බොඩි බිල්ඩින් කලාට ලාලිත්‍ය නැති වෙන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තම ධෛර්යය, කැපවීම සහ උනන්දුව මත ලෝකයේ විවිධ ඉසව් නියෝජනය කරමින් රටට කීර්තියක් ගෙන දෙන තරුණියන් අපට හමුවෙනවා. හෂිනි හේවගේ ඒ වගේ තරුණියකි. ජාත්‍යන්තර ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සංවිධානයෙන් පසුගියදා සිංගප්පූරුවේ පැවති FIF Worldwide Classic Pro තරගාවලියේදී ශූරතාවයක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට ඇයට හැකිවිණි. නේපාලයේදී පැවැති WBPF 55 වන ආසියානු කායවර්ධන හා පිසික් තරගාවලියේදී ද ශූරතාවයක් ලබාදීමට මේ හෂිනි සමත් වූවාය. එලෙසින් රටට ජයග්‍රහණ ලබාදුන් හෂිනි මෑතක් වන තුරු කටයුතු කර ඇත්තේ ගණකාධිකාරිවරියක ලෙසය. මේ වන විට ක්‍රීඩා අංශයේ පුහුණු උපදේශකවරියක (කායවර්ධන අංශයේ) ලෙස මේ සුන්දර නැණවත් හෂිනි සේවය කරන්නේ එක්සත් අරාබි එමීර් යේ ඩුබායි රාජ්‍යයේය. පසුගියදා ඩුබායි රාජ්‍යයේදී පැවැත් වූ සංචාරක රූ-රැජින තරගයේදී ‘‘Miss Asia Global’’ කිරුළ දිනා ගත්තේ ද මේ හෂිනිය. මේ සියලු දේ ගැන කතා කරන්නට ‘‘ඩුබායි’’ වෙසෙන සුන්දර හෂිනි අප සමග එක්වූයේ මෙලෙසිනි.

හෂිනිගෙ සම්පූර්ණ නම?

හෂිනි එරන්දිකා හේවගේ.

හෂිනි ගැන ලෝකය දන්නේ මොන විදියට ද?

අද වන විට කායවර්ධන අංශයේ ක්‍රීඩිකාවක ලෙස කිව්වොත් හරි.

එම අංශයෙන් ලැබූ ජයග්‍රහණ මොනවද?

2023 පෙබරවාරි මාසයේදී සිංගප්පූරුවේ පැවැති FIF වර්ල්ඩ් වයිඩ් ක්ලැසික් තරගාවලියේ Sports Model අංශයේ පූර්ණ ජයග්‍රාහිකාව වුණේ මම. පසුව නේපාලයේදී පැවැති තරගාවලියකදීත් ජයග්‍රහණය ලැබුවා.

ඒ අතරෙදි රෑ රැජින තරග අංශයට එන්න හිතුවෙ?

මිස් ටුවරිසම් ශ්‍රී ලංකා ෆෝර් මිස් වර්ල්ඩ් (Miss Tourism Sri Lanka For Miss World) පැජන්ට් එක පැවැත්වුණේ මෙහේ. ඉතින් ඒකට තරග කරන්න මාව තේරිලා තිබුණා. අවසන් තරගකාරියන් 7 දෙනා සංවිධායකයින් විසින් තෝරා ගෙන තිබුණේ ඔන්ලයින් තේරීමකින් පසුවයි. ඉතින් අවසන් 7 දෙනාට මාව තේරිලා ජයග්‍රහණයක් ලැබුවා. බර්ජ් කාලීෆා අර්මානි හෝටලයේදී තමයි අවසන් තරගය පැවැත්වුණේ. එහිදී Asia Globe යන අංශයේ ජයග්‍රහණය ලැබුවේ මම. මෙම පැජන්ට් එකේ අධ්‍යක්ෂිකාවක වන රධිකා තිලිණි මහත්මිය කිව්වේ, දැන් ඊළඟ වසරේ පැවැත්වෙන ලෝක සංචාරක තරගාවලියට යාමට සූදානම් වන්න කියලයි. එහිදී ලංකාව නියෝජනය කරන්න තියෙන්නෙ මට.

හෂිනි ගැන විස්තරයක් කළොත් හොඳයි නේද?

මගේ ගම මොරටුව. පාසල් තුනකට ගියා. මුලින්ම ගියේ ගල්කිස්ස ධර්මෝදය විද්‍යාලයට. ශිෂ්‍යත්ව විභාගය සමත් වී දෙහිවල ප්‍රෙස්බිටීරියන් විද්‍යාලයටත්, උසස් පෙළ කරන්න මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයටත් ගියා. උසස් පෙළට කළේ වාණිජ විෂයයන්. මගේ අරමුණ වුණේ ගණකාධිකාරිනියක වෙන්න. පසුව CIMA කළා. මුලින්ම සේවය කළේ HSBC බැංකුවේ. පසුව විගණකවරියක ලෙස සේවය කළා. ඉන්පසුව ඩුබායි රාජ්‍යයට ගිහින් දැන් සේවය කරන්නේ එහේ.

ගෙදර විස්තර?

තාත්තා ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ. නංගිලා දෙන්නෙක් ඉන්නවා. අම්මා ගෘහණියක්. දෙවැනි නැගණිය සූපවේදිනියක ලෙස අධ්‍යාපනය හදාරනවා. චූටි නංගි තවම ඉගෙන ගන්නවා.

සුන්දර රූපයක් ඇති හෂිනිට ඇයි කායවර්ධන ක්ෂේත්‍රයට එන්න හිතුණෙ?

කායවර්ධන අංශයට නෙවෙයි මුලින්ම ගියේ. ෆිට්නස් වෙනුවෙන් ජිම් එකට ගිහින් ව්‍යායාම් කරන්න පටන් ගත්තා. මොකද ගණකාධිකාර අංශයේ නියැලෙන විට මනසට පීඩනය වැඩියි. ඒ නිසා ශරීරය, මනස සැහැල්ලු කරගන්න හොඳම දේ ව්‍යායාම් කිරීමයි. ඒ නිසයි ජිම් එකට යන්න පටන් ගත්තේ. 2021දී ඩුබායි ආවම මුලින්ම වැඩ කළේ ගණකාධිකාරිවරියක ලෙස. ඒ අතරෙදී නැවතත් ජිම් එකට ගිහින් ව්‍යායාම් ගැන හදාරමින් කටයුතු කරන්න පටන් ගත්තා. මගේ උපදේශක හර්ෂ් ඩී. පීරිස් යටතේ උපදෙස් ගත්තේ. එයා යටතේ පුහුණු වෙන්නත් පටන් ගත්තා. හොඳට ලස්සනට සිරුර හදාගත්ත ගැහැණු ළමයින් ඩුබායිවල ඉන්නවා. එයාලා මේ වගේ කායවර්ධන තරගවලටත් ඉදිරිපත් වෙනවා. මටත් ඒ විදියට කරන්න පුළුවන් නම් කියලා හිතුවා. ආහාර පාන ගැනීමේ ක්‍රමවත් විදියක් එක්ක, ව්‍යායාම් කරන්න පටන් ගත්තෙ ඉන් පසුවයි. එහි අවසාන ඵලය වුණේ සිංගප්පූරුවේ පැවැති තරගයට ඉදිරිපත්වීමයි.

ඒ විදියට කාන්තාවකගෙ සිරුර දැඩි රළු ස්වභාවයක් ගත්තාම ප්‍රශ්නයක් නැද්ද? කාන්තාවකගෙ සිරුර මට සිළුටු වීම නේද හොඳ?

ලාලිත්‍ය පෙනුමට. මාංශ පේෂීන් කොතරම් දියුණු කරගෙනද කියන වග තමයි අපි තරගවලදී ප්‍රදර්ශනය කරන්නේ. ඉන් පස්සෙ සාමාන්‍ය ආහාරපාන රටාවට හුරු වුණාම ලාලිත්‍ය පෙනුම නැති වෙන්නෙ නැහැ. ඒ පෙනුම නැවත ගන්න පුළුවනි.

හෂිනිට රඟපෑමට ආරාධනා ලැබෙනවද?

තවම නැහැ. හැබැයි ලැබුණොත් සලකා බලනවා. නිරූපණය පුළුවන් වුණාට රඟපෑම මට හරියට කරන්න පුළුවන් ද දන්නෙ නැහැ. පාසලේදී මම සෞන්දර්ය විෂයට කළේ සංගීතය. ඕගනය වාදනය කරන්නත් පුළුවනි.

අද වන විට ඩුබායි සිට ඔබ මොනවද කරන්නෙ?

ක්‍රීඩා ව්‍යායාම් අංශයේ පුහුණුකාරිනියක ලෙස කටයුතු කරනවා. ගණකාධිකාරිනියක ලෙස කළ සේවයෙන් ඉවත්ව අද මම සම්පූර්ණ වශයෙන් සේවය ලබා දෙන්නේ මෙම අංශයට. මම වඩා කැමති අංශය නිසා සතුටින් කරන ඒ රැකියාව නිසා මනසට දැනෙන්නෙත් සැහැල්ලුවක්. මම අනිත් කාන්තාවන්ට කියන්නෙත් තමුන් වඩා කැමති විෂයෙහි නිරත වන්න කියලයි. එතකොට දැනෙන පීඩනය අඩුයි. අද මට පුහුණුකාරිනියක ලෙස තව පිරිසකට දැනුම ලබාදීම නිසා ලබන මානසික තෘප්තිය ඉහළයි.

කොහොමද ඩුබායි සිට ගෙවන ජීවිතය?

ලංකාවේ තරම් නිකරුණේ කාලය ගෙවන්න නිදහසක් නැහැ. හැමෝම සෑම තත්ත්පරයකම වැඩ. ඉතින් වැඩ කරමින් සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. මම මෙහේ ඉන්නෙ තනියම.

තනියම ගෙවන ජීවිතය දැනෙන්නෙ කොහොමද?

ප්‍රශ්නයක් නැහැ. මෙහේ රාත්‍රියට හෝ එළියට ගියත් කාන්තාවන්ට ආරක්ෂාව තියෙනවා. අම්මා ඉඳහිට ඇවිත් යන්න එනවා. දැන් අවුරුදු ගාණක් මෙහේ ඉන්න නිසා හොඳට පරිසරය හුරු පුරුදුයි. යාළුවොත් ඉන්නවා. නිවාඩුවක් ආවාම අපි කෑමකට එළියට යනවා. බලන්න තියෙන දේත් බොහොමයි නේ.

හෂිනි ඔබගෙ වයසේ අයට දෙන උපදෙස මොකක්ද?

හැමෝම කරන දේ රැල්ලට නොකර, ධෛර්යවන්තව සහ තමුන්ගෙ ගුණවත් බව, රැකගෙන නිර්භයව කටයුතු කරන්න. අපි හිතුවොත් අපට කරන්න බැරි දෙයක් නැති තරම්. එකවුන්ටන්ට් කෙනෙක් විදියට හිටපු මම කවදාවත් මේ වගේ අංශයකට යන්න සහ රට නියෝජනය කරන්න අවස්ථාවක් ලැබේවි කියල හිතුවෙ නැහැ. නමුත් අද ඒ අවස්ථා ඔක්කොම ලැබිලා තියෙන්නෙ ධෙර්යවන්තව, උනන්දුවෙන් කටයුතු කළ නිසයි. ‘‘බොඩිබිල්ඩින්’’ කරන එක ලෙහෙසි නැහැ. සමහර අවස්ථාවලදී අපට ලුණු - සීනි සහ තෙල් කෑමට ගන්න බැහැ. තරගවලට ඉදිරිපත් වෙද්දි ඒ වගේ කැප කිරීම් පවා කරන්න වෙනවා. අනෙක් ප්‍රධානම දේ තමයි ගෙදරින් ලැබෙන සහයෝගය. මම කැමති දේ කරන්න මට ගෙදරින් ලැබුණෙ ලොකු සහයෝගයක්.

හෂිනි - හෂිනිගෙන් දකින විශේෂත්වය?

මගේ දියුණුව වෙනුවෙන් දුෂ්කරව, කැප වෙලා වැඩ කරන, කාටවත් කරදරයක් නැති ගැහැණු ළමයෙක්. සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්.

මේ විදියට කටයුතු කරන හෂිනිගෙ ප්‍රේමය?

ප්‍රේමයක් තියෙනවා. තවම ඒ ගැන ප්‍රසිද්ධ කරන්න කාලය ඇවිත් නැහැ.

‘‘ආදරය’’ කියලා හිතන්නෙ?

අනෙක් කෙනාට දෙන නිදහස, සැලකීම සහ ගරුත්වය මෙන්ම රැකවරණය. ආදරය අරුත් ගැන්වෙන්නෙ එතකොටයි.

ඩුබායි ගැන හෂිනිට කොහොමද හිතෙන්නෙ?

රැකියා අවස්ථා බොහොමයක් ඇති තැනක්. ආර්ථික දියුණුවට යන්න හදන අයට උත්සාහය ඇත්නම්, හොඳ අවස්ථා සලසාගත හැකි තැනක්. ගෙදර අය නැති එක තමයි ලොකුම අඩුව. ලංකාවේ මේ වගේ අවස්ථා තිබුණා නම් මම රට යන්නෙ නැහැ. මට මාව බලාගන්න, මගේ අනාගතය වෙනුවෙන් ආර්ථික ස්ථාවර බවක් ගොඩනගා ගන්නට ඕනෑ. ඒ විදියෙ අවස්ථාවන් ලැබුණොත් මම ලංකාවට එනවා. මෙහේ නිතරම හැමෝම ‘‘බිසී’’. නිකම් ඉන්න වෙලාවක් නැහැ. ඒ හැරත් අපි මෙහේට ආවේ වැඩ කරන්නනෙ. මොකද මෙහේ නවාතැන් සඳහා ලොකු මුදලක් ගෙවන්න වෙනවා. ආහාර පානවලට නම් එච්චර මුදලක් යන්නෙ නැහැ.

හෂිනි ජීවිතය දකින විදිය?

තමුන්ගෙ ජීවිතය තමුන් හදාගත යුත්තේ කොහොමද, අනාගතය වෙනුවෙන් වැඩ කරන්නෙ කොහොමද කියලා තමයි මම හිතන්නෙ. ඒ මොහොත අපතේ නොයවා වැඩ කළොත්, අනාගතයේදී අපට සතුටින් ගත කරන්න ලැබේවි. නිකම්ම හිටියොත් කිසි දෙයක් අපට ලැබෙන්නෙ නැහැ.

හෂිනි ජනප්‍රියයි කියලා කවුරුහරි කියනවට කැමතිද?

හැමෝම ජනප්‍රිය වෙන්න ආසයිනෙ. පුද්ගලිකත්වයට හානියක් නොවන විදියට ජනප්‍රිය වෙනවා නම් හොඳයි.

සඳුන් ගමගේ