Busy වෙන්න මම ආසයි

  • 10-04-2026

අද ඇය ආදරණීයම ආත්තම්මා කෙනෙක්.........වේදිකාව වගේම  පුංචි තිරයත්,එක සේ දිනූ ඇය අවන්ති අපොන්සු. මතකයෙන් නොගිලිහෙන   රංගන ප්‍රතිභාවක් විදහා පෑ  සම්මානනීය ඈ  මේ දිනවල අපිට සමීප වෙන්නේ දොරකඩ දෙවොල ජේන් විදියට. 

Q : කොහොමද ජිවිතේ කියලා ඇයගෙන් මුලින්ම අහන්න අපට හිතුණා.......

A : මගේ මිණිබිරිය එක්ක තමයි මේ කාලය වැඩිපුරම ගෙවෙන්නේ.  දැන් එයාට  අවුරුද්දක් . ඉතින් දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ. සුන්දරයි ජීවිතය.

Q : ඔයා මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ නේද  ඉන්නේ ?

A : ඔව් මගේ දුව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. .  අගෝස්තු මාසයේ එන්න තමයි හිතන් ඉන්නේ..

Q :  දොරකඩ දෙවොල නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද ඔයාට ?

A :  ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. මේ රටෙත් අපේ සිංහල අය ඉතාම ආසාවෙන් බලන නාට්‍යයක් ඒක . ඒ නිසා මට මෙහෙදිත්  ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 

Q :  රූපගත කරද්දී ජේන් නැන්දට   මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙයි කියලා හිතුණද  ඔයාට ?

A : මොන  චරිතයක් රඟපෑවත් කවදත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා.

Q : චරිතයක් භාර ගන්න කලින් මොනවද හිතන්නේ ?

A : මට ඒ තුළ යමක් කරන්න තියෙනවාද කියන එක තමයි  බලන්නේ.  දැන් නම් අනිවාර්යයෙන්ම චරිත තෝරාගෙන  කරනවා. මට දැනෙන හෝ මට සාධාරණයක් කළ හැකි නම් පමණයි මම චරිතයකට හා කියන්නේ.

Q : ආයෙමත්  කාර්යබහුල රංගන ශිල්පිනියක් වෙන්න කැමති නැද්ද?

A : එහෙම අකමැත්තක් නැහැ. 

Q : තාමත් කරන්න ආස මේ වෙනකම් නොලැබුණු චරිත තියෙනවද?

A : එහෙම චරිත නම් සෑහෙන්න තියෙනවා.  මට ත් මේ වෙනකම් නොලැබුණු, ලැබුණා නම් හොඳයි කියලා හිතෙන චරිත නම් ඕනේ තරම් තියෙනවා.

Q : මුල් කාලයේ  නපුරු චරිතවලටම  කොටු  වුණා නේද? 

A : මුල් කාලයේ දිගටම එහෙම දෙයක් වුණා. දැන් වුණත් එහෙම චරිත ලැබෙනවා  වැඩියි.  එකම විදිහේ කරපු  චරිත මම දැන් කරන්නේ නැහැ.

Q : නව පරපුර ගැන මොකද හිතෙන්නේ ?

A : ගොඩක් දක්ෂ අය ඉන්නවා ඒ ගැන සතුටුයි.ඕනෙම ක්ෂේත්‍රයක් පවතින්න නම් ඒ ක්ෂේත්‍රයට අදාල දැනුමැති නව පරපුරක් බිහි විය යුතුයි.  

Q : කලා ක්ෂේත්‍රය තුළ ඔබට ලැබුණු ඇගයීම් මොනවද ?

A : වේදිකාව තුළ හොඳම නිළිය සම්මානය, ටෙලි නාට්‍යය සඳහා හොඳම සහය නිළිය සම්මානය සහ ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය ලබා ගෙන තිබෙනවා. අපි කරන දේට මොනයම් හෝ ආකාරයකින් ලැබෙන ඇගයීම් සහ සම්මාන ඉතාම සතුටින් භාර  ගන්නවා. 

Q : රංගන ශිල්පිනියක් වීම ගැන  තෘප්තිමත් ද?

A : අනිවාර්යයෙන්ම තෘප්තිමත්.. මම  විශ්වාස කරන්නේ කලාව තුළ නියැලෙන්න නම් වාසනාවත් තියෙන්න ඕනේ.