ලංකාවට එන අනුරාධා පෝද්වාල්ගෙන් සිංහල ගීතයක් ?

අනුරාධා පෝද්වාල්- Anuradha Paudwal - ඇගේ උන්මාදනීය හඬම රස සරාගයක්....
ජනවාරි 23 වැනිදා සවස 630 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන Anuradha Paudwal Live in colombo -Timeless Bollywood Memories ප්‍රසංගයේ ගී ගයන්නට ජනවාරි 21 වැනිදා ලංකාවට සපැමිණෙන පද්මශ්‍රී ආචාර්ය අනුරාධා පෝදවල් සමඟ සාරවිට වෙනුවන් කතා කරන්නට තරම් අපි වාසනාවන්ත වුණා....
සංගීතය යන විශ්වීය භාෂණය තුළ උන්මාදනීය ගී පෞරුෂයක් නිමැවූ , කිසිදා යුගයකට ලඝු කළ නොහැකි සුභාවිත සුභාෂිත සුලාලිත ගී සංධ්වනියක් මවාලූ මංගේෂ්වරිය - අනුරාධා පෝද්වාල් සමඟ අප කළ ඒ සොඳුරු කතාබහේ සටහනයි මේ........
මේ වෙද්දී ඔබ ගීත කීයක් ගායනා කරලා තියෙනවද කියලා ඇහුවොත් ඔබට පුළුවන්ද උත්තරයක් දෙන්න ?
ගීත ගායනා කරන්න පටන් අරගෙන මේ ගෙවී යන්නේ පනස් එක් වැනි අවුරුද්ද. ඒ කාලය තුළ මම චිත්‍රපට ගීත, බජන් ගීත ,ගසල් ගීත භක්ති සංගීතය, ප්‍රාදේශීය රචනා ඇතුළු ගීත 10,000 ක් විතර ගායනා කරලා තියෙනවා. ඒ හැම ගීතයක්ම මට හරිම විශේෂයි. ඒ හැම ගීතයක් ගැනම මතකය මගේ හදවතේ රැඳී තියෙනවා.ඒ ගී සියල්ල සමඟ අද වනතුරු ගෙවුණු අතීතය සහ ගෙවෙමින් පවතින වත්මන මට දැනෙන්නේ ජයග්‍රහණයකටත් වඩා ආශිර්වාදයක් විදිහට
අනුරාධා පෝද්වාල් ඔබ ගීත ගැයීමේ ආරම්භය සළකුණු කරද්දි ඔබට වයස කීයක් විතර වෙනවද ?
.මුලින්ම ගීත ගායනා කරන්න පටන් ගනිද්දි මට වයස අවුරුදු පහක් විතර ඇති.ගී ගැයීම කියන දේ මට නිරායාසයෙන්ම ලැබුණු උරුමයක් වගේ.තවත් විදිහකින් කිව්වොත් පුංචි කාලෙ ඉඳන්ම ගීත ගායනය කියන එක මට මගේ ආත්මයේම කොටසක් බවට පත්වුණා.ගීතය මගේ ආත්මයේ වෙන් කරන්න බැරි දෙයක්
ඔබ ගැයූ මුල්ම චිත්‍රපට ගීතය ගැන මතකය අපි ආසයි අහන්න.....?
අභිමන් චිත්‍රපටයට ඇතුළත් වුණු ශ්ලෝකයක් තමයි මගේ මුල්ම චිත්‍රපට ගායනය වෙන්නේ.ඒ මොහොත ඉන්දියානු සිනමාවේ අනුරාධා පෝද්වාල් කියන ගායිකාවගේ ගමන ආරම්භ කළ මොහොතයි.අභිමන් චිත්‍රපටය තමයි මගේ චිත්‍රපට ගී ගායනයේ මුල්ම අඩිතාලම
ඔබ මෑත කාලීනවම චිත්‍රපටයකට ගායනා කළ ගීතය මොකක්ද?
පුකාර් (Pukar ) චිත්‍රපටය සඳහා ගායනා කළ ගීතය තමයි මෑත කාලීනවම ගායනා කළේ
මුල්ම චිත්‍රපට ගීතයේ ගායනා කරද්දී ඔබට දැනුණ හැඟීමමද අදටත් ගීතයක් ගායනා කරද්දී දැනෙන්නේ.....
මගේ උත්තරය ඔව්.එදා මුලින්ම චිත්‍රපටයක් සඳහා ගීතයක් ගායනා කරද්දි මට දැනුණු සතුට වගකීම ඒ විදිහටම මට අදටත් දැනෙනවා
මම මෙහෙම ඇහුවොත් අනුරාධා පෝද්වාල් කියන නම වැඩියෙන්ම ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුනේ ඔබ ගැයූ කුමන ගීතය නිසාද කියලා....ඒක අසාධාරණ ප්‍රශ්නයක්ද? නැත්නම් උත්තරයක්
දෙන්න පුළුවන්ද ?
ආෂිකී කියන්නේ මගේ වෘත්තිය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සලකුණු කළ චිත්‍රපටයක්.මිලියන ගණනක් ප්‍රේක්ෂකයන්ගේ රසිකයන්ගේ හිත් ඒ චිත්‍රපටයේ ගීත ස්පර්ශ කළා කීවොත් මම හිතන්නෙ මම නිවැරදියි .පරම්පරා ගණනාවක් මගේ හඬට ආදරය කරන්න පටන් ගත්ත ගීත හුඟාක් ඒ චිත්‍රපටයේ තිබුණා.මම හිතන්නේ ඔබට ඕනෑ උත්තරේ එතන තියෙනවා.
ඔබේ මධුර සුගායනය වැඩිපුරම ගැලපුණේ මධුරී දික්සිත්ට කියලා අපි හිතුවොත් ඒක හරිද?
ඒක හරි .මම වැඩියෙන්ම ගීත ගැයුවෙත් මධුරී දික්සිත්ට. මගේ හඬට මධුරිගේ ස්වරූපය හොඳටම ගැලපුනා
අනුරාධා පෝද්වාල්ගේ ගී පරම්පරාවෙන් පසු තව ඉන්දියානු ගී පරම්පරා ගණනාවක්ම බිහිවුණා... ඒ පරම්පරා ගැන ඔබට විමසුමක් තියෙනවද?
හැම පරම්පරාවකම ගායක ගායිකාවන් තමන්ගේ ශෛලිය තමන්ගේ දක්ෂතා තමන්ගේ ශක්තිය සහ තමන්ගේ කැමැත්ත එක්ක තමන්ටම අනන්‍ය ගමනක් යනවා කියන එක තමයි මම හිතන්නේ.තමන්ගේ අරමුණ වෙනුවෙන් කැප වුණු තමන්ගේ ගමනට ආදරය කරන සංගීතයට ගීතයට හදවතින්ම ආත්මීයව ආදරය කරන අය මේ පරම්පරාවල ඉන්නවා.ගීතය හා සංගීතය කියන්නේ එක තැන නැවතිලා තිබිය යුතු දෙයක් නෙමෙයි. එය පරම්පරාවෙන් පරම්පරාවට යාවත්කාලීන විය යුතු, පරිණාමය විය යුතු සුන්දර දෙයක් විදියටයි කොහොමත් මම දකින්නේ
ලංකාව ගැන ලංකාවේ මිනිස්සු ගැන මොනවද හිතෙන්නේ?
මම මින් පෙර ලංකාවට පැමිණි සංචාරයේ මතක ලංකාවේ මිනිස්සු ගැන මතක හරිම ආදරණීයයි. ලංකාවෙ මිනිස්සු ආගන්තුක සත්කාරයට හරි ළැදියි.මට එයාලා දුන්නේ හරිම උණුසුම් ගෞරවපූර්ව සෙනෙහසක් හා ගෞරවයක්.
දෙවැනි වතාවටත් ඔබ ලංකාවට එනවා. කොහොම හැඟීමක්ද දැනෙන්නේ ?
එක පුදුම සතුටක්.මම දකින්නේ මට දුන්නු ආදරණීය පිළිගැනීමත් එක්ක නැවත වතාවක් ලංකාවට පැමිණීමට ලැබීමම මගේ භාග්‍යයක් විදිහට.අනික් විශේෂත්වය තමයි ඉන්දියාවේ 77වැනි ජනරජ දිනය සැමරීම සඳහා මෙම විශේෂ ප්‍රසංගය ඉදිරිපත් කිරීම.මම හරිම ස්තූතිවන්ත වෙනවා මට ලැබුණු ආදරය හා උණුසුම් ගෞරවය පිළිබඳව.මම හරි ආසාවෙන් ඉන්නේ ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නැවත වරක් සජීව ගී ගයන්න.මේ සියල්ල සංවිධානය කළේ ,මේ සියල්ල පිටුපස හිටියෙ කෞශල්‍යා වික්‍රමසිංහ මෙනවියයි.ඉතින් ඇයට වගේම ඇයගේ සිද්ධිවිනායක් සිනේ ආර්ට්ස් සමාගමටත් සහන්‍යා පදනමටත් මගේ ආදරණීය ස්තුතිය මම පුද කරනවා.ඒ වගේම මෙවැනි සංස්කෘතික සැමරුමක් සිදු කිරීමට සහයෝගය දෙන කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයටත් ඔවුන්ගේ වටිනා අවංක සේවය වෙනුවෙන් මම කෘතඥ පූර්වක වෙනවා
ශ්‍රී ලාංකිකයන්ට හින්දී සිනමාව හෝ හින්දී ගීත අමුතු දෙයක් නෙවෙයි . ඔවුන් ඒ තරම්ම හින්දී සිනමාවට සහ හින්දී ගීතවලට ආදරෙයි. ඔබ ලංකාවෙ සින්දු අහලා තියෙනවද?
ඇත්තම කිව්වොත් විශේෂයෙන් කියලා නම් අහලා නෑ.ඒත් මම විවිධ සංගීත සම්ප්‍රදායන්ට සවන් දෙන්න සහ ඉගෙන ගන්න කැමති කෙනෙක්.ඇත්තටම මම හිතන් ඉන්නවා මේ ප්‍රසංගයේදී ලාංකික රසිකත්වයට උපහාරයක් විදිහට ඔවුන්ගේ ගීතයකුත් ගයන්න
යටගියාව දිහා ආපහු හැරිලා බලද්දි ඔබට ඔබ ගැන මොකද හිතෙන්නේ?
දෙවියන් වහන්සේ කොයිතරම් නම් කරුණාවන්තද කියලා මට හිතෙනවා.මට මගේ ජීවිතයේ ලැබිලා තියෙන හැම දෙයක්ම, මගේ සාර්ථකත්වය ,මට ලැබිලා තියෙන ආදරය හා ගෞරවය උන්වහන්සේගේ කරුණාව නිසා මට ලැබුණු දේවල් කියලා මම විශ්වාස කරනවා.මම මගේ ජීවිතේ ලැබුණු හැම දෙයක් වෙනුවෙන්ම ස්තූතිවන්ත විය යුතු හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙන කෙනෙක්.
ඔබේ හඬට අප්‍රමාණව ආදරය කරන විශ්වීය ප්‍රේක්ෂකයන්ට ඔබ මොනවද කියන්නේ ?
සෑම දෙයකටම කෘතඥ පූර්වක වෙන්න ඉගෙන ගන්න .ඒ තුළින් අපට විශ්වාසය ,ස්ථිරත්වය නිහතමානී බව හා සාමකාමී බව ඇති කරනවා.කවදාවත් දෙවියන් වහන්සේට සහ ඔබට ජීවිතයේ අල්පමාත්‍රිකව හෝ සහයක් වෙන කෙනෙකුට ස්තුතිවන්ත වෙන්න කවදාවත් අමතක කරන්න එපා


