ගමට ගියත් මට බිම් අඟලක් නෑ ජීවත් වෙන්න කාලයක් මම ත්‍රීවිල් රස්සාව කළා - ආලෝක සම්පත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q ආලෝක... මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා තිබෙනවා. ඒක මගේ පැත්තෙන් මට සතුටට කාරණාවක්. සිනමා සහ ටෙලිනාට්‍ය කිහිපයකම වැඩකටයුතු කරමින් යනවා. ඒ අතරින් කතුරු මිතුරු චිත්‍රපටය මේ වෙද්දී ඉතා ජනප්‍රිය, බොහෝ දෙනා නැරඹූ චිත්‍රපටයක් වෙලා තියෙනවා. ඒ චිත්‍රපටයේ මම නළුවෙක් වගේම සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩකළා. මේ වෙද්දී මම චිත්‍රපට සම්බන්ධීකරණ කටයුතුවල නියැළෙනවා. චිත්‍රපටයක් රෑගත කිරීම් කර අවසන් වුණාට පසුව ඒ සම්බන්ධව මාධ්‍ය සම්බන්ධීකරණය වගේම මංගල දර්ශනය දක්වා තිබෙන වැඩ මම බාර අරගෙන තිබෙනවා. ඒ අනුව පසුගියදා සමුද්‍රි රණසිංහගේ ''The Wacky'' චිත්‍රපටය තිරගත වුණා. එම චිත්‍රපටය ප්‍රවර්ධන කටයුතු බාර දුන්නේ මටයි. ඒ වගේම සංජීව පුෂ්පකුමාරගේ ආයු චිත්‍රපටය වගේම විසාකේස චන්ද්‍රසේකරම්ගේ Munnei චිත්‍රපට කිහිපයකම සම්බන්ධීකරණ කටයුතු කරනවා. ඒ වගේම ටෙලිනාට්‍යවලින් ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ සර්කස්කාරයෝ වගේම නීලපබළු, දිවිතුරා යන නිර්මාණවලට රංගනයෙන් දායක වෙලා ඉන්නවා. පසුගිය දිනවල අවසන් වුණු මුරගසන් සහ ඇතුල්වීම තහනම් ටෙලිනාට්‍යවලටත් දායක වුණා. ගිහාන් ප්‍රනාන්දුගේ 'ලොක්කා ලෙඩවෙලා' වේදිකා නාට්‍යයටත් සූදනම් වෙනවා.

Q මේ කාර්යබහුලකම, වෙහෙසකාරීකම සිතට එකතු කරන්නේ තෘප්තියක් නේද?

අනිවාර්යයෙන්ම ඔව්. මේ වහෙස තෘප්තියත් එක්ක නැතිවෙලා යනවා. මම කාර්යබහුලකමට කැමැතියි. වැඩකරන්න කැමැතියි. ඒ කාලේ ඉඳන්ම නළුවෙක් වෙන්න ලොකු උත්සාහයක් ගත්තා. ඉතින් නළුවෙක් හැටිය කාර්යබහුල වෙනවා කියන්නේ ඇඟේ හිරිගඩු පිපෙනවා වගේ වැඩක්. මේ වෙද්දී විවිධ හැඩ තිබෙන චරිත හතරක් මම රඟපානවා. ඒ ගැන හිතද්දී හිතට මාරම සතුටක් දැනෙනවා. 

Q ඔබ රංගනය පිළිබඳව ඉගෙන ගත්තද..?

 ''වේදිකාවෙන් ආවොත් කවදාහරි පැවැත්මක් තියෙනවා'' කියලා මම තේරුම් ගත්තා. හැබැයි ටෙලිනාට්‍යයක මගේ මුහුණ පේන්න බොහෝ කාලයක් ගතවුණා. වේදිකාවෙන් ආපු අයට පැවැත්මක් තියෙනවා කියලා දැනුණු නිසා ඒ හැමදේම ඉවසගෙන මම හිටියා. තාමත් ඉන්නේ ඒ වේදිකාවේ හයියත් එක්කයි. වේදිකාවෙන් ආ ජයලත් මනෝරත්න සර්, ජැක්සන් ඇන්තනි මහත්මයා වැනි දැවැන්තයින්ගේ චරිත දිහා බලලා වේදිකාව ගැන විශ්වාසයක් හා බලාපොරොත්තුවක් ඇතිවුණා. 

Q කලාවේදී ආලෝකව ප්‍රතික්ෂේප වුණ තැන් තිබුණද?

මාව වැඩකට අරගෙන කවදාවත් අයින් කරලා නැහැ. වේදිකා නාට්‍යවල දක්ෂයෝ බොහෝමයක් ඉන්නවා. වේදිකාවේ දක්ෂ ඇතැම් කොල්ලෝ කෙල්ලන්ට සිනමා සහ ටෙලිනාට්‍ය සමහර අධ්‍යක්ෂකවරු දන්නේ නැහැ. දැනගත්තත් ඔවුන්ට අවශ්‍ය රෑපය නැහැ. ඒ ලස්සන නැහැ. ඒ දේවලුත් එක්ක තමයි සමහර තැන් ප්‍රතික්ෂේප වුණේ. 

Q කලා ක්ෂේත්‍රයට ආවට පසුව ආලෝක කලකිරුණු, පසුතැවුණු තැන් නැද්ද? ආයෙත් මේ හැමදේම අතහැරලා ගමට යන්න හිතුණේ නැද්ද...?

එහෙම හිතුණ තැන් තිබුණා. මැද කාලයේදී මට වැඩ තිබුණේ නැහැ. සමහරු මම කියන මිලට මට වැඩ දුන්නේ නැහැ. ''උඹෙ ගණන් වැඩියි මචං ගන්න වෙන්නේ නැහැ'' කියන දේත් එක්ක මට වැඩ නැතිවුණා. හැබැයි මේ හැමදේම අතහැරලා ගමට ගියා කියලා මට ගමේ කරන්න දෙයක් තිබුණේ නැහැ. අඩුම තරමේ ගමේ මගේම කියන බිම් අඟලක්වත් නැහැ. ඒ නිසා මෙච්චර කාලයක් කොළඹ රුඳිලා හිටපු කාලෙත් අපරාදේ කියලා හිතලා කොහොම හරි මේකේ ඉන්න උත්සාහ කළා. මම කාලයක් ත්‍රීවීලර් එකක් හයර් කළා. ඒ නිසා මම කාලයක් සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩකළා. අද වෙනකොට මට පැවැත්මක් තියෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා.

Q ත්‍රිකුණාමලයේ ජීවත්වුණු ආලෝකට අද කලා ක්ෂේත්‍රයේ ඉන්න තැන ගැන හිතද්දී මොකද හිතෙන්නේ...?

මාරම සතුටක් දැනෙන්නේ. මගේ ගම කන්තලේ. මම ඉගෙන ගත්තේ කන්තලේ අග්‍රබෝධි විදුහලෙන්. පාසැලේදී නාට්‍ය කරද්දී මුලින්ම මට සම්මානයක් හිමිවුණා. ඒකෙන් මට ''නළුවෙක් වෙනවා'' කියලා ආසාව ඇතිවුණා. 

Q ත්‍රිකුණාමලයේ සිට කොළඹට එද්දී ආලෝක දන්න කියන කෙනෙක් කොළඹ හිටියද? නතර වුණේ කොහේද...?

මගේ සීයාගේ අයියගේ දුවෙක් කොළඹ හිටියා. හැබැයි ඒ අයත් මම කොළඹ ඉන්නවා කියලා දැනගත්තේ මාස කිහිපයකට පසුවයි. මුලින්ම කොළඹ ඇවිත් බෝඩිමක නතර වුණා. තරුණ සේවා සභාවේ නාට්‍ය පාසැලට සම්බන්ධ වෙන්න ගමේ ඉඳන් කොළඹ ආවා. මාසයක් ඉඳලා තාත්තට ඒ ගැන කිව්වට පස්සේ තාත්තා පිළියන්දල නැන්දලාගේ ගෙදර මාව නැවැත්තුවා. ඒ දෙන්නා මට ආදරෙන් සැලකුවා. උදේ පාන්දර නැන්දා නැගිටලා මට කෑම එක හදලා දුන්නා. ''මම තනියම නැගිටිනවා'' කියලා නැන්දලාට කියලා යාළුවන්ගේ ගෙවල්වල නතර වුණා. අපි ගම්වල හොඳට බත් කාපු අයයි. ඒ නිසා යහළුවන්ගේ අම්මා තාත්තා මට ඒ අයගේ දරුවන්ටත් වඩා හොඳට සැලකුවා. ඉගෙන ගන්න කාලේදී මම පාරවල්වල පත්‍රිකා (Leaflets) බෙදුවා. ඔය විශාල ඇඳුම් ඇඳගෙන මුහුණවල් දාගෙන සුපිරි වෙලෙඳසැල් ඉස්සරහ නටලා තියෙනවා. දවසකට රුපියල් පන්සීයක් ලැබුණා. ඒ පන්සීය සතියක් ජීවත් වෙන්න ඇති. ඔය අතරේ ගෙදරිනුත් සල්ලි එව්වා. හැම සති අන්තයේම කෝච්චියෙ ගෙදර ගියා. ඒ එද්දිත් ගෙදරින් සල්ලි දුන්නා.

Q පවුලේ විස්තර ටිකක් කියන්න.

තාත්තා මාස කිහිපයකට උඩදී මියගියා. අම්මා කන්තලේ තනියම ඉන්නවා. වටපිටේ නෑදෑයින් ඉන්න නිසා බයක් නැහැ. ඒ හැමෝම හරිම හොඳයි. මට එක සහෝදරයෙක් ඉන්නවා.

Q ආලෝක... ඊළඟ බලාපොරොත්තු මොනවාද?

මේ වෙද්දී ''Aasa Acting School'' නමින් රංග පාසැලක් පවත්වාගෙන යනවා කන්තලේ. තරුණ සේවා සභාවේ නාට්‍ය පාසැලේ අවුරුදු දහතුනක් බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කළා. ඒ වැඩකරද්දී ත්‍රිකුණාමලෙන් කන්තලෙන් කවුරුවත් රඟපාන්න ආවේ නැහැ. ඒ නිසාම මම කන්තලේ නාට්‍ය වැඩමුළුවක් පවත්වද්දී දක්ෂයෝ රුසක් එහේ ඉන්නවා කියලා දැනගත්තා. ඒ නිසා තමයි Aasa Acting School පටන් ගත්තේ. ඒක මාස හයක පාඨමාලාවක්. ඒකට කොළඹ ඉන්න ඒ ගැන සුදුසුම අය කන්තලේ යනවා. අද වෙද්දී කන්තලෙන් දහදෙනෙක් විතර රඟපාන්න ඇවිත් තියෙනවා. ඔවුන්වත් රෑපවාහිනියෙන් දකිද්දී මගේ හිතට පුදුම සතුටක් දැනෙනවා.

I දිශානි ජයමාලි
සේයාරූ I සුමුදු හේවාපතිරණ