මාසෙකට වතාවක් මගේ තාත්තා වනගත වෙනවා

  • 14-11-2025
  • Views 132


තාත්තා දෙවැනි බුදුන් ලෙස සින්දුව ගයද්දී  මිනිස්සු අඬනවා

තාත්තට දැන් අවුරුදු හැත්තෑ  පහක් විතර

මාසෙකට සැරයක් විතර තාත්තා වනගත වෙනවා

අලි බලන්න තාත්තා හරිම ආසයි..............

මාසෙකට සැරයක් විතර වනගත වෙන , අලින්ට පෙම් කරන ඒ තාත්තා සියක් දහසක් මිනිසුන් තම ගී සංධ්වනියෙන් පිනවා ලූ   , ආහ්......ඒ විතරක්ද  සඳකඩපහණ  තුළින් භාවාත්මක රස උල්පත් සදාලූ රස සරාගයක්.........

නොදන්නේ කවුරුන්ද ඔහු........නමින් සුනිල් එදිරිසිංහ .....


"තාත්තා මේ දවස්වල  කතා කරන්නෙ අඩුවෙන්..."සංඛ එහෙම කියපු නිසා අපි සංඛගේ  ආදරණීය තාත්තා සහ ආදරණීය නැගණිය සංඛනී වෙනුවෙන් කතා කළේ සංඛ එක්ක...

විදේශයක  ජීවත් වෙන සංඛ දැන් ගායකයෙක් ලෙස  අබිසෙස් ලබා වසර ගණනාවක් ගෙවී ගිහින්......
සුනිල් -සංඛ -සංඛනී ත්‍රිත්වයේ ගී රස මංජරිය හරියටම තව දවසකින් නොවැම්බර් 15 වැනිදා කොළඹ මියුසියස් විද්‍යාලීය  ශ්‍රවණාගාරයේදී සවස හතට දිගහැරෙන්නට නියමිත වෙද්දි අපට සංඛගෙන් ඒ ගැන අහන්නත් සංඛට  අපි එක්ක ඒ ගැන කියන්නත් හුඟක් දේවල් තියෙන විත්තිය අපට දැනුණා..


ලෝකයටම ගායකයෙක් ඒත් ඒ  ඔයාගෙ තාත්තා.... පපුවටම දැනෙන ඇත්ත හැඟීම මොකක්ද?

මම 2000  වසරෙදි ලංකාවෙන් යද්දි තාත්තා මේ තරම් තැනක හිටියා කියලා මට දැනුණේ  නෑ. ඒ කාලේ තාත්තට වඩා ජ්‍යෙෂ්ඨ පරම්පරාවක් හිටියා .ඒත් ඒ පරම්පරාවෙන් පස්සේ තාත්තා තියපු  තැන ගැන මගේ යාළුවො වුණත්  කිව්වේ හිතට දැනෙන කතන්දර.  හරිම අභිමානයක් හරිම සතුටක් වගේම  මගේ තාත්තා මොනතරම් සුවිශිෂ්ටයෙක්ද  කියන හැඟීම මගේ හදවතට දැන් හුඟක් දැනෙනවා.


තාත්තා වේදිකාවේ ගී ගයද්දී ඔයා විඳපු සංවේදීම ප්‍රතිචාර මොනවද?

තාත්තා දෙවැනි බුදුන් ලෙස ගයද්දී මුළු ඕඩියන්ස් එකේම වගේ මිනිස්සු අඬන හැටි කඳුළු පිහදාන හැටි  මම  ඈතට වුණත්  දැකලා තියෙනවා .අපි ළඟ ඉන්න අය පවා ඇස්වල  කඳුළු පුරවගෙන ඉන්න  හැටි මම දැකලා තියෙනවා .තාත්තා ඒ සින්දුව කිව්වේ  තාත්තගෙ අම්මා නැති වෙච්ච මුල් කාලෙ වගේ.ඒ සින්දුවට සංගීතය යොදපු රෝහණ වීරසිංහ අංකල්ගේ පියා නැති වෙලාත් ඒ වෙද්දි පොඩි කාලයයි ගෙවිලා තිබුණේ. හරිම හැඟීම්බර මානසිකත්වයකින් තමයි   ඒ ගීතය ඒ විදියට නිර්මාණය වෙන්න ඇත්තේ .

 මේ ප්‍රශ්නය අසාධාරණ ප්‍රශ්නයක් නම් මට සමාවෙන්න. සුනිල් එදිරිසිංහ ගැයූ ගී වලින් ඔබ කැමතිම ගීතය මොකක්ද කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් තියෙනවද?

දෙවැනි බුදුන් ලෙස ගීතයටත් මම හුඟාක් ආසයි. ඒත් තාත්තා ගැයූ ගී වලින් ආසම ගීය මොකක්ද කියලා ඇහුවොත් එහෙම ගීත දෙකක් තියෙනවා කියන උත්තරේ තමයි මට කියන්න තියෙන්නේ

මොනවද ඒ ගීත දෙක?

තාත්තා සමහර ගීත ගැයුවේ  තැටිවලට සහ කැසට්වලට විතරයි.මේ  හුගාක් මිනිසුන් අතර ජනප්‍රිය නොවුණු  ගීත දෙකක්.ඒත් මං ආසම ගීත දෙක තමයි මේ..බිහිකළ  දිනයේ සිට සහ අවාරයේ මා තමයි ඒ ගී දෙක.ගිය අවුරුද්දෙ විහාර මහා දේවී එළිමහන්  රංග පීඨයේ අපි ප්‍රසංගයක් කරද්දි මම දෙවැනි බුදුන් ලෙස  ගීතය ගැයුවා. එදා අම්මා ඇවිල්ලා  හිටියා. ඇත්තටම මම එදා ඒ ගීතය මම ගැයුවේ මගේ අම්මා වෙනුවෙන්

අපි දන්නේ සුනිල් එදිරිසිංහ කියන ගායකයා .අපි නොදන්න ඔයාගේ තාත්තා ගැන ඔයා දන්න දේවල් අපිට කියන්න....

තාත්තා  අපි පුංචි කාලේ ඉඳන්ම නංගිටයි මටයි කීවේ ගායක ගායිකාවන් වුණේ නැති වුණාට කමන් නෑ හොඳ මිනිස්සු විදියට හැදෙන්න කියලා.දැන් තාත්තට අවුරුදු 75ක් විතර ඇති.තාත්තට මිනිස්සු කොච්චර ආදරේ කරනවද කියන එක මං දැකලා තියෙනව.තාත්තා ස්වභාවදහමට හරිම ආදරණීය කෙනෙක්.එයා අලි බලන්න හරි ආසයි.නිදහසේ කාලය ගෙවන්න ඒ වගේම ආසයි .මේ ලංකාවෙ තාත්තා ඇවිදලා නැති තැනක් නෑ .ලෝකය වටේත් හුඟාක් තැන්වල තාත්තා ගිහිල්ලා තියෙනවා. කොහොමත් මාසෙකට සැරයක් විතර තාත්තා වනගත වෙනවා.ඒ තමයි එයාගෙ ජීවිතය

සඳකඩපහණ  ප්‍රසංගය ගැන තියෙන මතක මොනවද?

අනූව දශකයේ මැද භාගයේ පටන් ගත්ත සඳකඩපහණ  ප්‍රසංගයේ මම හිතන්නේ දර්ශන වාර හාරසියයකට වැඩිය පවත්වලා ඇති. ඒත් මමයි තාත්තයි නංගියි ඉන්න සඳකඩපහණ  ප්‍රසංග පැවැත්වූයේ නම් මෑතක ඉඳන්. මේ අවුරුද්දේ ජූනි මාසෙ ඔස්ට්‍රේලියාවෙදි ප්‍රසංග හතරක් පැවැත්තුවා.නොවැම්බර් පහළොස් වැනිදා කොළඹ පවත්වන්නේ මමයි නංගියි තාත්තයි එකතුවෙලා පවත්වන සඳකඩපහණ  තුන්වෙනි ප්‍රසංගය .එත් ගිය අවුරුද්දේ මායි තාත්තයි විතරක් එක ප්‍රසංගයක් කළා. එහෙම බලද්දි  මායි තාත්තයි විතරයි සහ මායි තාත්තයි නංගියි  එකතුවෙලා කරපු ප්‍රසංග ඔක්කොම ප්‍රසංග හතරක්

ඉගෙන ගන්න විදේශ රටකට ගිය ඔබට ඇයි ඇත්තටම ගායකයෙක් වෙන්න හිතුණෙ ?

2017 අවුරුද්දේ වික්ටර් රත්නායක සහ කසුන් කල්හාර ආවා  විදේශීය ප්‍රසංගයකට . එදා කසුන් කල්හාර සින්දු කියද්දි මටත් හිතුණා  එහෙම සින්දු කියලා ගායකයෙක් වෙන්න . ඊට ඉස්සර සින්දු කිව්වත් මේ විදිහට ප්‍රසංගමය වේදිකාවක් මත මම සින්දු කියලා තිබුණේ නෑ .එදා කසුන් සින්දු කිව්වට පස්සේ තමයි මං තාත්තට කීවේ තාත්තෙ මටත් ආසයි මෙහෙම සින්දු  කියන්න ගායකයෙක් වෙන්න කියලා.ඒ හිතුවිල්ලත් එක්ක පටන් ගත්ත ගමනක් තමයි තවමත් මේ යන්නේ


සඳකඩපහණ ට සාරවිට සුබ පැතුම්