දේශපාලනය මට තිත්තයි අප්පිරියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රය තුළ මේ දිනවල වැඩි කතාබහකට සහ ආකර්ෂණයකට ලක්ව සිටින කලාකරුවකු මෙවර සදැල්ලට එකතු කරගන්න හිතුවා. සඳැල්ල කවරයද සරසමින් අප සමඟ එකතු වූ ඒ ආදරණීය චරිතය තමයි යෂ් වීරසිංහ.

රෙදිමෝලවත්තෙ අනාගෙ වෙනස්වීම පිළිබඳ මුලින්ම කතා කරමුද?

ඇත්තටම මේ කතාව ආරම්භයේ තිබුණු අනර්ඝගේ චරිතය නෙමෙයි මේ වෙද්දි තියෙන්නෙ. සෑහෙන වෙනස්කම් ටිකක් සිදුවුණා චරිතය ඇතුළත. එයට මම රඟපෑ විදිය සහ මහේෂ් රත්සර මද්දුමආරච්චි මෙහි පිටපත් රචකයා මෙය රචනා කරපු විදියත්, මුලින්ම ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයත් වර්තමානයේ වසන්ත අමරසිංහ අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයත් මේ චරිතය රංගනයෙ වෙනසට ගොඩක් බලපෑවා. මේ චරිතය ආරම්භයේ සිටම වගේ අනර්ඝට, එහෙමත් නැත්නම් දෙවනිට බැණපු කෙනෙක්නම් නැහැ. මේ චණ්ඩි චරිතයක් වුණත් හරිම සංවේදී හදවතක් තියෙන, අසාධාරණය වෙනුවෙන් සටන් කරන හිත හොඳ චරිතයත් නිසා ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත සහ ආදරය එදා සිට අද දක්වාම එකම විදියට තිබුණා. ඉතින් මේ දවස්වල චරිතය වගේම පෙනුමත් ගොඩක් දුරට වෙනස් කරලා තියෙන නිසා ඒ වෙනස ගැන නම් පෙරටත් වඩා බොහෝ දෙනෙක් කතා කරනවා.

විශේෂයෙන් අනාගෙ ඇඳුම ගැන කතා කරනවා නේද?

ඔව්. ඇත්තටම ඒකනම් විශේෂත්වයක් තමයි. ඒකට මූලික හේතුව වුණේ නම් මෙහි පිටපත් රචක මහේෂ් අයියා මගෙත් එක්ක කතා කළා මේ චරිතය තුළ දේශපාලනයට සම්බන්ධවීමක් සිද්ධවෙන්න තියෙනවා ඡන්දෙ ඉල්ලනවා වගේ දේකට යන්න තියෙනවා. ඒ නිසා එවැනි පෙනුමකට යන්න ඕනෑ කියලා. ඉතින් මම ඔහුට යෝජනාවක් කළා ඒ වෙනුවෙන් වේට්ටිය අඳිමුද කියලා. මොකද අපි දකින හැම ඇමති කෙනෙක්ම අඳින්නෙ නැෂනල් එකනෙ. ඒ දෙයින් තොරවෙලා වේට්ටියට යමු කියලා කිව්වම ඔහුත් කැමති වුණා. ඉතින් මේ වෙද්දි නොහිතපු විදියට වේට්ටියට විශාල ප්‍රතිචාරයක් තියෙනවා. අපි මේ රූගත කිරීම් සිදු කරන පැරඩයිස්වත්තෙ ජීවත්වන මිනිස්සු පවා හරිම කැමතියි මම මේ ඇඳුම ඇඳලා එද්දි, ගෙවල් ඇතුළෙ ඉන්න අයත් එළියට ඇවිල්ලා බලනවා. ඒ තරමට වේට්ටිය මේ වෙද්දි පත්තු වෙලා තියෙන්නෙ. ඒක නිසා කොල්ලා දැන් හෙන ගැම්මෙන් ඉන්නෙත්. 

ඒ ගැම්මත් එක්ක ඇත්තටම ඡන්දෙ ඉල්ලන්න එහෙම අදහසක් නැද්ද?

අපෝ නැහැ. ජීවිතේට කරන්නෙ නැති දෙයක් තමයි ඒ.

දේශපාලනයට ඒ තරමට අකමැතිද?

අනේ ඔව්. දේශපාලනය කියන දේ මට හරි තිත්තයි. අප්පිරියයි. ඒ ගැන කතා කරන්නවත් කැමති නැහැ. 

ඉදිරියෙදි අනර්ඝගෙ දේශපාලනය කොහොම වෙයිද?

දේශපාලනය කියන දේ කොතරම් ජරා දෙයක්ද කියන දේ මේ නිර්මාණය තුළින් ඉදිරියෙදි දැකබලාගන්න හැකිවෙයි. රෙදිමෝලවත්තෙ හැදුණු අසාධාරණයට එරෙහිව නැගී සිටි චරිතයක් දේශපාලනය කියන තැනට ගිහින් මොන වගේ දේවල් ටිකක් කරයිද කියන දේ මම කියන්නෙ නැහැ. ඉස්සරහට හොඳ වැඩ ටිකක් දකින්න ලැබෙයි අනර්ඝ චරිතය හරහා.

මේ රංගනයන් තුළ අම්මා - පුතා බැඳීම එක්ක සංවේදී වන තැන් ගොඩක් තියෙනවා නේද? විටෙක ප්‍රේක්ෂකයන්ව පවා හඬවන තැන් තියෙනවා. ඒ හැඟීම් යෂ්ට කොහොමද දැනෙන්නෙ?

ඇත්තටම ඒ සංවේදීවීම සම්බන්ධව මගෙත් එක්ක කතා කරපු අයත් ඉන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනා අපේ ඒ රංගනයන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ඇස්වලට කඳුළක් එනවා කියන්නෙ අපි ඒ චරිත තුළ ජීවත් වෙලා තියෙනවා කියන දේ තමයි. නැත්නම් මිනිහෙක්ට සාමාන්‍යයෙන් ඇඬෙන්නෙ නැහැනෙ. කියන්නන් වාලේ දෙබසක් දෙකක් කිව්වට මිනිහෙක්ට ඇඬෙන්නෙ නැහැ. තව කෙනෙක්ව අඬවන්න පුළුවන් විදියට ඒ රංගනය කරන්න පුළුවන් වෙනවා කියන්නෙ අපි ඒ වෙලාවෙ ඒ මොහොතෙ ජීවත්වෙන්නම ඕනෑ. නැත්නම් ඒ දේ කරන්න බැහැ. ඇත්තටම මේ නිර්මාණය තුළ අපිත් එකක් වැඩ කරන අනිත් රංගන ශිල්පි ශිල්පිනියන් ඒ අයගේ රූගත කිරීම්වල ඒ ජවනිකාවලදි ඇත්තටම අඬන අවස්ථා තියෙනවා. ඒ සමහර හැඟීම් එන්නෙ නිරායාසයෙන්ම, කොහොමත් අම්මා - පුතා බැඳීම්වල සංවේදී වන තැන් වැඩියිනෙ. මම කොහොමත් සැබෑ ජීවිතෙත් මගේ අම්මා එක්ක ගොඩක් එකතුයි. හරිම ආදරෙන් ඉන්නෙ. ඉතින් ඒ ආදරය සහ බැඳීමත් එක්ක මේ නිර්මාණය තුළ රංගනයෙදි මට අමුතුවෙන් රඟන්න දෙයක් තිබුණෙ නැහැ. අම්මා - පුතා හැඟීම මට කොහොමත් සංවේදීයි. විශේෂයෙන් කියන්න ඕන මේ නිර්මාණයෙ මගෙ අම්මට මුලින්ම රංගනයෙන් දායක වුණේ දුලීකා මාරපන අක්කා. ඇයව විශේෂයෙන් මතක් කරන්න ඕනැ. එදා ඇයත් එක්ක රංගනයෙදි මම හදාගත්ත ඒ දේ වර්තමානයේ මගෙ අම්මා විදියට රංගනයේ යෙදෙන ධනුෂ්කා ජයරත්න අක්කාත් එක්ක ගෙනියනවා. ඒ දෙන්නගෙන්ම මට මේ රංගනය කරගෙන යන්න විශාල සහයෝගයක් ලැබුණා. ඒ හැමදේම වගේම ඉතින් තාක්ෂණික සහයෝගයත් ගොඩක් ඉවහල් වෙලා තියෙනවා අපේ රංගනයන් සාර්ථකව කරගෙන යන්න.

මේ නිර්මාණය තුළ දිගැසි සහ අනර්ඝ අතර ආදරයක් ගොඩනැගෙනකම් ප්‍රේක්ෂකයො බලාගෙන ඉන්නවා නේද?

ඔව්. එහෙම දෙයක් තියෙනවා. මේ නිර්මාණය මැදදි වගේ දිගැසි සහ අනර්ඝ එකතු වුණොත් හොඳයි කියන එකත් කතාවක් හැදුණා. ඒ ගැන නම් ඇත්තටම අපිට කියන්න බැහැ. ඉදිරියෙදි සමහර විට එහෙම දෙයක් වෙන්නත් බැරි නැහැ.

ඇත්ත ජීවිතෙත් යෂ් සහ සචින්තනීව ජෝඩු කරලා තියෙනවා නේද කට්ටිය?

ඔව්නෙ ගොඩක් දෙනෙක් අපිව ජෝඩු කරලා තියෙනවා. කොහොමත් කාලෙන් කාලෙට මම රඟපාන ටෙලි නිර්මාණවල රංගන ශිල්පිනියන් අල්ලලා මොකක් හරි කතාවක් ගොතනවා. ඒක මට දැන් සාමාන්‍ය දෙයක්.

ඒ කියන්නෙ ඒ කතාවෙ සත්‍යතාවයක් නැහැ?

අනේ නැහැ. සචින්තනී කියන්නෙ මගේ ළඟම හොඳම යෙහෙළියක්. මට මුණගැහුණු ඉතා හොඳ කෙනෙක්. අපි ක්ෂේත්‍රයේ ගොඩක් දේවල්වලදි එකට මුණගැහෙනවා. ඒ සමහර දේවල් නිසා වෙන්න ඇති සමහර දෙනෙක් අපි යාළුයි කියලා කියන්නෙ. 

ක්ෂේත්‍රයට ආවට පස්සෙ මේ වෙද්දි කී දෙනෙක් විතර ජෝඩු කරලා තියෙනවද?

අම්මෝ. සෑහෙන්න ජෝඩු කරලා තියෙනවා. ඒවා දැන්නම් මට පුරුදුයි. මේ ටිකේ සචින්තනීව අල්ලගෙන ඉන්නවා. මීට ටික කාලෙකට කලින් අනුරාධා ගැන කිව්වා. ඒ වගේ කාලෙන් කාලෙට ලිස්ට් එකට එකතු කරනවා කට්ටියව.

ඇත්ත කෙනාව විවාහය දවසට බලාගන්න පුළුවන් වෙයිනෙ නේද?

ඔව්. ඔව්. එතකොට බලාගන්න පුළුවන් වෙයි. තවම නම් එහෙම කෙනෙක් නැහැ ඉතින්. එහෙම කෙනෙක් ලැබෙයිද දන්නෙත් නැහැනෙ නේද?

ඒ දේවල් දෙවනුව තියලා එහෙනම් නැවතත් කලා කටයුතු සම්බන්ධව කතා කරමු ඉදිරි වැඩ කටයුතු ගැන?

ඉදිරි වැඩ කටයුතු කියන්නෙ කියාදෙන්න ආදරේ තරම් නිර්මාණයට අමතරව ‘‘සික්ස් පැක්’’ මේ වෙද්දි විකාශය වෙනවා. ඒ වගේම චන්දන හේවාපතිරණ අධ්‍යක්ෂවරයාගේ ‘‘දූවිලි මල්’’ රූගත කිරීම් සිදු වෙනවා. ශාන් ජයරත්න අධ්‍යක්ෂවරයාගේ අලුත්ම නිර්මාණයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එක්කම සිනමා නිර්මාණ දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා. එහි රූගත කිරීම් ලබන වසරේ ජනවාරි ආරම්භ වෙනවා. ඒවට සූදානම් වෙනවා වගේම තවත් ටෙලි නිර්මාණ තුනකටත් ආරාධනා ලැබිලා තියෙනවා සම්බන්ධ වෙන්නට. ඒවත් එක්ක හඬකැවීම් වැඩත් කරගෙන යනවා.

ඒ කියන්නෙ 2024 වසරේ නිර්මාණ රැසකින්ම දකින්න ලැබෙයි?

ඔව්. අනිවාර්යයෙන්ම.

ඉතින් මේ විදියට කලාවත් එක්ක යන ගමන ගැන මොකද හිතෙන්නෙ?

කලාකාරයෙක් කියන්නෙ ප්‍රේක්ෂකයන්ගෙ ආදරේ මත යැපෙන කෙනෙක්නෙ. ඔවුන්ගේ ආදරය නැති වුණොත් කලාකාරයෙක් කියලා කෙනෙක් නැහැ කියන තැන තමයි මම ඉන්නෙ. ඇත්තටම මම අද මේ ඇවිල්ලා ඉන්න තැනත් එක්ක මේ ලැබෙන ආදරය මාරම විදියට වටිනවා. මේ ආදරය ප්‍රතිචාර ලැබීම මම පුංචි කාලෙ ඉඳන් දැකපු හීනයක්. අද මම කොහේ ගියත් මිනිස්සු දැන හඳුනගෙන කතාබහ කරනවා. ඉතින් ඒ ලැබෙන ආදරය ආශිර්වාදය එක්ක කලාව තුළ ලස්සන ගමනක් යන්න තමයි ඉදිරියටත් බලාපොරොත්තු වෙන්නෙ.

ධනු විජේරත්න / ඡායාරූප -  සජීව ලක්ෂාන්