මට දැනුණෙ නෑ මම පිරිමියෙක් කියලා

  • 05-10-2025
  • Views 187

 


මට දැනුණෙ නෑ මම පිරිමියෙක් කියලා

එක නූලක් "මිස් "වුණානම් මට සත්‍යාත් නැති වෙනවා.ධනංජයත් නැති වෙනවා.

මම කළේ අතුරෙ යනවා වගේ වැඩක්.ඒත් මම හරියට  අතුරෙ ගියා



ඉන්දියාව සිනමාහල්වල ප්‍රදර්ශනයට ඉල්ලපු පළමු චිත්‍රපටය මදර් ලංකා....ඒ ඉල්ලීමම අපිට සම්මානයක් නෙවෙයිද ?

ධනංජය සිරිවර්ධන එහෙම කීවෙ අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ මදර් ලංකා චිත්‍රපටය ගැන

 ට්‍රාන්ස්ජෙන්ඩර්  චරිතයත් එක්ක ධනා ට ..ධනංජය සිරිවර්ධනට  මේ දවස්වල ලැබෙන්නෙ වෙනස්ම අමුතුම ප්‍රේක්ෂක ආදරයක්.... 


සත්‍යා එක්ක හුස්ම ගනිද්දි පිරිමියෙක් වෙච්ච ඔයා  පිරිමිකම සහ ගැහැනුකම එකවර අත් වින්දෙ කොහොමද ?

 මට දැනුණෙ නෑ මම පිරිමියෙක් කියලා.මාස තුනක් විතර ෂූටින් ඉවර වෙනකම් මට මා තුළ හිටපු පිරිමියා අමතක වෙලා හිටියෙ .දැන් මට හිතෙනවා රංගනය තුළින් හෝ ගැහැනියක් වීම  මට මනුෂ්‍යත්වය තේරුම් ගන්න ජීවිතයේ ලැබුණු හොඳම අවස්ථාවක් කියලා.


භෞතිකව ගැහැනියක් වීමටත් වඩා මානසිකව ගැහැනියක් වීම අමාරු වුණාද ?
 
අම්මා ,සහෝදරි,දුව ,බිරිඳ,පෙම්වතිය ,යෙහෙළිය මේ එක එක භූමිකා තුළ මම ගැහැනියව හඳුනගෙන තියෙනවා.ඒත් මම මේ විදිහට ගැහැනියක් වුණාම මගේ ලෝකයම අනික් පැත්තට හැරුණා.මට සත්‍යා  කියන ලිංගික සංක්‍රාන්තික චරිතයේ ජීවත් වෙද්දි මම ලෝකය දකින විදිහ නෙවෙයි එතනින් එහාට ගැහැනිය ලෝකය දකින විදිහයි මට ප්‍රැක්ටිස් කරන්න තිබුණෙ.


ශිව දෙවිඳු ප්‍රතිමාව ළඟ ඔබ නර්තනයේ යෙදෙද්දී ඔබේ නර්තනය දකිද්දි මට හිතුණේ ආය කවදාවත් ධනා එහෙම නටන්න ඕනෙම නෑ කියලා ?

ලංකාවෙ සුප්‍රකට නර්තන ශිල්පියෙක් කීවා එයා තුළ ගැහැනියක් සහ පිරිමියෙක් ජීවත් වෙනවා කියලා.නටරාජා තුළත් ගැහැනියෙක් හා පිරිමියෙක් ජීවත් වෙනවා.....මාත් එතෙන්දි ඒක අත් වින්දා...ඒ මොහොත මටත් පුදුමයක්...ඒක නටන්න මම 1% ක් විතර භරත හා කථක් නාට්‍ය ඉගෙන ගත්තා.


මට ධනංජය පළවෙනි වතාවට නළුවෙක් කියන එක තදින්ම හොඳටම දැනුණෙ සත්‍යාගෙන්.ඔයාට ? 

ඔව්.මගේ සිනමා රංගන ජීවිතයේ මට වැඩිම ප්‍රතිචාර ලැබුණු චරිතය සත්‍යා...ප්‍රේක්ෂක ආදරය ප්‍රතිචාර මට පුදුම විදිහට දැනෙනවා.දවසට දෙපාරක් රැවුල කැපුවා....දවස ගානෙ  අත්වල මයිල් අයින් කළා.මට ගැහැනු ඇඳුම් ආභරණ බරක් කියලා දැනුනෙ නෑ.නළුවෙක්ට පුළුවන් වෙන්න ඕනෑ නළුකම ඇතුළෙ ඕනෑ බරක් උහුලන්න......


ලංකාවෙ  සම්මාන  නිර්දේශවීම් සහ  ජූරිය ගැන ප්‍රශ්න හුඟාක් තියෙනවා  .සම්මාන  ධනාගෙ බලාපොරොත්තුවක්ද ? 

රතු අහස කියන නාට්‍යයේ විරාග වෙනුවෙන් මට  සම්මානයක් ගැන ලොකු සිහිනයක් තිබුණා.එදා රාත්‍රියේ මම හුඟාක් දුක් වුණා .මගේ සම්මාන සිහිනය බොඳ වුණා.සම්මානයක් කියන්නෙ උත්තේජනයක් .ප්‍රේක්ෂක සම්මාන උපරිමයෙනුත් උපරිමය ලැබෙන කාලෙක මම දැන් ඉන්නෙ .දැනට මේ ඇති

ආයෙත් ට්‍රාන්ස්ජෙන්ඩර් චරිතයකට කතා කළොත් මොකක්ද තීරණය?

ආය කවදාවත් එහෙම චරිතයක් කරන්නෙ නෑ...මට හිතෙනවා ආය එහෙම චරිතයක් කරන්න තරම් දෙයක් මම ඉතුරු කරලත් නෑ කියලා