අදටත් හැමෝම අහනවා මම මුස්ලිම්ද කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210325ishanka-5

යසස් මැදගෙදර ගායනා කරන චන්ද්‍රපාණී ගීතයේ රූප රචනාවට දායක වන්නේ ඉෂංකා අබේසේකර. චන්ද්‍රපාණී ගීතයෙන් ඉෂංකා ඉතා ජනප්‍රිය වූවා. ඒත් සමගම ඇයව තවත් රූප රචනා කිහිපයකින්ම දැකගන්නට ලැබුණා. ඉතින් මෙවර සාරවිට කතාබහට ඉෂංකාව එකතු කරගන්නට අප සිතුවා.

ඉෂංකා, මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල බාර ගත්තු වැඩ කිහිපයක් තිබෙනවා. ඒවාට දායක වෙන්න කාලය වෙන් කරගෙන ඉන්නවා. පසුගිය දවස්වල කොරොනා කාලයේදී ගොඩක් වැඩ කල් ගියානේ. දැන් ආයෙත් හෙමීට වැඩ පටන් අරගත්තා.

ළඟදී දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?

උමාරියා සිංහවංශ ගායනා කරන මේජර් කමල් ගුණරත්න සර් විසින් පදරචනය කළ 'යුධ ගිණි දුමාරය' ගීතයට සම්බන්ධ වුණා. ඒ ගීතයේ රූප රචනය කළේ වාසව බදුගේ මහතා. එතකොට ටිරාන් යාපා ගායනා කරන 'මග හැරුණු පෙම්වතී', සන්දීප් ළමාසූරිය ගායනා කරන මනුරංග විජේසූරිය පදරචනා කල 'සීමා මායිම්', හර්ශදේව ආරියරත්නගේ 'සැමරුම් සේනා' ගීතයට දායක වුණා. ඒක ළඟදීම ප්‍රේක්ෂකයන් අතරට එයි. ඒ වගේම තව නිර්මාණ කිහිපයක වැඩ මේ දිනවල සිදුවෙනවා. ඒවත් බලන්න පුලුවන් ඉදිරියේදි.

20210325ishanka-4

ඔබ Photoshootවලටත් දායක වනවා. ඒ ගැන කිව්වොත්?

මම Photoshoots කරන්නේ 2015 ඉඳලා වගේ. ඒ වගේම අදටත් මම Bridal shoots භාර ගන්නවා. Casual shoots තොරගද්දි මම ඇදුම් සහ concept එක ගැන ගොඩක් හිතනවා. ඒ වගේම Photographer සහ payment එක ගැනත් හිතනවා. Pizza social media commercial, එතකෙට 2017 new year DSI Commercial එක කළා. ඒ වගේම මම රූපවාහිනි නාලිකා කිහිපයකම උදෑසහ වැඩසටහන්වල bridal model විදිහට පෙනී හිටියා. 2019 Sri Lankan Air Line එකෙන් කරපු ලොකු වැඩකට මට ආරාධනා ලැබුනා එහිදී මම හිටියෙ jacqlin fernandoගේ යාළුවාගේ චරිතයට. තව පෞද්ගලික විශ්වවිද්‍යාලයක වැඩ කිහිපයකුත් කළා.

ඔබ ආ ගමන ගැන කියමුද?

මගේ පලවෙනි Photoshoot එක කළේ මම පාසල් යන කාලේදියි. එතකොට මට වයස අවුරුදු 16යි. O/L ඉවර වෙලා මම ගෙදර ඉද්දි මාතලේ salon එකකින් ආපු ඉල්ලීමක් ඒක. ඒ දවස්වලම මාතලේ තිබුණ Bridal shoot exhibition එකකින් මම ප්‍රථම ස්ථානයත් ලබාගන්නවා. ඒ කාලේදීම මට SL Government Hospital එකේ Health Department එකෙන් කරපු PhotoShootඑකකට ආරාධනා ලැබුණා. ඒයාලා මගේ ගෙදරම තමයි ඒ photoshoot එක කළෙත්. ඒකට හේතුව මගේ තාත්තා හරිම සැර කෙනෙක්. තාත්තා කැමති වුනේ නැහැ මගේ photos ගන්න මාව ගෙදරින් එළියේ locationවලට යවන්න.

 

 

එතකොට ක්ෂේත්‍රයට එකතුවීම අහම්බයක්ද?

ඔව්. මේක අහම්බයක්. මම මේ ක්ෂේත්‍රයට එන්න හීන මැව්වෙ නැහැ. මොකද මං හැදුන පවුල් පසුබිම හරිම වෙනස්. මගේ තාත්තා හරිම සැර කෙනෙක්. ඉතින් මම හැබෑ නොවන හීන බලලා මමම දුක් වෙන්නේ මොකටද කියන මතයේ හිටියේ. ඒ නිසා වෙන්න ඇති මම අදටත් කැමතියි ව්‍යාපාරිකාවක් කෙනෙක් වෙන්න. නමුත් හිතේ හැංගිලා තිබ්බ හීනෙ දෛවය විසින් හැබෑවුන විදිහ අදටත් මට හිතාගන්න බෑ.

චන්ද්‍රපාණී කියන්නේ මගෙ ජීවිතේ වෙනස් කරපු නිර්මාණයක්. ඒ චරිතය මම මට ආවේණික වූ රංගන හැකියාවකින් මම ඉදිරිපත් කළා. ඒ නිර්මාණය බලද්දි මටම හිතෙනවා මේක South Indian song එකක් වගේ කියලා. ඒක ඒ නිර්මාණයට ලැබුණ ප්‍රතිචාර වලත් තිබුණා. හැමෝම අදටත් අහනවා මම මුස්ලිම්ද නැත්නම් ඉන්දියාවු සම්භවයක් තියෙනවාද කියලා. නැහැ, මම සහ මගේ පවුලේ හැමෝම සිංහල බෞද්ධ.

ඉෂංකා ව්‍යාපාරිකාවක්. කොහොමද මේ දවස්වල ව්‍යාපාර කටයුතු?

ඔව්. ISHskin Glowing beauty products නමින් අපි මෙරටට ආනයනය කරන original beauty cream එකක් කරනවා. ඒක තමා ප්‍රධානම ව්‍යාපාරය මගේ. ඊට අමතරව GiSH Saree House සහ LI luxury Clothing Boutique නමින් සාරි සහ ඇඳුම් අලෙවි කරන ඔන්ලයින් පේජ් දෙකක් තිබෙනවා.  

20210325ishanka-1

ඔබ ආයුර්වේදය පිළිබඳවත් හදාරනවා නේද?

ඔව්. මේ අවුරුද්ද මගේ අවසන් අවුරුද්ද. සම පිළිබද තමයි මම වැඩිදුර අධ්‍යාපනය කරන්නේ.

පෞද්ගලික ජීවිතේ විස්තර කිව්වොත්?

මම ගොඩක්ම ආදරේ මගේ ආච්චි අම්මාට. මම එයාට අම්මා කියලා තමයි කතා කරන්නෙත්. ආච්චි අම්මායි, අම්මායි, මල්ලියි තමා දැනට මගෙ පවුලේ ඉන්නේ. තාත්තා වගේ හැම වෙලේම දැන් බලන්නේ මගේ ලොකුමාමා. මට ලොකු පවුලක් ඉන්නවා. තාත්තිගේ පැත්තේ සමහර නෑදෑයෝ මේ ක්ෂේත්‍රයටත් සම්බන්ධයි.

ඉෂංකා ආදරය ගැන හිතන්නේ කොහොමද?

මම ගොඩක් විශ්වාස කරනවා බෞද්ධ දර්ශනය. ඒ අනුව සංසාර පුරුද්දට අපි ආදරේ කරනවා. ආදරය ආත්මගත බැඳිමක් කියන්නේ ඒකයි. ආදරේ කියන්නේ සසර ගණුදෙනුවක්.

ඔබ විරහව විඳලා තිබෙනවාද?

ඔව්.

ඔබ දැන් පෙම්වතියක්ද?

නැහැ. ආදර සම්බන්ධයක් කියන්නේ බැඳීමක්. ඒ බැඳීම පටන් ගන්න තව කල් යයි. දැන්ම ඒ ගැන හිතන්නේ නැහැ.  

ඉෂංකාව පුංචි තිරයේ හෝ සිනමාවේ දකින්න අසා නැද්ද?

බලමු නේද. ආරාධනා නම් ලැබුනේ චන්ද්‍රපාණී ගීතය එළිදක්වපු දවසේ ඉඳලා. ඒත් ඒ ගැන ටිකක් තාමත් හිතනවා. හොද නිර්මාණයකට දායක වෙන්න ආසයි. ඒ නිසා කාලයත් එක්ක බලමු.

ඔබ නිර්මාණයක් භාර ගනිද්දි සැලකිලිමත් වෙන්නේ මොනවාද?

මම තිර පිටපත තමයි විශේෂයෙන්ම බලන්නේ. ඒ චරිතයට මාව ගැලපෙනවාද, මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා බලනවා. ඒ වගේම මොන වගේ ඇදුම්ද මට අඳින්න වෙන්නේ කියලා බලනවා. මම ඒ ගැන ගොඩක් සැලකිලිමත්. ඒ වගේම අනිත් සහය චරිත වලට සහභාගි වන්නේ කවුද සහ ඒ නිර්මාණය කරන පිරිස ගැනත් බලනවා.

කලාවේදී ඔබට ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවාද?

ඔව්. මගේ උස ඇතැම් අධ්‍යක්ෂවරුන් ප්‍රශ්නයක්. මේ ළඟදීත් උස ප්‍රශ්නයක් නිසා මට චරිතයක් නැති වුණා. මම දන්න විදිහට Heels තියෙන්නේ උස සම්බන්ධ ප්‍රශ්ණ පැන නැගෙන අයටයි. මාත් එක්ක මේ වෙනකල් රගපාපු ගොඩක් අය උස මහත අය. ඒ රූප රචනාවලට මගේ උස සම්බන්ධයක් ඇවිත් නැහැ. ඒ නිසා එක චරිතයක් නැති වුණා කියලා මට දුකක් නැහැ. උස ප්‍රශ්ණයක් වෙනවා නම් කලාවට ගාමිණී ෆෝන්සේකා මහත්මයා, මහේන්ද්‍ර පෙරේරා වගේ නළුවෝ බිහිවෙන්නේ නැහැ.

ඉෂංකා බොහෝවිට වැඩ කරන්නේ එකම කණ්ඩායමක් සමගමද?

කලාවට සම්බන්ධ වීමේදී එකම පිරිසක් සමග වැඩ කරනවා කියලා කියන්න බැහැ. වාසව බදුගේ අයියාගේ නිර්මාණ හතරකට සම්බන්ධ වුණා. එතකොට මිතුන් පෙරේරා, යෙනුෂ්ක දිසානායක, චමිල් පතිරණ, ලයාල් එදිරිසිංහ, අයේශ් අබේසේකර, පසන් ලියනගේ වැනි අයත් එක්කත් මම වැඩ කරලා තියෙනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මම රංගනයෙන් දායක වුණු ගීත තුනක් එන්න තියෙනවා. ඒ වගේම අනෙක් වැඩ කටයුතුත් සුපුරුදු විදිහට කරනවා.

සාකච්ඡා - කැළුම් දේවින්ද  

20210325ishanka-6
20210325ishanka-2 20210325ishanka-3