සම්මාන වැස්සකින් නෑව රිවස්ටන්ට සම්මානයක් !

රිවස්ටන් චිත්‍රපටය මේ වෙද්දි ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලද එසේම
බොහෝ කලකට පසු එවන් සම්මාන රැසක් ලංකාවට රැගෙන ආව චිත්‍රපටයක්.එහි තිර රචනය සහ අධ්‍යක්ෂණය ලලිත් රත්නායක.
ජැකී චෑන් හොඳම නළුවාට නිර්දේශ වෙද්දී, ප්‍රභාත් රෝෂන් හොඳම කැමරාකරණය සඳහා නිර්දේශ ලබයි........මේ සම්මාන වැස්ස තාම ඉවර නෑ.....මේ ප්‍රවෘත්තිය අපට කියන්නෙ එහෙම කතාවක්.
ඇත්තටම ප්‍රභාත් රෝෂන් සමත් වෙන්නේ 19 වෙනිදා සිට 22 වෙනිදා දක්වා මැකාවෝ රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කලා සිනමා උළෙලේ (ASIAN ART FILM FESTIVAL) ප්‍රධාන තරගකාරී අංශය යටතේ "හොඳම කැමරාකරණය උදෙසා වූ ස්වර්ණ පෙට්‍රල් සම්මානය" (GOLDEN PETREL AWARD FOR BEST CINEMATOGRAPHY) සඳහා නිර්දේශ ලැබීමට යි.
නිර්දේශයට හේතුව
රිවස්ටන් කැමරා අධ්‍යක්ෂණයයි.
"ෂැංහයි, ලන්ඩන්, ටෝකියෝ, සිඩ්නි, මෙල්බර්න්, ඉන්දියානු ගෝවා ආදි ලොව ප්‍රමුඛතම සිනමා උළෙලවල් ඇතුළුව විවිධ තලයේ ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළ ආසියානු චිත්‍රපට 08 ක කැමරාශිල්පීන් 09 දෙනෙකු "හොඳම කැමරාකරණය" වෙනුවෙන් නිර්දේශනාම ලැබීමට සමත්ව තිබෙන අතර, ඒ අතුරින් ශිල්පීන් හය දෙනෙකුම ආසියාවේ විශාලතම සිනමා කර්මාන්තයකට හිමිකම් කියන චීන නිෂ්පාදිත වෙනුවෙන් නිර්දේශ ලැබ තිබීම විශේෂත්වයකි. ඒ අනුව රුපියල් කෝටි 2640 ක අති දැවැන්ත නිෂ්පාදන පිරිවැයකින් තැනූ 'ඩොන්ජි රෙස්කියු' (DONGJI RESCUE) යන චීන සිනමාපටය ඇතුළුව ඉතා ඉහළ නිෂ්පාදන පිරිවැයවලින් හා තාක්ෂණික මෙවලම් උපයෝගිකොට ගෙන තැනූ චීන, ඉරාන හා ඕස්ට්‍රේලියානු චිත්‍රපට 07 ක කැමරාශිල්පය සමග රුපියල් කෝටි 2.5 කට ආසන්න ඉතාම අඩු නිෂ්පාදන පිරිවැයකින් තැනු 'රිවර්ස්ටන්'හී කැමරාශිල්පය එකම සම්මානයක් වෙනුවෙන් නිර්දේශ ලැබීම, ශ්‍රී ලාංකේය ශිල්පීය විශිෂ්ටත්වය මොනවට කියාපායි. "
ප්‍රභාත් ගේ නිර්දේශ වීම ගැන වාර්තා වී තිබුණේ එහෙමයි.
මේ ගැන මාධ්‍ය තව දුරටත් මෙහෙම වාර්තා කරනවා.
" 2024-2025 කාලවකවානුව තුළ අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරමින් ජාත්‍යන්තර අවධානය දිනූ ආසියානු කලාපීය සුවිශිෂ්ට සිනමා නිර්මාණ වෙනුවෙන් පිරිනැමෙන "ස්වර්ණ පෙට්‍රල් සම්මානය" සඳහා කැමරා ශිල්පීන් 09 දෙනෙකු නිර්දේශ ලබද්දී, උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය යටතේ "හොඳම නළුවා සම්මානය" සඳහා රංගන ශිල්පීන් 11 දෙනෙකුහට නිර්දේශනාම හිමිව ඇත. ඒ අතරට ලෝ ප්‍රකට සිනමා නළු ජැකී චෑන් "අන්එක්ස්පෙක්ටඩ් ෆැමිලි" (UNEXPECTED FAMILY) චිත්‍රපටය වෙනුවෙන්ද, සුප්‍රකට චීන සිනමා රංගන හා ගායන ශිල්පී ෂාන් ෂියෝ "ගෙෂී ටවුන්" (GEZHI TOWN) චිත්‍රපටය වෙනුවෙන්ද, මලයාලම් සිනමාවේ සුපිරි නළු ප්‍රිත්විරාජ් සුකුමාරන් "ද ගෝට් ලයිෆ්" (THE GOAT LIFE) චිත්‍රපටය වෙනුවෙන්ද නිර්දේශනාම ලබමින් ඇතුළත්ව ඇත.
සම්මාන උදෙසා වූ අති ප්‍රබල තරගකාරීත්වය හේතුකොටගෙන මෙවර උළෙලේ ප්‍රධාන තරගකාරී ජූරිය ජගත් තලයේ වූ සිනමා ප්‍රවීනයන් 07 දෙනෙකුගෙන් යුක්ත වේ. එහිදී ජූරි සභාපතිත්වය සිව්වරක් ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ ලබමින්, එයින් අවස්ථා ද්විත්වයකදී ඔස්කාර් සම්මාන දිනූ සහ ලෝ ප්‍රකට එමී හා සීසර් සම්මානලාභී චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක මැල්කම් ක්ලාර්ක් විසින් හොබවනු ලැබේ.
ආසියානු සිනමා කලා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සත්වය මැයි 21 වෙනිදා රාත්‍රියේ පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සහභාගී වීම සඳහා කැමරා අධ්‍යක්ෂක ප්‍රභාත් රෝෂන් 19 වෙනිදා මැකාවෝ රාජ්‍යය බලා පිටත්වීමට නියමිතය.
ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ එක්ව නිෂ්පාදනය කළ සහ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ "රිවර්ස්ටන්" චිත්‍රපටය ආසියානු කලා සිනමා උළෙලට ඉදිරිපත්කිරීම හා සම්බන්ධීකරණය යූ.එල්.කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත කහඳවආරච්චිගෙනි. "
ලාංකික සිනමාමය නාමය ඉහළින්ම ඔසවා තැබූ රිවස්ටන් වෙනුවෙන් සාරවිට සුබ පැතුම්
