ගී ගයා ගල්තලාවක පන්සලක් හැදූ අමරසිරි පීරිස්

  • 02-04-2026
  • Views 68

 

පුරසඳෙහි සඳකිරණ කඳු නිම්නයන් සිසාරා දෝර ගලා එන රාත්‍රියක ගල්තලාව මත නිස්කාංසු සුවයෙන් හිඳ විඳි සුවය ලෝකයේ ඇවිද ඇති  බොහෝ එවැනි තැන්හිදී මා විඳි  නිරාමිස සුවයක් වෙත්නම් ඒ හැම සුවයකටම වඩා හදවතින්ම මාවින්ද සුවයකි! 


මට දැනුණු සුවයකි. එහි වැඩ වෙසෙන බුදුපිළිම වහන්සේගේ වුවන දෙස බලා සිටියදී විඳි ශාන්තිමත් මනෝභාවයන් මේ මොහොතේත් මා  සිත සුවපත්  කරයි. 

කෙළවර කොතෙක්දැයි නොතේරෙන තරමට ඈතින් ඈතට විහිද ගිය ගල්තලාවක් පුදබිමක් බවට පරිවර්තනය කරන ඒ සිතුවිල්ල නැඟුනේ සිය දහස් වාරයක් මා විඳි මා හද නැල  වූ ගී සමුදායක් තිළිණ කළ අසමාන ගායන වේදියෙකුගේ හදවතේය.

 මලක් වුණේ  ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන
 එනමුදු  සිප ගන්නට තහනම් 

විලක් වුණේ  ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින
 දිය දෝතක් බොන්නට තහනම් 

ඒ ගීය මා නෑසූ දිනක් නැති තරම් ! ඒ ගීය ගයන අමරසිරි පීරිස් කලාවේදියාණන්  හා මගේ හමුවීමත් ඒ ළෙන්ගතු මිත්‍රත්වයත් වසර දහයකට වඩා අතීතයකට අයිතිය. අමරසිරි  පීරිස් ගායන වේදියාණන් කවුරුන්දැයි හරියටම නොදන්නා අය ඔහු දකින්නේ වැඩිය හිනා නොවෙන කතා නොකරන ආඩම්බරකාරයකු හැටියටය. එහෙත් මා දුටු නිරහංකාරම ආඩම්බරකාරයා අමරසිරි පීරිස් ගයන වේදියාණන්‍ ය. මිත්‍රත්වය ,ආදරය  ළෙන්ගතුකම  හදවතේ සෑම ඉසව්වකම අක් මුල් විහිදුවා ඇති ඔහු සැබැවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර මිනිසෙකි. ඔහුගේ ආදරණීය බිරිද නන්දා කෝරලගේ යනු ඔහුගේ ජීවිතයේ සදාතනික සෙවණැල්ලයි. මවකගේ සෙනෙහෙයක් තුළ  සම්මිශ්‍රිත වූ ළතෙත්  හැඟීම් සමුදායක්  ඒ ස්නේහය  ගැඹුරේ පිටාර ගලයි.  ආගන්තුක සත්කාරය කොතෙක් ළෙන්ගතු ආදරණීය හැඟීමක්දැයි විස්තර කරන්නට ඇගේ නිවහන තරම් මා දන්නා වෙනත් තැනක් නැත .


එහෙත් ඒ ආදරණීය මිනිසා ආදරණීය මිනිසකු ලෙසින්ම දැන හඳුනාගත් අය එපමණකටම වෙත්දැයි මම නොදනිමි. එහෙත් ඔහුගේ හදවත කොතෙක් නම් සුවඳවත් කුසුම් සුපිපුණු ඉසව්වක්දැයි  දන්නේ ඔහු  හඳුනාගත්  රසවතුන්ම පමණි.

 දිනක් අමරසිරි පීරිස් ගායනවේදියාණන් හමුවූ දන්නා හඳුනන කෙනෙක් ඔහුගෙන් කළේ ඉල්ලීමකි.


 සර්  කෑගල්ලේ කොටියා කුඹුරේ අරුග්ගම්මන ගලේවත්ත කියලා ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානේ පවුල් විස්සක් තිහක් ඉන්නවා .ඒ අයට වඳින්න පුදන්න  බුදු පිළිමයක් තියලා පොඩි තැනක් හදලා දෙන්න පින් සිද්ධ වෙයි. 


අමරසිරි පීරිස් ගායන වේදියාණන් ඒ ගම්මානය සොයා කෑගල්ලේ අරුග්ගම්මන ගලේවත්තට ගියේය .කඳු යායකින් වට වූ  කඳුකර මිටියාවතක පිහිටි ගල්තලාව මත වඳින්න බුදුපිළිමයක් තැබූ සෙනසුනක් නොව මහා පන්සලක් හදන්න ඕනෑ යැයි සිතුවිල්ලක් ඔහුගේ සිතේ ක්ෂණයකින් ඉපදුණේය. අවසානයේ ඒ සිතුවිල්ල මහා පන්සලක් බවටම පත්විය .
අමරසිරි පීරිස් කලාවේදියාණන් ලංකාවේත් ලෝකයේත් හැම අත විසිරුණු සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් සිය දහස් වාරයක් ගී ගැයුවේය. ගල්තලාව මත  පන්සලක් හදන්නට  ඒ ගී ගයා හම්බ කළ මුදල් ඔහු නිර්ලෝභීවම වියදම් කළේය .පසු කාලයකදී ඒ මහා පුණ්‍ය කර්මයට ස්ව කැමැත්තෙන්ම දායක වූ ඔහුගේ හිතවතුන්ද සිටියහ .

 අනුරාධපුරයේබ් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛා වහන්සේ නමක්  ඒ බිමෙහි පැළ කරන ලද්දේ අමරසිරි පීරිස් කලාවේදියාණන්ගේ සුරතිනි. විදේශ ප්‍රසංගයකට ගියත් ඔහු  රැගෙන එන මුදල් ඔහු නිර්ලෝභීවම පන්සල වෙනුවෙන් දන් දුන්නේය. බොරුවට  කා සමඟවත් හිනාවෙන කතා කරන පුරුද්දක් අමරසිරි පීරිස් ගායන වේදියාණන්ට නැත. ඔහු නිරහංකාර  ආඩම්බරකාරයෙකු ලෙසින් මා සඳහන් කළේ එබැවිනි.


 සන්ධ්‍යාවන්හිදී මෙන්ම තෙද හිරු රැස් අතුල පැයේදී ද සුදු වතින් සැරසුණු බැතිමතුන්ගෙන් ඒ බිම  පිරී යන දසුනක් මම කීප වරක්ම සියැසින් දැක ඇත්තෙමි. හරි හම්බ කරන මුදලින් පුද බිමක් තනන්නට  සිත් වූ සිතුවිල්ලම අප්‍රමාණ සිතුවිල්ලකි. හරි හම්බ කරන ලද මුදල් අමරසිරි පීරිස් ගායන වේදියාණන්  වියදම් කළේ මේ පුදබිම වෙනුවෙන් පමණක් නොවේ. උදව්වක් රැකවරණයක් ඇවැසි අසරණ වූ කලාකරුවන් වෙනුවෙන් සුව සද්දන්නට මෙන්ම නමක් ගමක් නොදන්නා වූ  සරණක් අවැසිම මිනිසුන් වෙනුවෙන් පවා ඔහු මුදල්  නිර්ලෝභීවම දන් දුන්නේය.  එහෙත් අමරසිරි පීරිස් රසවතාණන් ඒ කිසිවක් කළේ ප්‍රසිද්ධිය බලාගෙන හෝ ඉල්ලාගෙන නොවේ. 


මේ පන්සලට ශ්‍රී අමර විහාරය යැයි නම් තැබුවේද අමරසිරි පීරිස් ගායන වේදියාණන්ගේ උවමනාවට නොව  යතිවරයාණන් වහන්සේ කෙනෙකුගේ සිතිවිල්ල අනුවය.

 සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව  යන මග දෙපසය.  ඔහු  මනුෂ්‍යත්වයේ  සුසුවද විදාහල  හදවතක අයිතිකාරයෙකි. අරුග්ගම්මන ගලේවත්ත ගල්තලාවක නිමැවූ ඒ මහා පුදබිම එහි ගම්වැසියන්ට තිළිණ වූ දවසේ අමරසිරි පීරිස් හිතවතාණන්  වෙනුවෙන් මහ ඇතිවරයාණන් වහන්සේලා මෙන්ම කලාකරුවන්ද මහ පිරිවරක් පැමිණියහا ඒ සාක්ෂිය පමණක් කොතෙක් නම් ආදරයක් ඔහුට හිමි දැයි නිහඬවම පැහැදිලි කළේය. දිනක් සනත් නන්දසිරි ගායන වේදියාණන් මා සමඟ  පැවසූ දෙයක් මේ මොහොතේ මගේ මතකයට නැඟේ.

 අමරදේව සර් නැති දවසක අපිට  ඊළඟට  ඉන්නෙ අමරසිරි පීරිස් 

සැබවින්ම ලාංකික ගීතයක් රස වින්දනය පිණිස සොයා යන හැම වාරයකදීම අමරසිරි පීරිස් ගායන වේදියාණන්ගේ මුවින් ගැයූ ගීයක් මට  මග නොහැරුණු දවසක් නැති තරම්ය. අවසන යමෙක් මේ  පින් බිම  දැක  වැද පුදා නිවෙන්නට සැනසෙන්නට ජීවිතයේ අවස්ථාවක් ලද්දේනම් ඔබට නිවන් මඟ ද්වාරය  විවර වෙන්නට ඒ පිනම ඇති යැයි මට සිතේ.

 ආදරණීය  ගයන වේදියාණෙනි  ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ  ලැබේවා! ආදරෙයි අපි හැමදාම......