ඒ වෙස් මුහුණු දාගෙන ගිහින් කළ හොරකමක් සම්බන්ධ ප්‍රශ්නයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයට අලුතින් එකතුවුණු නවක රංගන ශිල්පීන් අතරින් අද වනවිට වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක් තමයි දුලාජ් චාමර. ඔහු සමඟිනුයි මේ කතාබහ. 

දුලාජ් චාමර කියන්නෙ රංගනය හොඳටම කරලා තියෙන කෙනෙක් නේද?

ඇත්තටම ඔව්. මොකද රංගනයට මට පුංචිම කාලෙ සිටම යම් දක්ෂතාවයක් තිබිලා තියෙනවා. ඒ නිසාම ඒ කාලෙදි අම්මා මාව විකට ඇඳුම් තරගවලට පවා සම්බන්ධ කරලා තියෙනවා. ඒත් මම පාසලට ඇතුළත් වුණු මුල්ම කාලෙ නම් රංගනයට වැඩි නැඹුරුවක් තිබුණෙ නැහැ. මුලින්ම කළේ සංගීතය විෂය. ඉන්පසුව තමයි 6 වසරේ සිට නාට්‍යකරණයට සම්බන්ධ වුණේ. ඒ සම්බන්ධවීමෙන් පසුව නම් මගේ ජීවිතේ අද දක්වාම කාලය ගෙවුණෙ වේදිකාවෙම තමයි.

රඟපෑමෙදි මුලින්ම කෙනෙකුගේ ලජ්ජා, භය කියන දේ තියෙනවනෙ දුලාජ්ට එහෙම තිබුණෙ නැද්ද?

අම්මෝ, මුලින්ම නම් තිබුණා. පුංචිම කාලෙ ඉඳන් මට කලාවට යම් හැකියාවක් තිබුණු නිසා නෑදෑයො එහෙම ආවම අම්මා සින්දු කියලා, රඟපාලා පෙන්නන්න එහෙම කියලා තියෙනවා. ඒ වෙලාවට ඉතින් මම දුවලා ගිහින් හැංඟෙන්නෙ. ඒවා ඉතින් ගෙදර අයගෙ කැමැත්තට කරන ඒවනෙ.

එතකොට රංගනය වෙනුවෙන් ලජ්ජා භය නැති වුණේ කොහොමද?

පාසල් වේදිකාවට සම්බන්ධ වුණාට පස්සෙ මම රඟපෑම් වෙනුවෙන් පසුබට වුණේ නැහැ. මම පාසල් ගියේ හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයට. අපේ පාසල කලාව සම්බන්ධව ගොඩක් ජනප්‍රියයි. ඒ වේදිකාවෙන් බිහිවුණු කලා ශිල්පීන් රැසක්ම අද ඉන්නවා මේ ක්ෂේත්‍රය තුළ. කලාව තුළ මගේ මුල්ම ගුරුවරයා වුණේ පුබුදු සුභාෂණ ගුරුකුල. ඔහු එක්ක තමයි ළමා නාට්‍ය කරන්න මුලින්ම වේදිකාවට ගොඩවුණේ. ඒ ගොඩවීමත් එක්ක මට පාසල් මට්ටමින් එකළ ජයග්‍රහණ රැසක් ලබාගන්නට හැකිවුණා. 2009, 2010, 2011 වසරවල රාජ්‍ය නාට්‍ය උළෙළට අපි ඉදිරිපත් කළ නාට්‍ය්‍යක මම තමයි ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වුණේ. එහි මම හොඳම නළුවා සම්මානය ලබා ගත්තා. 

එතැනින් පසුව 2012 වසරේ ඉංග්‍රීසි සහ සිංහල භාෂා තුළින් නාට්‍ය දෙකක් කළා. ඒ නිර්මාණයන් දෙක තුළම හොඳම සහය නළුවා සම්මානයන් ලැබුණා. 2013 වසරේත් ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කළ නාට්‍යයක හොඳම නළුවා සම්මානය ලැබුණා. ඒ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙ. 

ඉන්පසුව මම ටෙලි නාට්‍ය රංගනයට සම්බන්ධ වුණා. ඒ 2015 වසරේදි. ලලිත් රත්නායක අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයට මුලින්ම සම්බන්ධ වුණේ. ඉන්පසුව ඒකාංගික ටෙලිනාට්‍ය පෝය ටෙලිනාට්‍යවල රඟපෑවා. ඒවත් එක්කම ගුවන් විදුලි සංස්ථාවෙ ළමා නිවේදකයෙක් විදියටත් වැඩ කරලා තියෙනවා. ඊට අමතරව හඬකැවීම් ශිල්පියෙක් විදියටත් කලාව තුළ සම්බන්ධ වෙලා හිටියා.

මෙතරම් කලා හැකියාවන් තිබෙන ඔබ කතාබහට ලක්වුණේ මෑතකදි විකාශය ආරම්භ කළ ‘සර්කස්කාරයෝ’ හරහා.

ඔව්. මාව සර්කස්කාරයෝ නිර්මාණය වෙනුවෙන් එහි අධ්‍යක්ෂවරයා සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා තෝරගන්නෙත් මම සම්බන්ධ වුණු ශානක උදාර අධ්‍යක්ෂණය කළ ‘ජෑම්’ නම් U Tube Series එක නිසා.

අද ඉතින් සර්කස්කාරයෝ හි ‘නිරෝ’ ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද?

අනිවාර්යයෙන්ම ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. මෙගා නාට්‍යයකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව තමයි මේ. නිරෝ එක්ක මේ නිර්මාණය තුළ ගමනක් යන්න එකතුවෙලා ඉන්න තව යාළුවො දෙන්නෙකුත් ඉන්නවා. ඒ භූතයා සහ ඩිලා. ඉතින් ඉතාම කර්කෂ ජීවිතයක් ගත කරන මේ තරුණයින් තිදෙනා තමන්ගේ අරමුණුවලට යන්න තමයි ගේමක් ගහන්නෙ. ඒ අරමුණු ඇතුළෙ තමන්ගෙ පවුලෙ අයටත් ශක්තියක් වෙන්නට අවශ්‍යයි. ඒ සියලුම දේ වෙනුවෙන් තමයි ඔවුන් සර්කස් පෙන්නලා යම් ගතමනාවක් හොයාගන්නට වෙහෙසෙන්නෙ. 

පසුගිය කාලෙ යාළුවො දෙන්නාත් එක්කත් පොඩි ගැටුම්කාරී තත්ත්වයක් තිබුණා නේද?

ඔව්නෙ. එහෙම ප්‍රශ්න ටිකක් නම් වුණා. ඒ වෙස් මුහුණු දාගෙන ගිහින් කළ හොරකමක් සම්බන්ධ ප්‍රශ්නයක්. මේ නිර්මාණය නරඹන අය ඒ ගැන හොඳින් දන්නවා. ඉතින් මෙහි සත්‍යතාවය ඉදිරියෙදි දකින්න ලැබෙයි. 

එකට එකතුවෙලා යාළුවො එක්ක ජීවත් වුණාට විශ්වාස කරන්න බැහැ නේද?

ඒකනෙ. කොයි විදියෙ ප්‍රශ්න ඇති කරයිද දන්නෙ නැහැනෙ.

ඇත්ත ජීවිතේ යාළුවො නිසා අපහසුතාවයට පත්වෙලා නැද්ද?

නැත්තෙමත් නැහැ. නමුත් මම යාළුවොත් එක්ක මීටරෙන් තමයි ඉන්නෙ. යාළුවො කව්ද කියලා දැන හඳුනගෙන ආශ්‍රය කරන්නෙ. ඇත්තටම මගේ යාළුවො දැන් ගොඩක්ම ඉන්නෙ ක්ෂේත්‍රයේ අය තමයි. ඒ හැමෝම මට සහෝදරයෝ වගේ.

මේ දිනවල නම් චරිතය තුළ ප්‍රේම සම්බන්ධතාවයකට මුල පුරන්නත් සූදානමක් තියෙනවා?

ඒ පොඩි උත්සාහ කිරීමක් තමයි. උත්සාහය සාර්ථක වෙයිද? අසාර්ථක වෙයිද කියලා ඉදිරියෙදි තමයි දැක ගන්න පුළුවන් වෙන්නෙ.

ඇත්ත ජීවිතේ ගැහැණු ළමයින්ට ට්‍රයි කරලා අත්දැකීම් තියෙනවද?

අනිවාර්යයෙන්ම. ඒ දේ ඉතින් හැමෝටම තියෙනවනෙ. 

කොල්ලෙක් වුණාම විශේෂයෙන්ම තියෙන්න එපැයි. ඒ උත්සාහයන් තුළ ජය පැරදුම දෙකම තියෙනවද? 

ඔව්. මම කොහොමත් ආදරය විරහව දෙකම විඳලා තියෙනවා ජීවිතේ. නමුත් මේ ගතවෙන කාලය තුළ නම් ආදරයක් නැහැ. දැන් ඒ දේ තුළින් ටිකක් ඈත්වෙලා හුදෙකලාව තනියෙන් ගමනක් යන්න තමයි උත්සාහ කරන්නෙ. 

පවුලෙ අයගෙන් මේ ගමනට ලැබෙන සහය ගැනත් කතා කරමු?

මගෙ ගෙදර ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි, මමයි, අයියා විවාහකයි. ඇත්තටම පවුලෙ අයගෙ ලොකුම ශක්තිය මට තියෙනවා. ඒ නිසා තමයි නිදහසේ මේ ගමන යන්න හැකිවුණේ. දැන් මට අවුරු 24ක් ඒ කාලය පුරාවටම කිසිදු බලපෑමක් නැතිව අදටත් මට මේ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යන්න අවස්ථාව දීලා තියෙනවා. අම්මට, තාත්තට ලොකු ආසාවක් තිබුණා මාව ටීවී එකේ දකින්න අද ඉතින් ඒ ආසාවන් සැබෑ වෙලා තියෙනවා. ඉතින් මාව අද මේ විදියට දකිද්දි, ප්‍රේක්ෂක ප්‍රතිචාර, ආදරය ලබද්දි ඒ දෙන්නා ගොඩක් සතුටු වෙනවා. ඒ සතුට දකිද්දි මටත් මේ ආපු ගමන් මඟ ගැන යම් තෘප්තියක් තියෙනවා. ඉදිරියෙදිත් කලා ක්ෂේත්‍රය තුළම ලස්සන ගමනක් යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.

ධනු විජේරත්න