මට හරියන්නේ නැත්නම් මම ඒ වගේ වැඩ භාරගන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට වසර දෙකකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ජනනි උත්පලා තවමත් නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකි. දැනට ඡායාරූපගත කිරිම් බොහෝ ප්‍රමාණයකට දායක වී ඇති ජනනි සමාජ මාධ්‍යය තුළද නිතර කතාබහට ලක්වන්නයකි. මේ නිසාම මෙවර කතාබහට අප ජනනිට වෙන් කළා. මේ ඇය අප ඇසු ප්‍රශ්නවලට දුන් ප්‍රතිචාරයි.

ජනනි නිරූපණයට පිවිසුණේ කොහොමද,

ඒක හරි අහම්බෙන් සිදුවුණ දෙයක්. පාසල් අධ්‍යාපනය ලබන කාලයේ නිරූපණ ක්ෂේත්‍රයට එන්න මගේ අදහසක් තිබුණේ නැහැ. නමුත්, අ.පො.ස. උසස් පෙළ විභාගය වෙනකන් ලැබුණ නිවාඩුවේදී මට අහම්බෙන් මගේම පොටෝස් කරන ඥාති සහෝදරයෙක් ආරාධනා කළා පොටෝ ටිකකට පෙනී ඉන්න. මුල්ම එක කරලා පස්සේ ඔහුත් එක්ක වැඩ කිහිපයක් කළා. එතැනින් පස්සේ මට කැමරාවට පෙනී ඉන්න තිබුණ බය නැතිවුණා. ඔහුත් එක්ක පොටෝස් කරද්දි මට තේරුම් ගියා නිරූපණයට මගේ යම් හැකියාවක් තියෙනවා කියලා. නිරූපණය ගැන යම් යම් දේ ඉගෙන ගෙන පස්සේ මේ ක්ෂේත්‍රයට මම සම්බන්ධ වුණා දිගටම වැඩ කරන්න.

ඔබපෙනී හිටිය ගොඩක් ඡායාරූප ඇඳුම් අඩු සරාගික ඒවා?

මෙහෙමයි. ඒකට විශේෂ හේතුවක් නම් නැහැ. නමුත්, මේ ලෝකේ ඉන්න හැම මනුස්සයටම හැමදේම ගැළපෙන්නේ නැහැ. බුර්කාව හරි දිගයි ලස්සනයි සංවරයි කියලා හැමොම අදින්නෑනේ. ඒක අදින්නේ එක අදින්න සුදුසු ගැළපෙන කාන්තාවෝ විතරයි. ඒ වගේ තමයි. ඉතින් මටත් එන ආරාධනා ගොඩක්ම ඔය වගේ ඡායාරූපවලට පෙනී ඉන්න. ඉතින් මට පුළුවන් දේ මම භාරගෙන කරනවා. කරන්න බැරි අනිත් වැඩ අත්හැරලා දානවා.

නිරූපණ ශිල්පිණියක් විදිහට ජනනිට සිමාවන් තියෙනවාද?

නිරූපණ ශිල්පිනියක් විදිහටනම් මට කිසිම සිමාවක් නැහැ. හැබැයි දුවෙක් සහෝදරියක්, බිරිදක් විදිහට නම් මට යම් යම් සීමාවන් තියෙනවා මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරද්දී. නිර්මාණයන් වෙනුවෙන් මම මගේ උපරිමයෙන් කැප වෙලා වැඩ කරනවා එච්චරයි. කොහොමත් මම වැඩක් බාරගන්න පෙර ඒ වැඩේ කරන අයට මගෙන් අවශ්‍ය රූපරාමු මොනවද ඒවාට ගන්න ඇදුම් මොනවද මේ ඡායාරූප කරන්න කොහෙද කොච්චර වෙලාවක් ඇතුළත මේ වැඩේ වෙනවද කියලා අහලා මට ඒක හරියනවා නම් මම වැඩේ භාරගන්නවා. එතකොට අමුතුවෙන් මම මේ වගේ කෙනෙක් කියලා මහා ලොකු ප්‍රතිරූප හදන්න ඕන නෑ අපි හැමොම සාමාන්‍ය මිනිස්සුනේ.

නිරුවත් ඡායාරූප ටිකකට පෙනී ඉන්න ජනනිට ආරාධනා ලැබුණොත්?

මෙහෙමයි. මේ වගේ ආරාධනාවක් මට හරි වෙන කාට හරි අපි මුලින්ම බලන්න ඕනා කවුද ඡායාරූප ශිල්පියා කියලා. මොකටද එයාට ඒ වගේ ඡායාරූප ඕනා කියලා. එහෙම නැතුව පිස්සෝ වගේ කළබල වෙලා ඒ අහපු ඡායාරූප ශිල්පියාට බැනලා කෑ ගහලා හණමිටි අදහස් තියෙන මිනිස්සු වගේ හැසිරෙනවා නම් ඒක වැරදියි. මොකද, අපේ රටේ සමහර අයට කෙල්ලෙක්ගෙ කකුලක් පොඩ්ඩක් දැක්කොත් එක මහා ලොකු දෙයක් ඉතින්. Trevor E Yerbury, Ralph Gibson, Nobuyoshi Araki, Jan Saudek, Larry Woodman මේ තමයි දැනට ලෝකේ ඉන්න හොදම නිරුවත් ඡායාරූප ගන්න ඡායාරූප ශිල්පින්. අපේ රටෙත් ඉන්නවා සිමිත ඡායාරූප ශිල්පින් ප්‍රමාණයක් ඔය විදිහට ඡායාරූප කරන. මම කියන්නේ හතු පිපෙනවා වගේ දවසට දෙකට මේ ක්ෂේත්‍රයට එන ඡායාරුප ශිල්පින් ගැන නෙමෙයි. මේක වෘත්තිය මට්ටමින් කරන ඡායාරුප ශිල්පින් ගැන. ඒ වගේ කෙනෙක්ගේ එක්ක නිරුවත් පොටෝ ටිකක් කරන්න මට විතරක් නෙමෙයි නිරුවත් පොටෝ කරන්න කැමති ඕනැම කෙනෙකුට බයක් නැහැ.

නිරූපණ ශිල්පිනියක් විදිහට ජනනි අද මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවරද?

මම හිතන්නෙ අපේ ක්ෂේත්‍රය තුළ නිරූපණ ශිල්පිණියක් විදිහට කවුරුත් ස්ථාවර නැහැ. මොකද ඒ තරම් දියුණු මට්ටමට අද ලංකාවෙ නිරූපණ ක්ෂේත්‍රය තාම ඇවිල්ලා නැහැ. මේ ක්ෂේත්‍රයේ නමක් තිබ්බ හැම කෙනෙක්ටම එක්කෝ තමන්ගේම ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් වෙනත් රැකියාවක් තිබුණා. එහෙම නැත්නම් උපතින්ම ඒ කෙනා පොහොසත් පවුලක කෙනෙක්. මට නම් තාම එහෙම මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න ලැබිලා නැහැ.

අඩුවට ඇඳුම් ඇදලා ඡායාරූපවල පෙනී ඉන්නේ ඔබ ජනප්‍රිය වෙන්නද?  

ජනප්‍රිය වෙන්න නම් ඉතින් අඩුවට අදින්නම ඕන නැහැනේ. ඕනා තරම් දිගට ඇඳුම් ඇදපු සමහර අයත් කාලේන් කාලේට එක එක විදිහෙ ප්‍රවෘත්ති මවන්නේ. මම මනුස්සයෙක් විදිහට ගත්තොත් ඡායාරූප ටිකකට මොකක් හරි ඇඳුමකින් පෙනී හිටියොත් ඒක ඉතැනින් ඉවර කරනවා. නැතුව ඒ ඇදපු ඇඳුම් ටික ජිවිතේ කොටසක් කරගන්නේ නැහැ. ඊට අමතරව මට එහෙම විශේෂයෙන් කියලා ජනප්‍රිය වෙන්න උවමනාවක් නැහැ. කුමන දේකින් හරි ජනප්‍රිය වෙනවනම් ඉතින් අපිට ඒක නවත්වන්නත් බැහැනේ කියන සාධකේ මම ඉන්නවා.

නිරුපණය ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න ජනනිට උදව් කළේ?

ගොඩක්ම උදව් කළේ මගේ පවුලේ අය. මොකද, එයාලගෙ තේරුම් ගැනීමයි විශ්වාසයයි නැත්නම් මට අද මේ ක්ෂේත්‍රය තුළ මේ තරම් ලොකු ගමනක් එන්න බැහැ. ඒවගේම මුල්ම ඡායාරුප ටික අරගත්තු හා කැමරාවට මගේ තිබුණ බය නැති කරපු අනුදිත් ධර්මසේන අයියාවත් මතක් කරන්න ඕනා. ඊට අමතරව මීශා ගුණවර්ධන අයියා, එරංග අයියාව මතක් කරන්න ඕනා. මගේ හැම වැඩකදීම මගේ සෙවැණල්ල වගේ මට හයියක් වෙලා හිටපු මගේ අයියාව මතක් කරන්න ඕනා. ඔහු නිසා මට කිසි බයක් තිබුණේ නැහැ මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න. තව ගොඩක් අය ඉන්නව ඉතින් ඒ හැමෝවම මේ වෙලාවේ ආදරයෙන් මම මතක් කරනවා.

බුද්ධික සේනාධීර