අධිමාත්‍රාවෙන් මත්වෙන්න ලයිසියම් දරුවන්ගෙන් මාත්‍රා

  • 21-08-2026

මාත්‍රා.......අධිමාත්‍රාවෙන් අසීමාන්තික මත්වීමක් උදෙසා මාත්‍රා......

ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ දූ දරුවන්ගේ එකමුතුවෙන් සහ වියත් දූරදර්ශී ගුරු මව් පිය සබැඳියාවෙන් දියත් කළ නර්තන ,ගායන ,වාද්‍ය යාත්‍රාවට තමා මාත්‍රා කියන්නේ.

ඉතින් මෙවර 15 වැනි වතාවට තමයි ලයිසියම් මාත්‍රා යාත්‍රාව දියත් කරන්නේ

දිනය : 2026.08.27

වේලාව :සවස 4.02  සහ සවස 6.58

Name Rasika Kothalawala

මොහාන් ලාල් ග්‍රේරුගේ සංකල්පයක් මූලිකව වඩාත් මානවවාදී පරාර්ථකාමී ලෝකයට ආදරය කරන  අනාගත දරු පරපුරක් ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය  කේන්ද්‍රියව බිහි කිරීමේ අරමුණින් තමයි මාත්‍රා සංකල්පය ප්‍රායෝගික සක්‍රීයත්වයක් කරා පැමිණියේ.
සැබැවින්ම මේ විසල් කර්තව්‍යය සමඟ ස්නේහයෙන් අත්වැල් බැඳගත් සුවිසල් පිරිසක් ඉන්නවා.

ඒ අතර ලයිසියම් දරුවන් 750 ක් ප්‍රසංගය සඳහා පුහුණු කරමින් මෙහෙයවමින් අවැසි උපදෙස් ලබාදෙමින් ප්‍රසංශනීය නියමු මෙහෙවරක් ඉටුකරන කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ  ආචාර්ය රසික කොතලාවල යනු සමාරම්භයේ සිටම මාත්‍රා හා අත්වැල් බැඳගත් සුවිශේෂ චරිතයක් .

සාරවිට මේ කතාබහ සෞන්දර්යවේදී රසික කොතලාවල සමඟයි.

Q. මාත්‍රා ....15 වැනි වතාවටත් තිරය මත දිගහැරෙනවා. මොකක්ද ඔබට දැනෙන හැඟීම ?

A. වචනවලින් කියන්න බැරි සතුටක් දැනෙනවා.ඇත්තටම දරුවන් 750 ක් එකම මානසිකත්වයකට අරන් වැඩ කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි .ඒත් අපිට නිරායාසයෙන්ම ඒ දරුවන් එකම මානසිකත්වයකට  ගන්න පුළුවන් වෙලාතියෙනවා.ඒ ජයග්‍රහණය මම ගුරුවරයෙක් ලෙස අසීමිත භක්තියෙන් මේ මොහොතෙ විඳිනවා.

Q.  කොහොමද ඔබ ඒක කළේ ?

A. නර්තනය සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂයන්ගේ තියෙන වටිනාකම ඒකයි.අපි කෑගහලා කියලා මේ දරුවන් හික්මවන්න අවශ්‍ය නෑ.නර්තනය සහ සංගීතය ඔස්සේම ඒ ශික්ෂණය මේ දරුවන්ට නිරායාසයෙන් ලැබිලා.

Q කලාව සහ සෞන්දර්ය  මානව මනස තුළ සිදුකරන පරිවර්තනය නිර්වචනය කරන්න ඔබට පුළුවන්ද ?

A. මානව ආධ්‍යාත්මය තුළ විසල් ගැඹුරු සුබවාදී පරිවර්තන රැසක් කරන්න නර්තනය ට ගීතයට සංගීතයට සහ කලාවට පුළුවන්.ආදරයෙන් පරාර්ථයෙන් ලෝකය දකින දරුවන් බිහි කරන්න මේ උතුම් විෂයන්‍ට පුළුවන්.දරුවන් පාසලක් තුළ ඉගෙන ගන්න හැම විෂයකටම ඒ දේ කරන්න බෑ.ඒකයි මේ විෂයන්ගෙ තියෙන සුවිශේෂී වටිනාකම .

Q. මාත්‍රා ප්‍රසංගය කරගෙන යද්දී ඔබ මුහුණ දෙන අභියෝග තියෙනවා ද ?

A. අපි දරුවන්ගෙ අධ්‍යාපනයට කිසිඳු බාධාවක් නොවෙන්න තමයි දරුවන් පුහුණු වීම්වලට යොදාගන්නෙ.සමහරවිට දරුවන්ට අතිරේක පන්තිවලට යන්න තියෙනවා .ඉතින් මේ හැමදේම හොදින් කළමනාකරණය කරගනිද්දි එන අභියෝග නැතුව නෙවෙයි .නමුත් ගුරුවරුන් මව්පියන් දරුවන් හැමදෙනාම මෙහි වටිනාකම තේරුම් අරන් ඉන්න නිසා අභියෝග ගැටලු බවට පරිවර්තනය කරනොගෙන අවබෝධයෙන් සහ ඉවසීමෙන් අපි මේ මහඟු කර්තව්‍යය කරගෙන යනවා.

Q. කවදද ? කීයටද ? කොහේදිද 15 වැනි මාත්‍රා ප්‍රසංගය පැවැත්වෙන්නේ ?

A. අගෝස්තු 27 වැනිදා හවස 4.02 ට සහ හවස 6.58 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ

Q. මෙවර මාත්‍රා තේමාව ? 

A. ගිය වතාවේ තේමාවක් තිබුණත් මෙවර තේමාවක් නෑ.තේමාවක් තුළ දරුවන් සීමා නොකර මෙවර ප්‍රස්තුතමය ඔස්සේ දරුවන් නිදහස් කරන්න අපි හිතුවා

Q. මේ වෙද්දී මාත්‍රා හා සබැඳි සියල්ල හා ඔබ තෘප්තිමත් ද ? 

A. නිසැකයෙන්ම ඔව්.....ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් විවිධත්වයකින් යුත් රස සාර ප්‍රසංගයක් අගෝස්තු 27 වැනිදා විඳගන්න ඉඩ ලැබේවි