‍රයේ සක්‍රීයව කටයුතු කරන ප්‍රමාණික විද්වතුන් සහ සිනමාකරුවන් පිරිසක් සහභාගී වූහ. 

මෙම අවස්ථාවට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී (අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික) අමිල ජයකොඩි මහතා ද එක්ව සිටියහ.

යෝජිත සිනමා පාසල ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ විෂයයීය දත්ත ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, ඒ වෙනුවෙන් ලෝකයේ විවිධ සිනමා සම්ප්‍රදායන් නියෝජනය කරන පහත විද්වතුන් තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. 

 1. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා. (ප්‍රමාණික විද්වත් හා සිනමා විචාරක).

 2. චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර මහතා(ප්‍රංශයේ කීර්තිමත් Le Fresnoy, Studio national des arts contemporains ආයතනයෙන් සිනමාව හදාරා ඇති, කෑන්ස් සම්මානලාභී)

 3.චිත්‍රපට අධ්‍යක්ෂ චින්තන ධර්මදාස මහතා(පෝලන්තයේ සුප්‍රකට Lodz සිනමා පාසලෙන් සිනමාකරණය හදාරා ඇති සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ)

 4. තරිඳු රාමනායක මහතා (ඉන්දියාවේ කීර්තිමත් සත්‍යජිත් රායි සිනමා හා රූපවාහිනී ආයතනයේ (SRFTI) අධ්‍යයනලාභී)
 5. චිත්‍රපට අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන මහතා  (ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පිහිටි සුප්‍රකට School of Visual Arts (SVA) හි අධ්‍යයනලාභී.)

6. ප්‍රභාත් චමින්ද මහතා (රුසියාවේ සුප්‍රකට Saint Petersburg විශ්වවිද්‍යාලයේ සිනමාකරණය පිළිබඳ අධ්‍යයනලාභී)

මෙමඟින් ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන තරුණ පරපුරට ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය නිපුණත්වයකින් යුත් සිනමාකරුවන් වීමේ මාවත විවර වනු ඇත.