පරම්පරා - Parampara පළමු වරට ලාංකීය වේදිකාවට එන ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන සංගීත‍ ප්‍රසංගයක්

  • 20-02-2026
  • Views 13

ප්‍රථම වරට ශ්‍රී ලාංකීය වේදිකාවකදී  ඉන්දියානු ශාස්ත්‍රී නර්තන හා සංගීත ප්‍රසංගමය අත්දැකීමක් විඳගන්නට ලාංකික රසිකාගාරයට අවස්ථාවක් ලැබී තියෙනවා. ඉතිහාසගත සංස්කෘතික උත්සවයක් ලෙස ලාංකීය කලා ඉතිහාසයට එක්වෙන පරම්පරා ලෙස නම් ලද මෙම සංස්කෘතික මහෝත්සවය පැවැත්වෙන්නේ   මාර්තු 04 සහ 05 යන දෙදින තුළ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී  සවස හයට පමණ.

පරම්පරා සංස්කෘතික මහෝත්සවයේ සංකල්පමය අයිතිකාරිය වන්නේ  ප්‍රවීණ භරත නාට්‍යම් ශිල්පිනියක් මෙන්ම  භරත නාට්‍යම් ගැන සිංහල භාෂාවෙන්  ලියූ ප්‍රථම සහ එකම ශාස්ත්‍රීය ග්‍රන්ථය ලියූ  ප්‍රීති ගනේගොඩ නර්තනවේදිනියයි..   ප්‍රවීණ උඩරට නර්තන සහ කථකලී නර්තන ශිල්පී ආචාර්ය රවිබන්ධු විද්‍යාපති , සමන්තා විද්‍යාපති සහ චන්දන වික්‍රමසිංහ මෙම සංස්කෘතික මහෝත්සවයේ  උපදේශන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර

සෑම ඉන්දියානු ශිල්පියෙක්ම තමන්ගේ ගුවන් ටිකට්පත් වියදමත් තමන්ම දරාගෙන . ප්‍රසංගය සඳහාත්  කිසිදු මුදල් අය කිරීමකින් තොරවයි මීට දායකත්වය ලබා දෙන්නේ. ඉන්දියානු ශිල්පීන් මෙන්ම ශ්‍රී ලාංකික ශිල්පීන් ප්‍රසංගයට දායකත්වය ලබාදෙන්නෙත් එලෙසමයි.   සැබැවින්ම  කලාව වෙනුවෙන් ඔවුන් ඒ සිදුකරන මෙහෙවර ප්‍රශංසනීයයි. මේ වනතෙක්.සංස්කෘතික අමාත්‍යාංශයෙන්, රජයෙන් හෝ වෙනත් පෞද්ගලික අංශයකින් මෙම ශාස්ත්‍රීය සංස්කෘතික  කර්තව්‍ය සඳහා කිසිදු අනුග්‍රාහකත්වයක් ලැබී නැහැ. එහෙත්   ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය  ලාංකීය වේදිකාවක දිගහැරෙන තම සංස්කෘතික උරුමයන් වෙනුවෙන්  ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීම වදනින් විවරණය කළ නොහැකි තරම් වටිනා දෙයක්.

මාර්තු 04 වැනිදා පැවැත්වෙන මහෝත්සවයේදී ඉන්දියානු ශාස්ත්‍රීය  නර්තන ශෛලීන් ශ්‍රී ලාංකීය ප්‍රවීණ ශිල්පීන් සහ භාරතීය ශිල්පීන් විසින් නර්තනයන්  රඟ දක්වනු ලබන අතර එය නට මහෝත්සවය  යනුවෙන් නම් කර තිබෙනවා.

භරත නාට්‍යයම් 

විද්‍යා අරසු තමයි භරත නාට්‍යයම්  රඟ දක්වන්නේ.

කථක් නර්තනය 

ශාස්ත්‍රපති ශ්‍රීංගාමනී මේජර් වෙරෝනිකා දසනායක තමයි කථක් නර්තන ඉදිරිපත් වන්නේ

 මෝහිණීයාට්ටම් 

ඉන්දියාවේ ඉඳන් එන මව්මිතා පාල් මෙරට දැනට භාවිතයේ නොමැති මෝහිණීයාට්ටම් ශාස්ත්‍රීය නර්තනයේ යෙදෙනවා

කථකලී නර්තනය 

ඉන්දියාවෙහි කේරළ  ප්‍රාන්තයේ භාවිතයේ යෙදෙන ශාස්ත්‍රීය නර්තනාංගයකි .ආචාර්ය රවිබන්ධු  විද්‍යාපති ,චන්දන වික්‍රමසිංහ ,මදුශංක ප්‍රිය දේශ් සහ ගීත්  ප්‍රේමචන්ද්‍ර රංගනයෙහි යෙදෙනවා.

 ඔඩිසි නර්තනය 

ඉන්දියාවෙහි ඔඩීෂා (ඔරිස්සා) ප්‍රාන්තයේ ප්‍රචලිත ඔඩිසි නර්තනය ශාස්ත්‍රීය ඉන්දීය නර්තන ශෛලියක්. නර්තනයෙහි යෙදෙන්නේ විද්‍යා අරුසු

චෞ නර්තනය 

ඉන්දියාවේ ඔඩීෂා ( ඔරිස්සා ) ප්‍රාන්තයේ ප්‍රචලිත චෞ නර්තනය ජන නැටුම් වර්ගයක් .එමෙන්ම මෙය  යුද කලාවක්ද වෙනවා. චෞ කලාවේ ප්‍රධාන අංග ත්‍රිත්වයෙන් මයුර්භාන්ජ් වර්ගයේ නර්තන අංගයක් ශමිත හෙට්ටිගේ විසින් ඉදිරිපත් කරනවා.

කථක් නර්තනය 

උත්තර භාරතයේ ප්‍රධාන නර්තන ශෛලියක් වන කථක් නර්තනය දේශීය වශයෙන් බොහෝ සිසුන් සංඛ්‍යාවක් හදාරන නර්තන අංගයක් .එදාට කථක් නර්තනයෙහි යෙදෙන්නේ අම්රිතා විද්‍යාපති.

මාර්තු පස් වැනිදා සංගීත මහෝත්සවය පැවැත්වෙනවා

සිතාර් වාදනය 

ආචාර්ය නිර්මලා කුමාරී රොද්‍රිගෝ  විසින් වාදනය කෙරෙන ශාස්ත්‍රීය වාදනයක්.

උත්තර භාරතීය ශාස්ත්‍රීය ගායනා 

ශාස්ත්‍රපති අසිත් අතපත්තු විසින් ගයනු ලැබේ. වාදන සහාය ශාස්ත්‍රපති පේෂල මනෝජ් සහ විශාරද අරුණ ශාන්ත

බටනලා වාදනය 

එදාට  බටනලාව  වාදනය කරන්නේ කුමාර ලියනවත්ත

වීණා  වාදන වෘන්දය 

සියලු සංගීත භාණ්ඩයන්ගේ රැජන ලෙස ප්‍රචලිත වීණාව වයන්නේ ගයත්‍රී සුන්දරමෝහන් ඇතුළු පිරිසයි.

තාල වාදන වෘන්දය 

ආචාර්ය රවිබන්ධු විද්‍යාපති ඇතුළු පිරිස තාල වාදන වෘන්දයේ යෙදෙනවා

දක්ෂිණ භාරතීය ශාස්ත්‍රිය ගායනා 

දෙවින් ගනේගොඩ සේනාධීර විසින් ගයනු ලැබේ.

 ආචාර්ය රවි බන්ධු විද්‍යාපති පරම්පරා ප්‍රසංගය ගැන දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී  සඳහන් කළේ මෙම ඇතැම් නර්තන ශෛලීන් අද වන විට ඉන්දියාවෙන් පවා දුරස්ව යන බවයි.නර්තන කලාව අවභාවිත වන සහ නර්තන කලාවේ පැවතිය යුතු ගුණාංග සහ සැබෑ නර්තන ශෛලීන් අභාවයට යන යුගයක සැබෑ නර්තනයේත්  සංගීතයේත් වටිනාකම් උතුම් උසස් රස වින්දනයක් උදෙසා  ජනතාව වෙත තිළිණ   විය යුතු බවත් ඔහු සඳහන් කළා.  කවර බාධකයක් පැමිණියත් නර්තන කලාව සහ සංගීතය වෙනුවෙන් තමාගේ ඇති ආදරය නිසා  මෙවැනි ශාස්ත්‍රීය නර්තන කලාවන් සහ  සංගීත සම්ප්‍රදායන් ජනගත කරුණු පිණිස තමාට ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බව සඳහන් කළේ ප්‍රවීණ භරත නාට්‍යම් ශිල්පිනී  ප්‍රීති ගනේගොඩයි. ඇත්තටම මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත් විකිණෙන්නෙත්  ඉතාම සහනදායී මිලකට .

දුරකථන අංක

+94 778881540 
+94 777872527 

යන දුරකථන අංක වලින් සහ

Email : parampara.festival .2026@ gmail.com

Facebook - parampara festival 

Instagram - parampara .festival 

Tik Tok - parampara.festival 

ඔස්සේ  මෙම සංස්කෘතික මහෝත්සවය ගැන ඕනෑම කාරණයක් ඔබට  දැනගන්න පුළුවන්.
  
පරම්පරා සංස්කෘතික මහෝත්සවය වෙනුවෙන් සාරවිට සුභ පැතුම් !

MG Priyangika Kumary