අම්මා නැති මට ඒ ආදරය දෙන්න කෙනෙක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංජානා කලාවට සම්බන්ධ වෙන්නේ දකුණු පළාතෙන්. අපි ඒ ආ ගමන ගැන මුලින්ම මතක් කරමුද? කවුද සංජානාගේ තව පවුලේ ඉන්නේ?

ඔව්.... මගේ ගම මාතර. මගේ පවුලේ මට තව එක නංගි කෙනෙක් ඉන්නවා. මම තමයි පවුලේ වැඩිමහල් දරුවා. මාතර අපේ ගෙදර හිටියේ මමයි, නංගියි, අම්මයි, තාත්තයි විතරයි. ඒත් අපි බලාපොරොත්තු නොවුණ විදිහට හරි ඉක්මනට මගේ අම්මා මීට මාස හයකට උඩදී අපි තුන්දෙනාව තනිකරලා ඇස් පියාගත්තා. අදටත් අම්මාගේ ජීවිතය නතරවීම මටත්, නංගිටත් දරාගන්න බැරිම දුකක්. අම්මායි, තාත්තායි දෙන්නම වැඩ කළේ ගුවන් හමුදාවෙයි.

සංජානා ඉගෙන ගත්තේ...?

මම ඉගෙන ගත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ. පාසැලේදී මම ඒතරම් දඟකාර සෙල්ලමට ළැදි චරිතයක් නෙමෙයි. කිසිම බාහිර ක්‍රියාකාරකමක් කරපු කෙනෙක් නෙමෙයි. අම්මයි, තාත්තයි ගුවන් හමුදාවේ වීම නිසාම නංගියි හැදුණු පොඩි නීති රීති පද්ධතියකට යටත්වයි. ඒ නිසාම බාහිර ක්‍රියාකරකමකට යොමුවෙන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. එහෙම යොමුවෙන්න මම උත්සාහ කළෙත් නැහැ. අධ්‍යාපනයට වුණත් මම ලොකුවට දක්ෂ ළමයෙක් වුණේ නැහැ. නමුත් පාසැල් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි හොඳ ප්‍රතිඵල ලබා ගනිමින් කරගෙන ගියා. 

ගෙදර තිබුණු පොඩි නීති රීතිත් එක්ක නැගණියන් එන්න ගෙවුණු ළමා කාලය ආයේ මතක් කරමුද.....?

මාතර නගරයේ ඉඳන් කිලෝමීටර් හයක් වගේ දුරින් තමයි අපේ ගේ පිහිටලා තිබුණේ. ඒ නිසා මාතර නගරයට අපේ ගේ ගොඩක් කිට්ටුයි. ඒ නිසා අපේ ගමේ ලොකුවට ග්‍රාමීය බවක් තිබුණේ නැහැ. මායි නංගියි අතරේ වයස පරතරය අවුරුදු අටක් වෙනවා. ඒ නිසා නංගි ඉපදෙන්න කලින් මගේ ළමා කාලය ගෙවුණේ තනියමයි. ඒ කාලේදී මම තනියම තමයි සෙල්ලම් කරලා තිබුණේ. හැබැයි නංගි ඉපදුණාට පස්සේ මම තමයි එයාගේ ලොක්කා. අදටත් නංගියි මායි හරි එකතුයි. 

පුංචි කාලේ සංජානා හීන දැක්කේ කවුරු වෙන්නද...?

ඇත්තම කියන්නද...? මට තේරෙන වයසෙ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනය තමයි මම කොහොමහරි කවදාහරි නිළියක් වෙනවා කියන එක. සමහර දවස්වල මම ඒ මගේ හීනය ගැන කියද්දී සමහරු හිනාවුණා. කිසිම බාහිර වැඩක් කරන්න ගෙදරින් මට අවසර නොලැබිලා තියෙද්දී නිළියක් වෙන එක ඇත්තටම හැබෑ වෙන්නේම නැති හීනයන් කියලා මටත් හිතුණා. ඒත්... මං කාලයක් තිස්සේම නිළියක් වෙන්න ආසා කළා. සමහර යාළුවෝ මට හිනාවුණා... කණ්ණාඩිය ඉස්සරහට වෙලා තනියම කතා කියමින් රඟපෑවා. පාසැල් වේදිකාවක රඟ නොපාපු මම ගෙදර මගේ කාමරයට වෙලා ඇතිතරම් රඟපාලා තියෙනවා. ඉස්සර රෑපවාහිනියේ රඟපාන නළු නිළියන්ට මම හරි ආදරෙයි. ඒ අය සුවිශේෂී චරිත විදිහට තමයි මම දැක්කේ. ඒ නිසා කවදා හරි මටත් මේ විදියට රඟපාන්න ඕනේ කියන අදහස කාලයක ඉඳන් මගේ හිතේ පැලපැදියම් වුණා. මම බොහෝ නිළියන්ට, නළුවන්ට ආසා කළා. සංජානා ගමආරච්චි කියන මට මුළු රටම දන්න කෙනෙක් වෙන්න ඕන වුණා.

ගෙදර තිබුණු නීතිරීති වටපිටාවත් එක්ක ඔයා දැකපු ඒ හීනයට ළඟාවෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද..? 

2018 අවුරුද්දේ එක්තරා නාළිකාවක අවුරුදු කුමාරි තරගයක් පැවැත්වුණා. ඉතින් මට ඒ අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙන්න ඕනම වුණා. හැබැයි. මගේ අම්මාවත්, තාත්තාවත් ඒකට යන්න මුලදී මම ඉඩදුන්නේ නැහැ. ඒ අය තදින්ම ඒකට විරුද්ධ වුණා. හැබැයි මට මගේ හීනයට ළංවෙන්න හොඳම අවස්ථාව මේ අවස්ථාව බව මට දැනගෙන හිටියා. අන්තිමේදී ගෙදරින් මට ඒකට යන්න අවසරය ලබලා දුන්නා. හැබැයි ඒ හැම ගමනකටම අම්මා මාත් එක්ක යන්න ආවා. තාත්තා මට අවසරය දුන්නේ අම්මා එක්ක යනවා නම් විතරමයි. 2018 ඒ අවුරුදු කුමාරි තරගයෙන් මම අවසන් දොළොස්දෙනා අතරට පමණක් තේරුණා.

අවුරුදු කුමාරි තරගයෙන් ඉවත් වෙන්න සිදුවෙද්දි සංජානාගේ ඊළඟ බලාපොරොත්තුව වුණේ මොකක්ද..?

ගෙදරින් බොහෝම අමාරුවෙන් අවසරය ලබාගෙන බොහෝ බලාපොරොත්තු තියාගෙන ඒ අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වුණත් මම හිතුව තරම් ජයග්‍රහණයක් මට ලබාගන්න පුළුවන් වුණේ නැහැ. ඇත්තටම ඒ ප්‍රතිඵලය ලැබෙද්දී මම පුදුම විදිහට දුක්වුණා. අවුරුදු කුමරිය නොතේරුණත් ලැබුණ තැනට වඩා තැනක් ලැබේවි කියලා මම විශ්වාස කළා. කොහොමහරි ලැබුණ ප්‍රතිඵලය බාරගෙන මම අම්මත් එක්ක ගෙදර ගියා. ඊට අවුරුද්දකට පස්සේ 2019 අවුරුද්දේ ආයෙත් මම අවුරුදු කුමරි තරගයකට ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් තුන්වෙනි ස්ථානය ලබාගත්තා. ඒක මගේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් වුණා.

ඒ කියන්නේ සංජානාගේ ළමා කලයේ තිබුණු හීනයට පාර පෙන්නුවේ අවුරුදු කුමාරියයි....?

ඔව්.... හරියටම හරි. ඒ ජයග්‍රහණයෙන් පස්සෙ මට වෙළඳ දැන්වීම්, ඡායාරෑප ගැනීම් වගේම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ  අවුරුදු කුමාරි තරගය තමයි මට මේ ගමන එන්නට මුලින්ම අවස්ථාව ලබලා දුන්නේ. ජීවිතය ඇති තුරා^ කියන ටෙලිනාට්‍යය තමයි මම රඟපෑ මුල්ම ටෙලිනාට්‍යය වුණේ. ඒ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් තමයි මම රංගනයට එකතු වුණේ. ජීවිතය ඇති තුරා ටෙලිනාට්‍යය  මහේෂ් රත්සර මද්දුමආරච්චි තිරරචනා කරපු ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කරපු අපූරු නිර්මාණයක්. කිසිම අත්දැකීමත් නොලබපු මට ශ්‍රියන්න මොන්ඩිස්, ගයාත්‍රි ඩයස්, ගිරිරාජ් කෞෂල්‍ය, චානුක පුබුද්ධ වැනි ප්‍රවීණ සහ අත්දැකීම් ඇති කලාකරුවන් කලාකාරියන් එක්ක වැඩකරන්න අවස්ථාව ලැබුණා. රංගනය පිළිබඳ කිසිම අත්දැකීමත් නැති මට ඔවුන් පුදුමාකර සහයෝගයක් ලබා දුන්නා. මම නොදන්නා බොහෝ දේවල් මට කියලා දුන්නේ ඒ අයයි. 

මුලදී සංජානාගේ තාත්තා සංජාන කලාවට සම්බන්ධ වෙනවට කැමති වුණේ නැහැනේ.  සංජානා රංගනයට සම්බන්ධ වුණාට පසුව තාත්තාගෙන් ලැබුණ ප්‍රතිචාරය කොහොමද...?

රංගනයට සම්බන්ධ වුණත් තාත්තාගේ නීතිරීති නතර වුණේ නැහැ. මුල්කාලේදී මම හැම වැඩකටම, හැම ෂුටීං එහෙකටම ගියේ අම්මා එක්කයි. ඔය අතරේ මම රඟපාපු ටෙලිනාට්‍ය දැකලා තාත්තාගේ යාළුවන් තාත්තාට කතා කරලා මගේ රංගනයන් ගැන හොඳ කියලා තිබුණා. තාත්තා මම රඟපාපු නාට්‍යය බලලා තිබුණා. හැබැයි මට ඒ ගැන ඇඟවූවේ නැහැ. අම්මා තාත්තාට ඒ ගැන කියලත් තිබුණා. කොහොමහරි ටිකින් ටික මගේ තාත්තාගෙනුත් මගේ කලා කටයුතුවලට හොඳ ප්‍රතිචාර ලැබුණා. 

සංජානාට මේ වනවිට ලැබෙන රසික ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ..?

දැන් ලැබෙන ප්‍රතිචාර හොඳයි. එන්න එන්නම වැඩ වැඩිවුණා. මේ දවස්වල මම රඟපාන ටෙලිනාට්‍ය තුනක් විකාශනය වෙනවා. Bro/ අග්නි පියාපත්/ මුතුලෙන්දොර යන ටෙලිනාට්‍යවල මම රඟපානවා. මීට අමතරව තාම විකාශනය නොවුණ ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

නිළියන් වීමට අමතරව සංජානා හැබෑ කරගන්න හීන තියෙනවාද..?

මට ඕනවුණේ කුමක් හෝ තරගයකට ඉදිරිපත් වෙලා ඒකෙන් ජයග්‍රහණයක් ලබාගෙන කිරුලක් හිමිකරගන්නයි. මට කලාවට එකතුවෙද්දී අපි දන්න කියන කෙනෙක් මුලදී මේ ක්ෂේත්‍රයේ හිටියේ නැහැ. ඒ නිසා තරගයකට ඉදිරිපත්වෙලා ජයග්‍රහණය ලබලා කලාවට පිවිසීම හොඳයි කියලා මම විශ්වාය කළා. ඒ කිරුළ අවුරුදු කුමරි තරගයෙන් මට හිමිවුණා. මම රඟපාපු මුල්ම නාට්‍යයේ මට ප්‍රධාන චරිතය ලැබුණා. මම හිතන්නේ ඒ මම හැබෑ කරගත්තු හීනයි.

ජීවිතේ අතහැරුණ, බලාපොරොත්තු බිඳවැටුණ ලොකුම දේ මොකක්ද...?

ඒ මගේ අම්මාගේ ආදරයයි. මගේ ජීවිතේ හැමදේකටම මම මගේ අම්මාව බලාපොරොත්තු වුණා. අද අම්මා මගේ ළඟ නැහැ. අනේ මට මගේ  අම්මා ළඟ හිටියා නම් කියලා අදටත් හැම මොහොතකම හිතෙනවා. අම්මා ළඟ නැති අඩුව මට තදින්ම දැනෙනවා. ඒ අඩුව කවදාවත් මගෙන් යන එකක් නැහැ. ඉස්සර වැඩක් එක්ක අම්මයි, මායි කොළඹ නතරවුණා. අම්මා හැම මොහොතකම මාත් එක්ක හිටියා. ටික කාලයක් ගියාට පස්සේ අපි කට්ටියම කොළඹ ගෙයක් ගත්තා. දැන් අපි කට්ටියම පදිංචිවෙලා ඉන්නේ ඒ ගෙදර. 

ප්‍රවීණ කලාකරුවන් කලාකාරියන් කලාවත් එක්ක බොහෝ මහන්සියක් වුණා. නමුත් වර්තමානයේදී ඇතැම් නවක නළු නිළියන් එක ටෙලිනාට්‍යයකින්, දෙකකින් සුපිරි ගෙයක් ගන්න, වාහනයන් ගන්න, අඩුම ගාණේ මහන්සියක් නොලබාම ඉතා සුඛෝපභෝගී ජීවිතයත් ගත කරන්න උත්සාහ ගන්නවා. සංජානා මේ කලාව තුළ මේ ගමන එන්න මහන්සියක් වුණේ නැද්ද? මේ ගමන දුෂ්කර වුණේ නැද්ද..?    

ඇත්තටම දුෂ්කර වුණා. මුළු ලංකාවේම ඉන්න සියදහස් ගණන් තරගකාරියන් අතරින් තමයි මම අවසන් තුන්දෙනා අතරට තේරුණේ. ඒක ලොකු කට්ටක්. හැමෝටම මේක කරන්න බැහැ. මොකක්දෝ වාසනාවට මම ජයග්‍රහණය කළා. හැම දේකදීම දුෂ්කරතා තියෙනවා. ඒ හැමදේටම ඉවසගෙන දරාගෙන මේ ගමන යනවා.

සාමාන්‍ය ජීවිතේ සංජානා මොනවගේ චරිතයක්ද?

සාමාන්‍ය ජීවිතේ සංජානා කෙලින් කතාකරන, මට කොච්චර මඩ ගැහුවත් මම කෙලින් ජීවිතයට මුහුණ දෙන කෙනෙක්. ටිකක් කටකාරයි කියලත් මට වෙලාවකට හිතෙනවා. සාමාන්‍ය සරල කෙල්ලෙක්.

සංජානා මේ වෙනකොට පෙම්වතියන්ද..?

මේ වෙනකොට පෙම්වතියක් නෙමේ. නමුත් කාලයක් පෙම්වතියක් වෙලා හිටියා. අපේ ජීවිතේ ලැබුණු දේවල් වගේම නොලැබුණ දේවල් තියෙනවා. අපෙ ජීවිතේ කඩාවැටුණු තැන්වලදී අපි ගාව අපිට අවශ්‍ය කෙනා නැත්නම් ඊට එහා ඒ මනුස්සයාගෙන් බලාපොරොත්තු වන දෙයක් නැහැනේ. අම්මා නැති එකේ අම්මා තරම් ආදරයක් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා ළඟදී පෙම්වතියක් වෙන්න නම් බලාපොරොත්තුවක් තවම නැහැ.

දිශානි ජයමාලි කරුණාරත්න / සේයාරූ - සුමුදු හේවාපතිරණ

20210313Sanjana-2 20210313Sanjana-1