වසර 62 ක සිහිනෙන් ඇහැරෙන සංගීතඥයා

  • 28-05-2026

ගීතයක රස මවන්නේ සංගීතඥයාය. ඕනෑම පද පෙළක් තාලය හා රිද්මය මුසුකර මිහිරැති ගීතයක් බවට පත්කරන්නේ ඔහුය. අද අප හා එක්වන ඔහුද සංගීත ක්ෂේත්‍රයේ දශක හයකට වැඩි ඉතිහාසයක් ඇති දක්ෂ, ප්‍රවීණ සංගීතඥයෙකි. ඔහු නමින් සරත් වික්‍රමය. වසර 62කට පසුව සිය කලා දිවියේ රසමුසු තැන් එක්කර පළමුවරට ප්‍රසංගයක් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔහු එය අන්තර්ජාතික ප්‍රසංග වේදිකාවක අත්දැකීමක් ලෙසින් ප්‍රේක්ෂකයාට තිළිණ කිරීමේ සූදානමින් පසුවෙයි.


එහෙම තමයි දිගු නිහැඬියාවකින් ඉනික්බිති ඇහැරෙන්නට බලා හිඳින සරත් වික්‍රම ගැන සමාජ මාධ්‍ය කතා කළේ.

ඒ හැම කතාබහකටම සරත් වික්‍රම මෙහෙම උත්තරයක් දීලා තිබුණා.

“මම කලා ක්ෂේත්‍රයට පැමිණ අවුරුදු 62ක් වෙනවා. කැසට්පට 100කට අධික ප්‍රමාණයකට, ටෙලි නාට්‍ය 150කට අධික ප්‍රමාණයකට, චිත්‍රපට 70කට වැඩි ප්‍රමාණයකට මේ වෙද්දි ගීත නිර්මාණය කරලා තියෙනවා. නමුත් මෙතෙක් කාලෙකට මගේම කියලා ගීත ප්‍රසංගයක් කරලා නැහැ. බොහෝ දෙනකුගේ ඉල්ලීම මත මේ දිනවල මගේ පළමු ප්‍රසංගය පවත්වන්න සූදානම් වෙනවා. එය නම් කළේ වික්‍රම් කියලා. වික්‍රම් ප්‍රසංගය ලබන 6 වැනිදා මරදාන කුලරත්න ශාලාවේදී පැවැත්වෙනවා. සිංහල, දමිළ, හින්දි භාෂා ත්‍රිත්වයේ ගීත වගේම සිංහල ගැමි සංගීතය ඇසුරින් නිර්මාණය වුණු සිම්පනි දෙකකුත් මේ ප්‍රසංගයට ඇතුළත්. එය ලාංකේය සංගීත කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් වේවි කියලා හිතනවා. පනස් දෙනකුගෙන් පමණ යුතු සජීවී වාදක මණ්ඩලයකින් සමන්විත ඔගෙස්ට්‍රා එකක් සමඟින් කලා ශිල්පීන් රැසක් ගීතවත් වන මේ ප්‍රසංගය සඳහා අන්තර්ජාතික මට්ටමේ ප්‍රසංග වේදිකාවල යොදාගන්නා 7.1 තාක්ෂණය යොදා ගැනීම ලාංකිකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි. විශාල LED තිරය සහිත ආලෝක සැලසුම වගේම සම්පූර්ණ ප්‍රසංගය වීඩියෝපටිගත වීමත් සිදුවෙනවා. එදා එච්.ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, ලතා වල්පොළ, ඇන්ජලීන් ගුණතිලක, නුවන් ගුණවර්ධන, ග්‍රේෂන් ආනන්ද වැනි ප්‍රවීණ ශිල්පීන් ගායනා කළ ගීත ප්‍රදීපා ධර්මදාස, රෝහණ බෝගොඩ, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ලලිත් පොන්නම්පෙරුම, ජගත් වික්‍රමසිංහ වැනි ශිල්පීන්ගේ හඬින් මෙම ප්‍රසංගයේදී ගීතවත් වනවා. මෙය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළෙන අවස්ථාවක් වේවි කියලත් හිතෙනවා.“