දමිළ සිනමාවේ පෙරළිකාර කවිකාරයා - සිවකුමාර් ලිංගේස්වරන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q මේ දවස්වල සිවකුමාර් මොකද කරන්නේ...?

මේ දවස්වල මගේ දෙවැනි චිත්‍රපටයේ මූලික කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රෑගත කිරීම් සිදුකරනු ලබන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙයි. මෙම චිත්‍රපටය රඟපෑමට අමතරව පිටපත් ලිවීම සහ අධ්‍යක්ෂණයෙන් සම්බන්ධවෙලා ඉන්නවා. ඒ නිසා මේ චිත්‍රපටය තමයි මගේ මුල්ම චිත්‍රපටය ‍ෙවන්නේ. ඒ චිත්‍රපටය ''Godless night'' නමින් තමයි අපි නම් කළේ.

Q සිවකුමාර්ගේ පවුලේ විස්තර ටිකක් කියන්න...

මගේ පවුලේ සාමාජිකයින් හත්දෙනෙක් ඉන්නවා. ඒක ටිකක් ලොකු පවුලක්. මගේ අම්මා තාත්තා එක්ක මට සහෝදර සහෝදරියන් හතර දෙනෙක් ඉන්නවා. මම පවුලේ හතරවෙනි දරුවා. මට සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයින් දෙදෙනෙක් ඉන්නවා. ඒ හතරදෙනාම විදෙස්ගතවෙලයි ඉන්නේ. ඒ නිසා මම දෙමව්පියන් එක්ක ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. කොහොමත් මගේ සහෝදර සහෝදරියන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම කලා වැඩ කරනවාට ඒ අය හරි ආසයි. මට අවශ්‍ය කරන දේවල් ලියලා දෙනවා. මගේ අඩුපාඩු හොයල බලනවා. ඒ හැමෝම මට හරි ආදරෙයි. ඉතින් ඒ වගේ පවුලක ඉපදිලා ඒ ආදරය ලබන්න තරම් මම හරි වාසනාවන්තයි. ඒ අයගේ වැඩ සමබර කරගෙන පුළුවන් විදිහට මගේ සහෝදර සහෝදරියන් අපිව බලන්න ලංකාවටත් එනවා.

Q පාසැලේදී ගතකරපු ඒ කාලය අද ආයෙත් මතක් කළොත්...?

මගේ ජීවිතේ වැදගත්ම කාලය විදිහට මම සලකන්නේ මගේ පාසැල් කාලයයි. ඒකට හේතුව තමයි පාසැලේදි මම දඩබ්බර පාසැල් ශිෂයෙක් වුණා... ගුරුවරන්ගේ බැණුම් අහපු චරිතයක් වගේම මම බොහෝම විහිළුවෙන් හිටපු කෙනෙක්. මට තාම මතකයි අපේ පාසැලේ ගුරුතුමෙක් හිටියා. ඒ ගුරුතුමාගේ නම රජේන්ද්‍රන්. හැබැයි අපි ඔහුට ''වනී'' කියලයි කිව්වේ. මම විනයගරුකව හොඳින් ඉගෙනගන්නවා බලන්න ඔහුට ඕනෑ වුණා. ඒත් මම එහෙම වුණේ නැහැ. මගේ පාසැල් කාලය සෙල්ලක්කාර විදිහට, ක්‍රීඩා කටයුතු කරමින් ගෙවුණා. පාසැල් කාලය ඉගෙන ගන්නවාට හිත යොමුකරනවාට වඩා සෙල්ලක්කාරව ගත කරන්න මම ආස කළා. ඒ නිසාම රජේන්ද්‍රන් ගුරුතුමාගෙන් විතරක් නෙවෙයි පාසැලේ බොහෝ ගුරුවරුන්ගෙන් දඬුවම් මම ලැබුවා. මට පාසැලේදී යාළුවෝ බොහෝමයක් හිටියා. ඒ අය අතරින් මට විශේෂිත යාළුවෙක් හිටියා. අද මම මේ ඉන්න තැනට ඔහු ලොකු හේතුවක් වුණා. නමුත් මට හරිම දුකක් තිබෙනවා. අද වෙද්දි මගේ ඒ යාළුවා ජීවතුන් අතර නැහැ.

Q පාසැල් වේදිකාවේ සිවකුමාර් රඟපාලා තිබෙනවාද?

ඔව්. පාසැල් කාලයේදී පාසැල් වේදිකාවේ රඟපාපු අවස්ථා තිබුණා. ඒ අතරින් අපි රඟපෑ එක්තරා නාට්‍යයක් පළාත් මට්ටමින් ජයග්‍රහණයක් ලබන්නටත් අපිට හැකියාව ලැබුණා. අද මම සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ඒ පාසැල් කාලයේදී ලබපු අත්දැකීම්ද බලපාන්නට ඇති කියලා මට හිතෙනවා. හැබැයි පාසැල් කාලයේදී නාට්‍යවල මට ප්‍රධාන චරිත රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒවා ඉතා කුඩා චරිත වුණා... සමහර නාට්‍යවලදී මාව වේදිකාවෙන් දැක්කෙත් පොඩිම පොඩි කාල සීමාවකට විතරයි.

Q සිවකුමාර් කලාවට කැමැති වුණේ පුංචි කාලේ ඉඳලමද?

පුංචි කාලේ මම එහෙම ලොකු උවමනාවක්, උනන්දුවක් තිබුණාද කියලා මට හරියටම මතක නැහැ. හැබැයි කලාවට ආසා වුණාට මගේ හිතේ යම් වේදනාවක් තිබුණා. නාට්‍යවලට තෝරාගනිද්දී ඒ කාලේ කිසිම වෙලාවක මාව ප්‍රධාන චරිතයකට හෝ අනු චරිතයකට තෝරා නොගන්නට හේතුව වුණේ මගේ පෙනුම අඩුකමද එහෙමත් නැත්නම් රංගන කුසලතාවයේ තිබුණු අඩුවක් නිසාද කියලා හිතුණු අවස්ථා අනන්තවත් තිබුණා. ඒ නිසාම ඇතැම් කාලවලදී කලාවට යොමු නොවන්නට හිතුණ වෙලාවල් පවා මගේ ජීවිතේ තිබුණා.

Q යාපනයේ ගතකරපු ළමා කාලය ගැන කියන්න...?

මම උපන්නේ යාපනයේ. හැබැයි මට අවුරුදු තුනේදී මගේ අම්මයි තාත්තයි මාව ත්‍රිකුණාමලයට රුගෙන ආවා. එතැන් සිට පාසැල් කාලයේ සිට මේ දක්වා මම ත්‍රිකුණාමලයේ සාලිය ප්‍රදේශයේ ජීවත් වෙනවා. මම පාසැලේදී හිටපු හොඳම යාළුවා වුණ ''ධජීඩ්'' එක්ක ඉස්කෝලේ ළඟ තිබුණු පුස්තකාලයට යන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසාම මාත් එයත් එක්ක පුස්තකාලයට ගියා. එතැනට අඩුම වයසින් පුස්තකාලයට ගිය දෙන්නා වුණේ අපි දෙන්නා විතරයි. එතැන ආපු අනිත් ඔක්කොම අපේ සීයලාගේ වයස්වල හිටපු වැඩිහිටි අයයි. පුස්තකාලයට ගියපු මම ඔය හැම පත්තරයක්ම කියෙව්වා. පත්තරවල තිබුණ නිසැඳැස්, කවි කියෙව්වා. මම කියෙව්වා විතරක් නෙමෙයි, පත්තරවලට මගේ කවි තැපැල් කළා. ටික දවසකින් මගේ කවියක් පත්තරයක පලවෙලා තිබුණා. එදා මම ගොඩක් සතුටු වුණා. එතැන් සිට මගේ කවි වරින්වර පත්තරවල පලවුණා. ඒ හැකියාව මගේ වර්ධනය වුණා. මම පද්‍ය රචනා තරගවලට ඉදිරිපත් වුණා. ඒවා ජයග්‍රහණය කළා පළාත් මට්ටමින් පැවැති තරගයකින්. මම පද්‍ය රචනා තරගයෙන් දෙවැනි ස්ථානය පවා හිමිකරගත්තා. කාලයකට පසුව මම මගේ පළමු කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඒ ''Kanavu'' නමිනි. ඒ කෙටි චිත්‍රපටය ''Shakti TV'' ඔස්සේ පැවැති තරගයට ඉදිරිපත් වෙලා එයින් මගේ මුල්ම සිනමා ගමන ආරම්භ වුණා. මුල් කාලයේදී මගේ සිනමා ගමන ආරම්භ වුණේ අධ්‍යක්ෂකවරයෙක් විදිහටයි.

Q සිවකුමාර් පුංචි කාලේ කවුරු වෙන්නද ආස කළේ..?

ඒක හරි සුන්දර බලාපොරොත්තුවක්. මායි, මගේ යාළුවෝ දෙන්නෙකුයි කවදාහරි දවසක වෛද්‍යවරුන් වෙන්න ආසාකළා. නමුත් ඒ අයගෙන් එක් අයෙක් වයස අවුරුදු විසි එකේදී වෛද්‍ය පහසුකම් නැතිකම නිසාම මියගියා. ඔහු එක අතකින් මගේ හොඳ මිතුරෙක් වුණා. ඒ වගේම ඔහු හොඳ විද්‍යා ගුරුවරයෙක්. ඉතින් මගේ මිත්‍රයාගේ වියෝව මට තදින්ම දැනුණා.... මට ආසාව තිබුණ වෛද්‍යවරයා වෙන්න බැරිවුණත් මම කළ හැකි පමණින් මිනිසුන්ට උදව් කරන්නට බලාපොරොත්තු වෙනවා.

Q මෙතෙක් සිවකුමාර් දායක වුණ නිර්මාණ මොනවාද...?

මීට අවුරුදු දහයකට පමණ පෙර මම මුල්ම කෙටි චිත්‍රපටයක රඟපෑවා. ඒ දුෂ්ඨයාගේ චරිතයෙන්. ඒ චරිතයේ දෙබස පවා තාම මට මතකයි. ඒ පිටපත පවා තවමත් මගේ ළඟ පරිස්සමට තිබෙනවා. ඊටපස්සේ මම තවත් කෙටි චිත්‍රපටයක හාස්‍ය නළුවෙකු ලෙසින් රඟපෑවා. ඒ කෙටි චිත්‍රපටය නිෂ්පාදනය කළේ මමයි. ඒක බලපු Kavimaran Siva නම් අධ්‍යක්ෂකතුමාගෙන් ඔහුගේ ''Sandian'' දමිළ චිත්‍රපටයේ සහකාර අධ්‍යක්ෂක ලෙසින් මට වැඩකරන්න ආරාධනා ලැබුණා. එම චිත්‍රපටයේ හාස්‍ය චරිතයක් කරන්න මට අවස්ථාවක් ලැබුණා. මුල් දවස්වලදී දමිළ චිත්‍රපටවල, කුඩා චරිතවලට, ගීතවලට, කෙටි චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. යාපනයේ සහ ත්‍රිකුණාමලයේ කරපු බොහෝ නිර්මාණවල මම වැඩකරලා තිබෙනවා. 2021 අවුරුද්දේ මට විසාකේස චන්ද්‍රසේකරම්ගේ ''Munnei'' නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව උදාවුණා. එම චිත්‍රපටය මගේ ජීවිත් ලොකුම හැරවුම වුණා. ඒක චිත්‍රපටයක් පමණක් නොවෙයි. ඔහු මට කලා ක්ෂේත්‍රයේ ගුරුවරයෙක් වුණා. ඔහුගෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. කලාව ගැන වගේම අනෙකාට ගරුකිරීම, ජීවිතයට වටිනාකමක් ලබාදීම ගැන බොහෝ දේවල් මම ඔහුගෙන් ඉගෙන ගත්තා. හැම දවසකම මම හැමෝගෙන්ම කුමක් හෝ දෙයක් ඉගෙන ගන්නවා. මගේ දෙවැනි චිත්‍රපටයේ වැඩ මේ වසරේදී ආරම්භ කිරීමට සූදානමින් ඉන්නවා.

I දිශානි ජයමාලි
සේයාරූ I සුමුදු හේවාපතිරණ