එයාලා ආසාවුණේ මගේ කොණ්ඩෙට - සිනෙති අකිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q සිනෙති.... මේ දවස්වල මොකද කරන්නේ?

දෙසැම්බර් මාසයේදී පොඩ්ඩක් කාර්යබහුල වුණා. දෙසැම්බර් මාසයේ විවිධ නාලිකාවල වැඩසටහන් තිබුණා. ඒ වගේම් දෙසැම්බර් අවසන් දිනවලදී අපි අලුතින් රූගත කිරීමට යෙදෙන චිත්‍රපටයක් ගැන කතාබහක් කෙරුණා. ඒක ආකාශ් තාරුක පෙරේරා නම් නවක අධ්‍යක්ෂකවරයකුගේ නිර්මාණයක්. බොහෝ විට ඒකේ රූගත කිරීම් අලුත් වසරේදී හා හා පුරා කිය ආරම්භ වේවි. ඒ ගැන අපි වරින්වර මුණගැහිලා කතා බහ කළා. පසුගිය නොවැම්බර් මාසයේදී මම රංගනයෙන් දායක වුණු ''ෆෝචූන් රෙසිඩන්ස්ලි'' ටෙලිනාට්‍යය විකාශනය අවසන් කළා. ඒක සුපුන් රත්නායකගේ අධ්‍යක්ෂණයක්.

Q මේ දිනවල තිරගත වන ''තාත්තා'' චිත්‍රපටයෙත් සිනෙතිගේ දායකත්වය ලැබිලා තිබෙනවා...?

ඔව්. දෙසැම්බර් මාසේ 18 වෙනිදා මම සම්බන්ධ වුණ ''තාත්තා'' චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කළා. ඒක ප්‍රසාද් සමරතුංගගේ සිනමා අධ්‍යක්ෂණයක්. ''තාත්තා'' චිත්‍රපටය ප්‍රසාද් සමරතුංගගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණයයි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ රුෂාන්ත විජේනායකයි. කුමාර තිරිමාදුර, නිල්මිණී තෙන්නකෝන් වැනි ප්‍රවීණයන් ඇතුළු කුඩා දරුවන් වටා ගෙතුණු ''තාත්තා'' චිත්‍රපටය ඉතා වටිනා, දරුවන් නැරඹිය යුතුම චිත්‍රපටයක්. මම ඒ චිත්‍රපටයේ තමාරා ගුරුවරියගේ චරිතය රඟපානවා. චිත්‍රපටයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ මීට අවුරුද්දකට පමණ පෙර හොරණ, ඉංගිරිය ප්‍රදේශවල රූගත කිරීම් කළ නිර්මාණයක්.

Q සෝමරත්න දිසානායකගේ ''සිංහබාහු'' චිත්‍රපටයේත් සිනෙති රඟපෑවා. ඒ ගැන අපි කතාකරමු....?

ඔව්! මට හිතෙන විදිහට අලුත් අවුරුද්දේ තිරගත වෙන දැවැන්ත නිර්මාණයක් විදිහට සිංහබාහු හඳුන්වන්න පුළුවන්. ඒ ගැනත් හරිම ආසාවෙන් ඉන්නේ. සිංහබාහු චිත්‍රපටය අපි කාටත් අමතක කරන්නට බැරි චිත්‍රපටයක් වුණා.

Q ගෙවුණ 2023 වසර ගැන ආපස්සට හැරිලා බැලුවොත් සිනෙතිට මොකද හිතෙන්නේ...?

2023 අවුරුද්ද මට දුක හිතුණ අවුරුද්දක් වුණා. ඒ සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් කරන අතරතුරේ ජැක්සන් අංකල් හදිසි අනතුරකට ලක්වෙලා නැතිවුණා. ජැක්සන් අංකල් කියන්නේ මටයි මගේ සැමියා වෙන සහන්ටයි අප්පච්චි වුණ කෙනෙක්. මාධවී අක්කලා වගේම අපි දෙන්නත් ඔහු අසලම ගැවසුණ දරුවෝ වුණා. 2023 වසරේ වැඩකළා. නමුත් ජැක්සන් අංකල්ගේ වියෝව නිසා දුකත් ඇතිවුණා. ඒ වගේම ''ෆෝචූන් රෙසිඩන්සි'' ටෙලිනාට්‍යයේ කැමරාකරණය කළ විමර්ශන අයියත් 2023 වසරේදී මිය ගියා. ඒ වෙන්ව යාමත් හිතට දුකක් එක්කළා. ඒ නිසා 2023 අවුරුද්දේ හිතට කනස්සල්ල ඇතිකළ සිදුවීම් වැඩියි කියලයි මට හිතෙන්නේ.

Q සිංහබාහු චිත්‍රපටයේ දින කිහිපයක් ජැක්සන් රඟපෑවා. රූගත කිරීම් කරන අතරතුරේදී ඔහුව සිනෙතිට මුණගැහුණද...?

ඔව්. මුණගැහුණා. ඔහුට හදිසි අනතුර සිදුවුණ දවසෙත් මාත් අනුරාධපුර රූගත කිරීම්වලට සම්බන්ධ වෙලයි හිටියෙ. අපිට ඒ දවසේ උදේ ඉඳන් රූගත කිරීම් කරන්න තිබුණා. හවස තමයි ජැක්සන් අංකල් ලොකේෂන් එකට ආවේ. අපි කැලේ ඉඳන් රූගත කිරීම් කරලා අවසන් කරලා හොටෙල් එකට එන්න පාරට එද්දි ජැක්සන් අංකල් රූගත කිරීම්වලට ඇඳුම් ඇඳගෙන ලොකේෂන් එකට එද්දි මගදී අපිට මුණගැහිලා කතා කළා. අපි වාහනයට නගින්න කලින් කැලේ ඇතුළේ ''බාහූ'' කියලා ජැක්සන් අංකල් හයියෙන් කෑගහනවා අපිට හොඳට ඇහුණා. අපි ආපහු රූගත කිරීම් කරන තැනට ගිහින් අංකල්ගේ රූගත කිරීම් බලන්න ආස හිතිලත් ආයෙත් අපි හොටෙල් එකට ගියා. ජැක්සන් අංකලුත් ඒ කොටස කරලා හොටෙල් එකට එන අතරතුරේදී තමයි ඔය අනතුර සිදුවෙලා තිබෙන්නේ.

Q සිනෙති මේ සැබෑවෙලා තියෙන්නේ පුංචි කාලේ දැකපු හීනයක්ද?

මම ඉපදිලා මාස තුනෙන් විතර මම රඟපාලා තිබෙනවා. ඒ තහංචි කියලා කතාවකයි. ඒකේදී දරුවන් නැති දෙන්නෙක් දුප්පත් පවුලකින් දරුවෙක් හදා වඩා ගන්නා. ඒ චූටි දරුවට ඉඳලා තියෙන්නේ මමයි. ඒ චිත්‍රපටයේත් කැමරාකරණයට ඉඳලා තියෙන්නේ පාලිත පෙරේරා අංකල්. ඒ අංකල්ම තමයි මම පහුවෙද්දී රඟපෑ ''සිරි පැරකුම්'' චිත්‍රපටයේත් කැමරාකරණය කළේ. ඒක හරි අපූරු අවස්ථාවක්. ''තහංචි'' චිත්‍රපටයේදීත් අපේ අම්මා මාව අරගෙන රූගත කිරීම්වලට ගිය මතකය පාලිත අංකල් සිරිපැරකුම් චිත්‍රපටය රූගත කිරීමට නැවත යද්දී මතක් වෙලා තමයි මාව හඳුනගෙන තිබුණේ.

Q පාසැල් වේදිකාවට සිනෙති සම්බන්ධ වුණේ නැද්ද....?

සම්බන්ධ වුණා. මම ඉගෙන ගත්තේ පඬුවස්නුවර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසලෙයි. උසස්පෙළට කුලියාපිටිය සාරානාත් මහ විදුහලට ඇතුළත් වුණා. සාමාන්‍ය පෙළ පන්තියට එනතුරුම මම වේදිකා නාට්‍ය කළා. හොඳම නිළියට හිමි සම්මාන පාසැල් මට්ටමින් අරගෙන තිබෙනවා. හොඳම පිටපතට සම්මාන අරගෙන තිබෙනවා. මම ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියේ හඬකැවීම් කළා. ළමා පිටියට සතියකට සැරයක් ආවා. මගේ අම්මගේ අක්කා පදිංචිවෙලා හිටියෙ කඩවතයි. ඉතින් ළමා පිටියට ඇවිත් අපි කඩවත නතරවෙලා තමයි ගෙදර ගියේ. ඒ ආපු වතාවක තමයි සෝමේ අංකලුයි, රේණුකා ඇන්ටියි මාව දැකලා සිරි පැරකුම් චිත්‍රපටයට කතා කළේ.

Q සිනෙතිට රඟපාන්න ආසාවක් තිබුණාද...?

ඔව්. ඒ වෙද්දීත් මට කැරලි කරපු ලොකු කොණ්ඩයක් තිබුණා. මාව දැකපු වෙලාවෙම සෝමේ අංකලුයි, රෙණු ඇන්ටියි  කැමැති වෙලා තියෙන්නේ ඒ මගේ කොණ්ඩෙටයි. ඉතින් ඒ කාලේ මම උසස්පෙළ කරන කාලයයි. මම අම්මාට කිව්වහම මගේ අම්මා කලාවට හරි ආදරේ කරන කෙනෙක්. එයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්. අම්මා මගේ අයදුම්පතක් දැම්මා. එදා ගොඩාක් ළමයි සම්මුඛ පරීක්ෂණයට ඇවිත් හිටියා. මට ගෙදර එන්නටයි හිතුණේ. මට පීනන්න පුළුවන්ද ඇහුවා. මම ගමේ කෙනෙක්නේ. මට හොඳට පීනන්න පුළුවන්. කොහොම හරි අන්තිමේදී සිරි පැරකුම් චිත්‍රපටයට තෝරාගත්තා.

Q සහන් එක්ක ගතකරන ජීවිතේ කොහොමද?

ගොඩාක් ෂෝක්. අපි අවුරුදු අටක් යාළුවෙලා හිටියා. විවාහ වෙලා දැන් අවුරුදු තුනක්. ඒ නිසා දැන් අපි අවුරුදු එකොළහක් එකට ඉන්නවා. හරි සුන්දරයි. අපේ පවුලේ ඉන්නේ මම විතරයි. මගේ තාත්තා නැහැ. ඉතින් අම්මට ඉන්නේ මම විතරයි. සහන් අයියටත් එයාගේ අම්මයි තාත්තායි දෙන්නම නැහැ. සහන් අයියට ජැක්සන් අංකල් හරි ආදරෙයි. ඉතින් අපේ ආදරය ඉක්මනට විවාහ වෙන්නත් ජැක්සන් අංකල්ගේ ඒ ආශීර්වාදය ගොඩක් හේතු වුණා.

Q 2024 තිබෙන බලාපොරොත්තු මොනවාද...?

මම එහෙම ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙමේ. ලැබෙන දේ ලස්සනට කරලා සතුටින් ජීවත් වෙන්න මායි සහන් අයියයි බලාපොරොත්තු වෙනවා. සිංහබාහු චිත්‍රපටයෙ මම රඟපාන ''පබසරා'' චරිතය ගොඩක් ප්‍රබලයි. ඒ නිසා ඒ චිත්‍රපටය ආවාට පස්සේ බොහෝ දෙනා ඒ ගැන කතා කරාවි කියල හිතනවා. අපේ ''Sinethi Sahan Offical Youtube Channel'' එකේ වැඩ ගොඩාක් කරන්න බලාපොරොත්තු වෙනවා.

I දිශානි ජයමාලි
සේයාරූ I අන්තර්ජාලයෙන්