මම කොහොමහරි වෙලාව තියෙන විදියට බලලා ඇග වෙහෙසලා මොකක්මහරි වැඩක් කරන්න ට්‍රයි කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෑම කියන්නෙම තමන්ගේ අාදරණියයන් එක්ක ආදරය, සතුට, සෙනෙහස බෙදාගන්න පුළුවන් දෙයක්. ඒ වගේම රස මතක ගොඩක්. බොහෝ දෙනාට කෑම කියන්නේ සතුට උතුරන බෙහෙතක් වගේ දෙයක්. හරියට මූඩ් ෆික්ස් කරන්න හොඳම බෙහෙතක් තමයි කෑම කියන්නේ. ඉතින් ඒ සතුට පිරුණු කෑම එක්ක තියන රස මතක බෙදාගන්න ජනප්‍රිය රංගන ශිල්පිණී ශේශාද්‍රි ප්‍රියසාද් මෙවර සදැල්ල අපිත් එක්ක එකතු වුණා. 

වැඩිපුරම කෑම ගන්නේ ගෙදරින්ද එළියෙන්ද ?

වැඩිපුරම කෑම ගන්න කැමති නම් ගෙදරින්. නමුත් අපේ වැඩ සහ කාර්යබහුලත්වයත් එක්ක ගොඩක් වෙලාවට එළියෙන් කෑම ගන්නවා. සති අන්තයේ නම් එළියෙන් තමයි කෑම ගන්නේ.  

වැඩිපුරම කන්න කැමති කෑම, බීම මොනවද ?

මම ගොඩක්ම කන්න කැමති රයිස් ඇන්ඩ් කරි. මගේ ප්‍රියතම කෑම ලංකාවේ කෑම තමයි. කොහේ ගියත් මොනවා කෑවත් බත් කනවා වගේ නැහැ. ඊට අමතරව මම වැඩිපුරම කැමති සුෂී කන්න. ජැපනීස්, තායි සහ ඉන්දියන් කෑම කන්න මම හරිම කැමතියි. බොන්න වැඩිපුරම කැමති ලෙමන් ග්‍රීන් ටී තමයි. ඊට අමතරව පීච් අයිස් ටී, ඇපල් ජූස් තමයි බොන්න කැමති.   

කන්න අකමැති කෑම බීම මොනවද ?

මම සූදුරු වලට කැමති නැහැ. සමහර අය බත්, පරිප්පු වගේ  කෑම වලට සූදුරු දානවා, නමුත් මම සූදුරු දාපු කෑම බීම ගන්නේ නැහැ.

ශේෂාද්‍රි කෑම හදනවද ? 

ඔව් මම ගෙදර කෑම හදනවා. රයිස් ඇන්ඩ් කරි තමයි වැඩිපුරම හදන්නේ. මේ දවස් වල නම් වැඩිපුර රයිස් ඇන්ඩ් කරි හදන්න වෙලාවක් නැහැ. නමුත් මම නුඩ්ල්ස්, පැස්ටා, සැන්ඩ්විචස් වගේ පොඩි පොඩි කෑම ජාති නම් හදනවා.        

බබාගේ කෑම ශේශාද්‍රි අතින්මද හැදෙන්නේ, මොන වගේ කෑමද බබාට දෙන්නේ ?

බබාගේ කෑම මම වගේම ක්‍රිෂාන්ගේ අම්මාත් හදනවා. බබා සාමාන්‍යයෙන් කෑම කන්න කැමති කෙනෙක් නෙමෙයි. එයාට එක එක දේවල් එක එක විදියට හදලා දෙනවා, ඒත් අද කෑවොත් ඒ කෑම එක හෙට කන්නේ නැහැ. එයා හරිම ෆසී බබෙක්. පුළුවන් හැම වෙලාවේම එයාට හොද හැම කෑම එකක්ම දෙන්න උත්සහ කරනවා. නමුත් එයා කැමතිත් හොද නැති දේවල් බැදපු දේවල් වලට එහෙම තමයි. හැමවෙලාවේම ඒ වගේ කෑම බබාට දෙන්නේ නැහැ, ඉදලා හිටලා දෙන අවස්ථා තියනවා.

ක්‍රිෂාන් කන්න කැමති කෑම මොනවද  සහ ලැබෙන ප්‍රතිචාර කොහොමද ? 

මම හදන කෑම වලින් නම් ක්‍රිෂාන් වැඩිපුරම කැමති රයිස් ඇන්ඩ් කරි. රතු බත්, මස් හරි මාළු හරි, පරිප්පු, බීට්රූට්, සෝයා, හොද මැල්ලුමක් වගේ සමබර අාහාර වේලක් තියෙන්න ඕන. ඉතින් මම කෑම හදන දවසට එහෙම බැලන්ස් වෙන්න කෑම හදනවා. මම හදන කෑම වලට හොද ප්‍රතිචාර ලැබෙනවා. ක්‍රිෂාන් කියන විදියට මට හොදටම හදන්න පුළුවනුත් ශ්‍රී ලන්කන් රයිස් ඇන්ඩ් කරි තමයි.

ගෙදර විශේෂ අවස්ථා වල හදන කෑම මොනවද ?

විශේෂ අවස්ථාවක් වුණාම ඒ අවස්ථාව සහ එන පිරිස අනුව විවිධ කෑම හදනවා. ගොඩක් වෙලාවට කහ බත්, ඉදි ආප්ප වගේ දේවල් හදනවා. ඒ වගේම නත්තල් කාලෙට ඩිනර් එකට අපි බාබකියූ එහෙම දානවා. ඒකටම හරියන්න ගලපලා කෑම හදනවා. 

කට්ටියගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ඒ අයගෙනුත් හොද ප්‍රතිචාර ලැබෙනවා මගේ රයිස් ඇන්ඩ් කරි වලට වැඩිම ප්‍රතිචාර තියෙන්නෙ ගෙදර පවුලේ අයගෙන් අම්මිලා, අක්කිලා, නංගි එහෙම එකතු වෙන අවස්ථාවක් නම් අක්කි තමයි ඩෙසර්ට් වර්ග හදන්නේ. එතකොට ෆින්ගර් ෆුඩ්ස්, බේකින් වර්ග එහෙම වැඩිපුරම හදන්නේ ශනූ තමයි. තුන්දෙනා ඉන්නකොට තුන්දෙනා බෙදාගෙන තමයි කෑම හදන්නේ. ඉතින් අපි හදන කෑම වලට පවුලේ අයගෙන් වගේම ආරාධිත අමුත්තන්ගේනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 

කන්න කැමති, පැණි රස, ඩෙසර්ට් වර්ග එහෙම තියනවද ?

මම ගොඩක්ම කැමති චොකලට් බ්‍රව්නිස් වගේම, වැනිලා අයිස් ක්‍රීම් කන්න. තව මම හදන බටර් කේක් වගේම ඩෙසර්ට් වලට කිරි පැණි කන්න මම කැමතියි.    

ඔය අතරේ සෞඛ්‍යය ගැන හිතනවද ? 

ඔව්. නමුත් මම ජිම් යන්නේ නම් නැහැ. මම කොහොමහරි වෙලාව තියෙන විදියට බලලා ඇග වෙහෙසලා මොකක්මහරි වැඩක් කරන්න ට්‍රයි කරනවා. ඊට අමතරව කෑම පාලනය කරන එකනම් අනිවාර්යයෙන්ම කරනවා. ඒ කියන්නේ කෑම කන ප්‍රමාණය අඩු කරලා, ඒ වගේම ඇගට අවශ්‍ය කරන එළවලු මස්, මාළු වගේ දේවල් එකතු කරගෙන බත් සහ පිටි වගේ කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර අඩු කරලා හොද කෑම වේලක් ගන්න ද හැම වෙලාවේම උත්සහ කරනවා. නමුත් ඒක ඒ විදියටම හැම අවස්ථාවකම කරන්න වෙන්නේ නැහැ. නමුත් මම උදේ නැගිට්ට ගමන් මගේ බර චෙක් කරනවා. ඒක මට පුරුද්දකට ගිහිල්ලා. ඒ නිසා මම ශරීර සෞඛ්‍ය ගැන, බර ගැන හිතනවා.  

ශේශාද්‍රිට කෑම ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද ?

කෑම කියන්නේ ඉතින් සතුට තමයි. මම කැමති එක එක කෑම ජාති හදලා ට්‍රයි කරලා බලන්න. ඒ වගේම එක එක රටවල කෑම කාලා බලන්න. නමුත් සමහර කෑම විඩියෝස් වලින් දකිද්දී වගේ නෙමෙයි, කෑවට පස්සේ ආයේ කන්න ආස හිතෙන්නේ නැති කෑමත් තියෙනවා. ඒ නිසා හැමදේම ට්‍රයි කරලා බලන්න ඕන කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම ඇගට ගුණ කෑම තෝරලා බේරලා ගත්තොත් අපිට සතුටින් නිරෝගීව ඉන්න පුළුවන්.

කෑමත් එක්ක තියෙන අමතක නොවෙන සිදුවීම් මොනවද ?

එහෙම විශේෂ සිදුවීම් නම් නැහැ. ඒත් ඉස්සර මැරි කරන්න කළින් ක්‍රිෂාන් ඔෆිස් ඕෆ් දවස් වලට අපේ ගෙදර එනවා. ඒ දවසට මම උදේම නැගිටලා එයා කැමති කෑම ජාති එක එක විදියට හදනවා. මොකද මම එක එක පාටින් තියෙන්න කෑම උයන්න ආසයි. ඉතින් ක්‍රිෂාන්ගෙන් අපේ අම්මා අහනවා හැමදාම ගෙදර එන්න බැරිද කියලා. මොකද එදාට මම උදේම නැගිටලා කෑම හදන නිසා. 
ඒ වගේම ඉස්සෙල්ලම මම සූෂි කාපු දවසත් මට අමතක වෙන්නේ නැහැ. දැන් මම මාරම ආසයි සූෂි කන්න. ඉස්සෙල්ලම සූෂි කාපු දවසේ තමයි මම දැනගත්තේ ඒක කොච්චර රස කෑමක්ද කියලා. 

මම සාමාන්‍යයෙන් බේකරි කෑම හදන කෙනෙක් නෙමෙයි, මේ ළඟදි බටර් කේක් එකක් හැදුවා බබාට දෙන්න. මම ශනූගෙන් රෙසිපි එක අහගෙන ෆස්ට් ටයිම් බටර් කේක් එක හැදුවෙ. ඒක මාරම රසයි.  

අමා අලහකෝන්