හිත් නිවූ ..ගී ලියූ .අපේ හාමුදුරුවනේ දැන් ඉතින් සමුගන්න
ඉතින් ඒ සඳ නික්ම ගිය සේක.ගී අහසට පාළුවක් දැනෙයි.දැනෙන දනවන පාළුවක් දැනෙයි.

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ ගී ලියන්නේ කවුරුන්ද ආයෙත් ඉතින්.....
අපේ හාමුදුරුවනේ .....
තවත් ගී ලියන්න තවත් හුස්ම ගන්න තිබුණා.....
ළා දළු බෝපත් සෙමෙන් සැලෙන හැම ඇසිල්ලකම නල මුදු සුවඳක දැවටී වෙලී ඔබේ සුවඳ පාවී එනු දැනේ...
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී.........
නික්ම ගිය ආලවන්තයන් කී දෙනෙක් වෙනුවෙන් ආලවන්තියන් කොච්චරක් නම් වතාවක් ඒ ගී පද ගයන්න ඇත්ද ?
අපේ හාමුදුරුවනේ 1950 මැයි 22 වැනිදා සයිමන් සහ සොබනා හාමි තාත්තා අම්මා කරපු දවසෙ ආනන්ද ලියනගේ නමින් නම් ලද දරු පැටියා රටක් හඳුන්න මහා යතිවරයාණෝ කෙනෙකු වේයැයි සමහරවිට හිතන්නත් නැතුව ඇති.....
සියක් දහසක් හදවත් ප්‍රකම්පනයෙන් කළඹාලන සුභාවිත සුභාෂිත සුලාලිත ගී පද ලියන ගී පද රචකයෙක් වේයැයි නොහිතන්නත් ඇති.......
දෙණියාය රඹුකන කියන්නේ හරි පුංචි ගම්මානයක් .....
එහෙම හිතන්න ඒ අම්මා තාත්තා ට ඉස්පාසුවක් තියෙන්න නැතුව ඇති.....
මෝරණ තල මල සේම සාර සුබාවට දළුලන ගහ කොළ අතරෙහි සැරිසැරෑ පැටිවියෙහි මතක මහ කන්දරාවත් තුරුළු කරගෙන මේ අසීමාන්තික සංසාර ගිරිදුර්ගයේ ඉමක් කොණක් නැති භව චාරිකාවේ එක් නවාතැනක් උදෙසා ඉතින් ඔබවහන්සේ සිවුරු දෙවුර දරන්න ඇති............
මතකයි අපේ හාමුදුරුවනේ .....
සඳකඩ පහණ චිත්‍රපටය වෙනුවෙන් ලියූ පෙර සංසාරෙ ගීතය සරසවි සම්මානයෙන් පිදුම් ලබද්දී ආලෝකෝ උදපාදී සිනමා කාව්‍ය වෙනුවෙන් ලියූ සැඩ පහරක් සේ එකමුතු වූ දා ගීය දෙරණ සිනමා සම්මානයෙන් පිදුම් ලැබුවා.
1987 වසරේදී සංසාරෙ අපි කැසට් පටය නිකුත් සමාරම්භය සළකුණු කළ ගමනක මඟ දිග ගම්මානේ අපි ,සමනල කන්ද ,සංසාරෙ ගී ,යාතිකා,බුදු අමා වැස්ස හා සංසාර චාරිකා යන කැසට් පට සහ සංයුක්ත තැටිත් සසර දනව්ව වැනි සම්මානනීය ගී පද සංග්‍රහත් රැඳී තියෙනවා .
ගුණදාස කපුගේ සංගීතවත් කර ගැයු පිහිටක් නැති සහ සද්ධර්ම මකරන්ද
වික්ටර් රත්නායක සංගීතවත් කර ගැයූ බුදු හාමුදුරුවෝ අපිත් දකින් නැති,කඳුළු පැන් කෙණ්ඩියේ ,කාසිවලට
එච්.එම් ජයවර්ධන සංගීතවත් කර මාලනී බුලත්සිංහල ගැයූ හිමි සනරාමර ,සෙනහස පුදා ,බුදු බණ ඇසුවා ගි ,ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කර මාලනී ගැයූ පිපෙනා මලකට ගීතය , එච්.එම් .ජයවර්ධන සංගීතවත් කර එඩ්වඩ් ජයකොඩි ගැයූ මේ ඉර හඳ යට හමුවී, මේ ප්‍රේම කතා නවතා මොහොතක්, බණ කියන රටක් වැනි ගී බොහෝමයක් ලාංකික ගී යායට තිළිණ කළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගී වේදයෙන් මා වඩාත් ආල ලීල පාන්නේ
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යශෝධරා දේවි
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරෙ ඇසුර මතක් වී ගීයටයි.
මාව ගායිකාවක් කළේ උන්වහන්සේ .ඒ පන්සලේ පල්ලියේ ගීතය මට ලියලා දීලා .ඒත් කවදාවත් උන් වහන්සේ ලියපු ගීතයකට සල්ලි ගත්තෙ.පුදුමාකාර සුන්දර හදවතක් තිබුණ කෙනෙක් උන්වහන්සේ ......
චරිතා ප්‍රියදර්ශනී ගායිකාව ඒ හිමි ගුණ සුවඳ සිහිපත් කරන්නේ එලෙසය.
අපේ හාමුදුරුවනේ අප එන්නේ යන්නටය.
එහෙයින් ආවොතින් නොගොසින් ම බැරිය.ඒ කවදා කෙළෙස කොතැනකදීදැයි දන්නේ අපි කවුරුන්ද.......
ඉතින් කිසිවෙකුට අවසඟව යා නොහැකි නියත දහම අස හදවතේ හුස්ම කවදා හෝ අත් හල යුතුමය.
නිවන් දකින තුරු මේ සංසාරෙ කොහේ කොතැනක හෝ ඉඳින් යළිඳු අප මුණගැසෙනු ඇත.
ඉතින් මෙතෙකින් සමුගනිමු.
පිපී නිවන් මල්
සාධුකාර දී
නිවී පහන් විය
උදෑසනක් සේ........
