තනිකඩ ජීවිතයේ පාළුවක් තනිකමක් කවදාවත් දැනිලා නැද්ද?

  • 20-09-2025
  • Views 103


අවුරුදු පහළොවකින් මම සින්දුවක් ලියුවෙ නෑ .ආයෙ ලියන්නෙත් නෑ. මගේම චිත්‍රපටයකට ඇරෙන්න ආය මම  කවදාවත් සින්දු ලියන්නෙ නෑ.

රජ කතා අරගෙන චිත්‍රපට කරන්න එපා කියලා විචාරකයො කෑ ගහලා කීවා.

මම කාටවත් ඇහුම්කන් දෙන් නෑ... මම කරන්නෙ මට  ඕනෑ දේ. කවුරු එපා කීවත් මට ඕනෑ දේ මම කරනවා.

ගීතයකට රූප රචනා කිරීම ගීතයකට කරන බලවත්ම  අසාධාරණයක්

තනිකඩ ජීවිතයේ පාළුවක් කවදාවත් දැනිලා නෑ....

තනිකම ,පාළුව ,කාන්සිය ගැන කවදාවත් මම සින්දු ලීවෙ නැත්තෙත් ඒකයි.........

මාත් එක්ක එහෙම කීවෙ අතීතයේ ඈත ඈත දවස්වල  මට හමු වූ මගේ ගුරුවරයෙක්....ඒ ගුරුතුමා සම්මානිත  මහාචාර්ය සුනිල් ආරියරත්න


ඇත්තටම ආය කවදාවත් සින්දුවක් ලියන්නෙ නැද්ද සර්?

නෑ..අවුරුදු පහළොවකින් ලියුවෙත් නෑ.ආය ලියන්නෙත් නෑ..මම චිත්‍රපටයක් කළොත් මගේම  චිත්‍රපටයකට ඇරෙන්න ආය සින්දු ලියන්නෙ නෑ

 

ඇයි එච්චර දරුණු තීරණයක් ගත්තෙ?

මම දැන් කාටද සින්දු ලියන්නෙ.අලුත් පරම්පරාවෙ හදවතට  දැනෙන හඬවල් නැත්තටම නැති තරම්. බහුතරයක් මිනිස්සුන්ගේ රසඥතාව වෙනස්වෙලා....ඉතින් මම කාට ගයන්නද කාට අහන්නද සින්දු ලියන්නෙ

 

ගීතයකට රූප රචනාවක් ! ඇයි ඒකට එච්චර අකමැති ?

සින්දුවකට කරන බලවත්ම  අසාධාරණයක් ඒක.රසිකයන්ට ශ්‍රාවකයන්ට කල්පනා ලෝකෙක තනිවෙලා  සින්දුවක් විඳින්න තියෙන එක නැති කරලා රූප රචනාවක් අස්සෙ කොටු කරන්නෙ ඇයි?

 

 ගීතයකට සාර්ථක දැනෙන රූප රචනාවක් මෙච්චර කාලෙකට ලංකාවෙ කවුරුත් කළේ නෑ කියලද සර් කියන්නෙ ? 

ජාතික රූපවාහිනීයේ රවීන්ද්‍ර මුණසිංහගෙ රූප රචනා ඇරෙන්න අනික් ඔක්කොම අසාර්ථක වුණා කියලයි මට දැනෙන්නෙ

 

සර්  අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට දිහා බලද්දි සමහර චිත්‍රපට අසාර්ථක වුණා....ඊට වඩා හොඳට තිර පිටපත ලියන්න තිබුණා  අධ්‍යක්ෂණය කරන්න තිබුණා කියලා හිතෙන තැන් තියෙනවද ? 

අවංකවම ඔව්.අපරාදෙ මට මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලා හිතෙන තැන් තියෙනවා..

 

එක උදාහරණයක් මට කියන්න ? 

ක්‍රිස්තු චරිතය චිත්‍රපටය දිහා බලද්දි අපරාදෙ ඒ කාලෙ වුණත් මට ඒ චිත්‍රපටයට මීට වඩා සාධරණයක් කරන්න තිබුණා කියලා දැන් හිතෙනවා

 

ඇයි සිනමාවේදියෙක් විදිහට රජ කතා..බෞද්ධ කතා ,ඉතිහාස කතා ප්‍රස්තුතවලට විතරක් සීමාවෙන්නෙ...අපරාධයක් කියලා හිතෙන් නැද්ද ? 

නෑ ඒක මගේ කැමත්ත.මම පෞද්ගලිකව ප්‍රිය කරන දේ මම කරන්නෙ .මම එහෙම කාටවත් ඇහුම්කන් දෙන්නෙ නෑ.මගේ අභිමතය පරිදි තමා මම තීරණ ගන්නෙ...කවුරු එපා කීවත් මට ඕනෑ දේ මම කරනවා

 

 ඒ චිත්‍රපටකරණයේදී විචාරකයන් දොස් කියපු තැන් තියෙනවා නේද ?  

ඔව් ...රජ කතා අරගෙන චිත්‍රපට කළා ඇති කියලා කෑ ගහලා කියපු ව්චාරකයො ඉන්නවා..දොස් කියන අය දොස් කියපුදෙන් .හැබැයි ගාමිණී වේරගම කීවා යශෝධරා එයා බලපු හොඳම බෞද්ධ චිත්‍රපටය කියලා..ප්‍රේක්ෂක ප්‍රතිචාර සුබවාදීව මට පුදුම විදිහකට ලැබෙනවා ...ඒ මදිද ? 


තනිකඩ ජීවිතයේ පාළුවක් තනිකමක් කාන්සියක් කවදාවත් දැනිලා නැද්ද ?

කවදාවත් දැනිලත් නෑ .අන්තිම හුස්ම වෙනකම් දැනෙන එකකුත් නෑ..උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් නිදාගන්නකම් මට කරන්න වැඩ තියෙනවා.  ජීවිතය බෙදා හදාගන්න මම තෝරාගත්ත මිතුරු සමාගමක් මට ඉන්නවා.තනිකම ,පාළුව ,කාන්සිය ගැන මම කවදාවත් සින්දුවක්වත් ලියුවෙ නැත්තෙ මට කවදාවත් ඒ හැඟීම් දැනිලා නැති  හින්දා.