කකුල කැඩුනට මම නැටුම අත්හැරියෙ නෑ

  • 07-04-2026
  • Views 71

පුංචි තිරයෙන් ලොකු ප්‍රේක්ෂකාගාරයක්  ආකර්ෂණය කරගත් ඇය දසුනි සෙනෙත්මා.

රංගනයට වගේම නර්තනයටත්  ඇය හුඟාක්ම දක්ෂයි.මේ දවස්වල හුගාක් දෙනා කතා වෙන නිර්මාණයක්නෙ කැලෑ හඳ කියන්නෙ .එදා කැලෑ හඳේ රුක්මණී දේවි රඟ පෑ මාලිනිගේ චරිතය ට මෙදා රිදී තිරයේ හුස්මක් දෙන්නේ දසුනි සෙනෙත්මා.

 

Q:කොහොමද දසුනි ජීවිතේ ?

පොඩ්ඩක් busy ...ඒත් හොදම විදිහට ගෙවිලා යනවා

 

Q:කොහොමද කියන්නකො ඉතින් ඔයාට කැලෑ හඳේ මාලිනී වෙන්න ලැබුණෙ ?

රවී ලියනගේ සර්ගෙ වයිෆ් තමයි මෙගා ස්ටාර් මම Dance කරනවා දැකලා සර්ට මගේ ගැන කියලා තියෙන්නෙ...ඊට පස්සෙ රවී  සර් සුනිල් ආරියරත්න සර්ට  කියලා මම මාලිනී වුණා


Q:නර්තනය ජීවිතයට වාසනාවක් වුණා කියලා හිතෙනවද?

මෙගා ස්ටාර්  Dance කරද්දි මගේ කකුල කැඩුනා.ඒත් මම තරගය අත් හැරියෙ නෑ.කැඩුණු කකුලත් එක්කම නැටුවා.එදා එහෙම නටපු නැටුම තමයි රවී සර්ගෙ වයිෆ් දැකලා තියෙන්නේ.
මම හවස තරගයට ඉදිරිපත් වුණේ අයිස් තියලා කකුල බැන්ඩේජ් කරගෙන.තරග වටය ඉවර වෙද්දි මට අමාරු වුණා.ඒ වෙලාවෙ දිනේෂ් තරංග අය්යා එයාගෙ වයිෆ් සහ මගේ පවුලෙ අය මාව Hospital අරගෙන ගියා.මොනවා වුණත් නර්තනයට තියෙන ආදරය එහෙමමයි.ගල් බැන්ඩේජ් එක දාගෙනත් මම නැටුවා.හමුදාවෙ අයට ගෞරවයක් වෙන විදිහට ලලිත් සර් එක්ක Concept  එකක් හදාගෙන අපි නැටුවා.

 

Q:කැලෑ හඳේ මාලිනී වෙච්ච සතුට කොහොමද ඔයා වචන වලින් මට කියන්නේ?

මගේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂය තමයි ඒ.ඉතාම ආදරණීයම ගැඹුරු ගැහැනියකගේ චරිතයක් මට ලැබුණේ.ඒ සතුට වචනයෙන් කියන්න බෑ.


Q:රුක්මණී දේවි රඟපෑ චරිතයක් නැවත ප්‍රතිනිර්මාණය කරද්දි හදවතට දැනුණු විශේෂ හැඟීමක් තියෙනවාද ?

මට දැනුණෙ මට අභියෝගයක් සහ ගෞරවයක් එකවර ලැබුණා කියලා.

 

Q:මහාචාර්ය සුනිල් ආරියරත්න එක්ක වැඩ කරන එක ලේසි අත්දැකීමක්ද?

සුනිල් සර් එක්ක වැඩ කරන්න කිසිම අමාරුවක් නැහැ.මේ නිර්මාණයට කතා කරද්දි මම මේ නවකතාවවත් කියවලා නෑ.පිටපත කියවලා නවකතාව ගැන සර් එක්ක කතා කළේ.සර් හුගාක් හිත  හොඳ අවංක මනුස්සයෙක්.දෙන්න ඕනෑ හැම අවවාදයක්ම මට දුන්නා.


Q:ඇයි දසුනි චරිත තෝරාබේරාගෙන රඟපාන්නෙ?

මගේ සීමාව විලන් ද හීරෝද කියන එක නෙවෙයි .මම තෝරාගන්න චරිතයට මට සාධාරණයක්  කරන්න පුළුවන්ද කියන එක.....මට සාධාරණයක් කරන්න පුළුවන් ඕනෑ චරිතයකට මම හා කියනවා.නැත්නම් බෑ කියනවා