සමුගෙන යද්දි හඬා වැටුණු කෞෂි ට අනුරාධා පෞද්වාල්ගෙන් ආරාධනයක්

  • 12-02-2026
  • Views 138


ඉන්දියාව විතරක් නෙවෙයි  ලෝකයම දන්න ගායිකාවක් මට කෞෂි කියලා නම කියලා  වේදිකාවට කතා කරද්දි මට දැනුණේ පුදුම හැඟීමක්.

 එදා ඇගේ ගී රස විඳින්න බැරි වුණු ශ්‍රී ලංකාවේ රසිකාගාරය වෙනුවෙන් අප්‍රේල් 4 වැනිදා ටාජ්  සමුද්‍රා හෝටලේ හවස හතට මම නැවත ප්‍රසංගයක් පවත්වනවා. අනුරාධා පෞද්වාල් ගායිකාව සහ පී. සිරිනිවාස් ගායකයා තමයි එදිනට ඒ ප්‍රසංගයට පැමිණෙන්නේ..


ඇය  ගාව පුදුම මව්වත් ගුණයක් තියෙන්නේ. මට හිතෙන්නේ එයා සංසාරයේ කවර හෝ භවයකදී මගේ අම්මා වෙලා ඉපදිලා ඉන්න ඇති

පිරිත් නූල ගැට ගහලා පිරිත් පැන් බෝතලයක් අතට දෙද්දී  පුදුම ආදරයකින් සහ  ගෞරවයකින්  එයා  ඒක  ගත්තේ .එයා බෞද්ධ දර්ශනය ගැන හුඟක් දේවල් දන්නවා සහ විශ්වාස කරනවා. දෙවියන්ට වගේම බෞද්ධ දර්ශනයටත් එයා ආදරෙයි

එයාව ගිහින් ඇරලවන්න ගුවන් තොටුපොළට ගිහිල්ලා එයා වෙන් වෙලා යද්දි මට ඇත්තටම ඇඬුණා . මම හුඟාක් ඉන්දීය කලාවේදීන්  එක්ක වැඩ කරලා තියෙනවා. ඒත් ඇය තරම් කිසිම කෙනෙක් මගේ හිතට දැනුණෙ  නෑ

සමුගෙන යන මොහොතේ මම අඬද්දි ඇය  මට කිව්වේ කෞෂි ඔයාට දැන් බොම්බායට  එන්න හේතුවක් තියෙනවා කියලා..එයා මට කිව්වෙ ඕනෑම මොහොතක එයාගේ ගෙදර දොර මම වෙනුවෙන් ඇරලා තියනවා කියලා

ලෝකයේම ආදරය දිනාගත් පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද අනුරාධා  පෞද්වාල් යන  ගායිකාවගෙන් එතරම් ආදරයක් සහ ගෞරවයක් ලබන්නට වාසනාවන්ත වූ  ශ්‍රී ලාංකික ඇය කෞශල්‍යා වික්‍රමසිංහයි......

 සිද්ධි විනායක් සිනේ 
ආට්ස් පදනමේ සභාපතිනිය වශයෙන්  කලාව ඔස්සේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යා කරමින් එදා මෙදා තුර  ඇය කළ මෙහෙවරටත්, කරන මෙහෙවරටත් සාරවිට ස්තුතියේ මල් කළඹක් පිළිගන්වමින් අප ඇය හා කතා කළේ අනුරාධා  පෞද්වාල් ඇසුරෙහි ඇගේ සුන්දර ළෙන්ගතු සංවේදී අත්දැකීම් පිළිබඳවයි.ඉන්දියානු ජනරජ දිනය වෙනුවෙන් ලංකාවට පැමිණි අනුරාධා  පෞද්වාල් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වූ Anuradha Paudwal live in Colombo -Timeless Bollywood Memories ප්‍රසංගය වෙනුවෙන්  ආවා සොයා ආදරේ සිංහල ගීතය ගායනා කරමින් මුළු රසිකාගාරයම පිනවූ අයුරු සැබවින්ම සුන්දරම මතකයක්

කෞෂි ඔබ ඉන්දියාවට සහ ඉන්දියාවේ කලාවේදීන්ට මෙතරම්ම ආදරේ ඇයි? 

ඉන්දියාව කියන්නේ මට මගේ දෙවැනි මව්බිම. අවුරුදු විසිහයක් තිස්සේ මම පුදුම බැඳීමකින් ඉන්දියාවත් සමඟ  කටයුතු කරනවා.සිංහල භාෂාව වගේම හින්දී  භාෂාවත් මට හොඳටම ලියන්න කතා කරන්න  පුළුවන්.උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවට ගිය මම  කාලයක්ම ජීවත් වුණේ ඉන්දියාවේ.ඉන්දියාවේ විවිධ තලවල උසස් මිනිසුන් මම ඇසුරු කරලා තියෙනවා. ඒ අතරින් කලාවේදීන් විශේෂයි. ජාත්‍යන්තර තලයේ සරෝද්  වාදකයෙකු වූ මහාචාර්ය ජොයිදීප් ගෝෂ් , කවිතා සුබ්‍රමණියම් ඇතුළු ඉන්දීය ගායක ගායිකාවන් ප්‍රසංග සඳහා ලංකාවට කැටුව  ආ මම මෙවර ප්‍රසංගය සඳහා කැඳවාගෙන ආවේ අනුරාධා පෞද්වාල් කියන ගායිකාවයි. ඉන්දියාවත් එක්ක මට තියෙන්නේ ඇත්තටම සාංසාරික බැඳීමක් කියලා  මට හිතෙනවා.ඉන්දියානු සංස්කෘතියට ඔවුන්ගේ වත්පිළිවෙත්වලට, හින්දු දහමට, ඔවුන් අඳින පළඳින විදියට   මට තියෙන්නේ ලොකු බැඳීමක් සහ ආදරයක්. සිද්ධි විනායක්  සිනේ ආට්ස් පදනම සහ සහන්‍යා  පදනම ඔස්සේ මම දිගටම ඉන්දියාව සමග මේ ආකාරයෙන් කටයුතු කරනවා.

ඔබ බොම්බායට ගිහින් අනුරාධා පෞද්වාල්  ගායිකාව මුණ  ගැසුණා.එය  ලේසියෙන් කෙනකුට ලැබෙන අවස්ථාවක් නෙවෙයි.ඇය කොහොමද ඔබ පිළිගත්තේ ?

ඇය පුදුමාකාර මව්වත් ගුණ තියෙන කාන්තාවක්.ඇගේ නිවස ඇත්තටම ආශ්‍රමයක් වගේ.බලන හැම තැනකම තිබුණෙ ගන දෙවි පිළිම සහ වෙනත් දේව රූප.ඇය ඉතාම නිහඬ ඉවසිලිවන්ත සුන්දර කාන්තාවක්. ඒ වගේම ඇය අද ගත කරන්නේ නිහඬ ජීවිතයක්.චිත්‍රපට පසුබිම් ගායනය ඇතුළු දස දහස් ගණනක් මිනිසුන් අතරේ ජනප්‍රිය වූ ගී ගැයූ ඇය මට දුන්න සෙනෙහබර පිළිගැනීම කවදාවත් මට අමතක වෙන්නේ නැහැ.ඇය කොතරම් උතුම් ගුණයක් තියෙන කෙනෙක්ද කියනවනම් මගෙන් ඇහුවෙ නෑ ප්‍රසංගය සඳහා ඇයට කොයි තරම් මුදලක් ගෙවනවාද කියන 

කාරණයවත්. මුදල් කේන්ද්‍ර කරගෙන හැම දෙයක්ම සිද්ධ වෙන ලෝකයක  බහුතරයක් මිනිස්සු ජීවිතයම සල්ලි කරගත්ත ලෝකයක ඇය කොයි තරම් මානුෂීය ගතිගුණ තියෙන ඇත්තටම කලාව තුළින්ම ඉපදුනු ලස්සන හිතක් තියෙන කෙනෙක්ද කියන එක මම හරිම හැඟීම්බරව තේරුම් ගත්ත දෙයක්.

ඔබ ලංකාවෙදි  ඇයව පන්සලකට ගැටුව ගිහින් ඇයට පිරිත් නූලක් බැඳලා පිරිත් කියලා ආශිර්වාද කරන්න තරම් ඇයට හිතෛෂී  වුණා.ඒ දයාබරත්වය  කොහොමද ඇය පිළිගත්තේ ?

 

මගේ සහෝදරයා වෙච්ච සහන්‍යා  පදනමේ සභාපති පූජ්‍ය ආචාර්ය අග්‍රහාරේ  කස්සප නායක හාමුදුරුවන් වැඩ හිඳින පන්සලට මම ඇය මෙවර කැටුව ගියා. ඇයට බෞද්ධ දර්ශනය ගැන හොඳ අවබෝධයක් සහ අධ්‍යනයක් තියෙනවා ඇය බෞද්ධ දර්ශනය ගොඩාක් හදාරපු කෙනෙක් ඇය දෙවියන් වගේම බුදුන් වහන්සේත් විශ්වාස කරනවා.ඇයට පිරිත් කියලා ආශිර්වාද කරලා පිරිත් නූලක් ගැටගහලා පිරිත් පැන් බෝතලයක් පිරිනමද්දි  ඇය එය  හරිම භක්තියෙන් බාර ගත්තේ. එය ඇය  ඉන්දියාවට අරගෙන ගියා.

නෙළුම් පොකුණ රඟහලේ ප්‍රසංගය පැවැත්වෙද්දී ඇය ඔබව වේදිකාවට  කැඳෙව්වා . ඔබ ඇයගේ අත අල්ලගෙන ඒ අත ඉඹිමින් හුඟක් සංවේදීව ඇයට ඔබ තුළ වන ආදරය ප්‍රකාශ කළා.. එය  නිරායාසයෙන්ම සිද්ධ වුණ දෙයක් සහ එය හරිම හැඟීම්බර මොහොතක්.ඒ මොහොත කොහොමද ඔබට දැනෙන්නේ?

ඇත්තටම ඇය මට වේදිකාවට කතා කරද්දි මට පුදුම හැඟීම්බර ගතියක් හිතට ආවා.ඇයගේ අත හරිම උණුසුම්. ඇය  අත අල්ලපු ස්පර්ශය තුළම මට ආදරය සහ මනුෂ්‍යත්වය දැනුණා.මම  පුදුම ආදරයකින් ඒ අත අල්ලගෙන සිප ගත්තෙ. මගේ මවගේ තරුණ කාලේ පින්තූරයක් එක්ක බලද්දි මට හිතෙනවා මගේ අම්මගේ රුව ඒ රුවට ගොඩක් සමානයි කියලා.මේ සංසාරේ කවදා හෝ භවයක ඇය මගේ මව් වෙලා ඉන්න ඇති කියලා මට හිතෙන තරම් ආදරයක් ඇය කෙරෙහි මට ඉපදුනා.හඳුනාගත් මුල් තත්ත්පරේ සිටම ඇය මා වෙත දැක්වූ ප්‍රතිචාරය පුදුම විදිහට ආදරණීයයි.

ඇය හමුවූ මුල්ම මොහොතේ ඔබ කතා කළේ ඇය හා ඉංග්‍රීසි භාෂාවෙන්ද?

ඔව් එතුමිය මාත් එක්ක  පළමුව කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒත් මම ඇයත් සමඟ  හින්දී  භාෂාවෙන් කතා කරද්දි ඇය පුදුම වුණා. සතුටු වුණා. ඉන්පසේ අපි දිගටම කතා කළේ හින්දී  භාෂාවෙන්.

ඇගෙන් සමුගන්න මොහොතේදී ඔබට සමු ගැනීමේ දුක සහ සමුදීමේ දුක හදවතට දැනුණේ කොහොමද?

එදා ගුවන්තොටුපොළේදී ඇය වෙන්ව යද්දි මට පුදුමාකාර දුකක් හිතට දැනුණා. ඒ දුක කොයිතරම්ද කියනවනම් මට හොඳටම ඇඬුණා.ඇය මගේ අත අල්ලගෙන මට කිව්වා දැන් කෞෂිට  ඕනෑම මොහොතක බොම්බායට එන්න හේතුවක් තියෙනවා කියලා. ඇය මට කිව්වේ මම වෙනුවෙන් ඇයගේ නිවසේ දොර ඕනෑම මොහොතක විවෘතයිි කියන එක.ඇය තරම් මානුෂීය ගතිගුණ තියෙන ආදරණීය ඉන්දියානු චරිතයක් මට මුණගැහිලා නැති තරම්. ඇත්තටම කලාව සහ සංගීතය  තුළින් ඉපදිච්චච ශික්‍ෂණයක්, මනුෂ්‍යත්වයක් ඇගේ හදවත ඇතුළෙ  තියෙන්නේ. සැබෑ ඉන්දියානුවෙකුගේ සුන්දරත්වය මම ඇගෙන් උපරිමය අත්වින්දා.

ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සිටි මහාචාර්ය අන්කුරන් දත්තා  කියන්නේ මාධ්‍යයේ අපට වගේම ශ්‍රී ලංකාවේ බොහෝ අයට කවදාවත් හදවතින් අමතක කරන්න බැරි සුන්දර අපූරු  චරිතයක්.ලංකාවෙන් සමුගත් ඒ සොඳුරු ඉන්දියානු හිතවතා සහභාගි වූ එමෙන්ම  ඔහුගේ රාජකාරී ඉටු කළ අවසන්  උත්සවය වුණෙත්  මම දන්න විදිහට පද්මශ්‍රී අනුරාධා පෞද්වාල් ලංකාවට සපැමිණි ඔබේ ප්‍රසංගය වෙනුවෙන් ඔහුගේ පැමිණීමයි. මහාචාර්ය අන්කුරන් දත්තා කියන චරිතය  ඔබ නිර්වචනය කරන්නේ කොහොමද?

මගේ ජීවිතයේ  අන්කුරන් දත්තා සර්  තරම් අවංක නිරහංකාර සහ කලාවට ආදරය කරන හදවතක් තියෙන ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් මින් පෙර මට  හමු වී නෑ කියලා  කිව්වොත් මම  නිවැරදියි. මහාචාර්ය අන්කුන් දත්තා කියන්නේ ඒ තරමටම විරල ගණයේ  හදවතක් තියෙන අවංක සුන්දර නිරහංකාර ඉතාමත් පරිණත බුද්ධියක් තියෙන සැබෑ  මනුස්සයෙක්. ශාස්ත්‍රීය සංගීතය ගැන ඔහුට ලොකු කියවීමක් ,දැනුමක් සහ අධ්‍යනයක් තියෙනවා තියෙනවා. සමස්ත කලාව කෙරේම ඔහුට ලොකු අධ්‍යනයක් තියෙනවා.ඒ වගේම  එතුමා ජනමාධ්‍ය ආචාර ධර්ම සහ ජනමාධ්‍ය සිද්ධාන්ත ගැනත් හොඳින්ම අධ්‍යනය කළ බුද්ධිමතෙක්.ඔහු හමුවූ පළමු දවසේ සිටම මා ඉන්දියාව සමඟ කළ  බොහෝ වැඩවලදී මට පුදුම විදිහකට  ඔහු සහාය දුන්නා.සමහර තැන්වලදී මා වෙනුවෙන් නිර්දේශ ලබා දුන්නේ ඔහු.ඔහුගේ ගුණ සුවඳ කවදාවත් මට අමතක වෙන්නේ නැහැ.

අවසානයේ ඔබට කියන්න තියෙන සුභම ආරංචිය දැන් ඉතින් ඔබ කියන්න ?

අනුරාධා  පෞද්වාල්  

මැඩම්ගෙ   නෙළුම් පොකුණ රඟහලේ පැවති ප්‍රසංගය බලන්න සමහර අය ප්‍රවේශපත් මිලදී ගන්න ඉල්ලද්දි ප්‍රවේශ පත්‍ර විකිණිලා ඉවරයි.ඇයට ශ්‍රී ලාංකික රසිකයන් කොයිතරම් ආදරේ කරනවද කිව්වොත් ඒ ප්‍රසංගය නරඹන්නට නොහැකි වුණු සමහර අය ඇඬුවා.මම හිතුවා ඒ රසිකාගාරය වෙනුවෙන් අනුරාධා  පෞද්වාල් මැඩම් තව සැරයක් ලංකාවට මම කැටුව  ආ  යුතුයි කියලා.අප්‍රේල් 4 වැනිද හවස හතට ටාජ්  සමුද්‍රා හෝටලයේදී නැවත ඇයගේ ප්‍රසංගයක් පවත්වන්නේ ඒ වෙනුවෙන්.ඈ සමඟ ගී ගයන්න පී. සිරිනිවාස් කියන ගායකයත් එදිනට පැමිණෙනවා.

කලාව සහ සෞන්දර්ය තුළ යා වෙච්ච ජීවිත ගමන කොහොම සුන්දර අත්දැකීමක් විදිහටද කෞෂිට දැනෙන්නේ?

සෞන්දර්යයන්ගේ සියලු හරයන් එක් වූ තැනට තමයි චමත්කාරය කියලා කියන්නේ. සෞන්දර්යයෙන් කලාවෙන් හිස් වෙච්ච තැන මට හිතෙන්නෙ ජීවිතයේ වගේම ලෝකයේම ගොඩක් හිස්තැන් පවතිනවා .. යථාර්ථය සහ රස වින්දනය එකම මඟක එකට දකින්න පුළුවන් විදිහට පාර පෙන්නන යමක්  ලෝකයේ  තියෙනවා නම් ඒ කලාව කියලයි මම විශ්වාස කරන්නේ