කලාව කියන්නෙ වටින දෙයක් සහ ආදරණීය දෙයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට අවතිර්ණව පසුව නිරූපිකාවක් ලෙස බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ යොවුන් කලා ශිල්පිනියක් සමග කතා බහා කරන්නයි මෙවර අපේ සූදානම. නමින් ඇය නිමේෂා වැන්ටොඩ්. මේ දිනවල ඇය ‘චැනල් සී’ රූපවාහිනි නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරමින් සිටිනවා.

 

ඔබ දැන් නිවේදිකාවක් විදිහට අපි දකිනවා?

ඔව්, මම ‘චැනල් සි’ රූපවාහිනි නාළිකාවේ දැන් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරනවා. පොඩි කාලේ මම නිවේදිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. කාලයකට පස්සේ තමයි ආයේ නිවේදනය පැත්තට යොමු වෙලා වැඩ කරන්නේ.

 

නිවේදන වෘත්තීය ඔබට අලුත් දෙයක් නෙමෙයි?

ඔව්, අලුත් දෙයක් නෙමෙයි. මොකද, ළමා කාලයේ රත්නා පුෂ්පකුමාරි නම් ප්‍රවිණ මාධ්‍යවේදීනිය යටතේ නිවේදනය කියන දේ මම ඉගෙනගත්තා. නිරූපන ශිල්පිනියක් වෙන්න කලින් මම ළමා නිවේදිකාවක් විදිහට කටයුතු කළා. පසුව උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙද්දි මම නිරූපණයටත්, රංගනයටත් යොමු වුණා. ඒ හින්දා නිවේදනය පැත්තට යොමු වීම අතපසු වුණා.

 

ඔබ දායක වුණ කලා කටයුතු මොනාවද මෑත කාලයේ?

කලා කටයුතු නම් ගොඩකට සම්බන්ධ වුණා පසුගිය කාලේ. ඉදිරි දිනවලදී මා රංගනයෙන් දායක වුණ ගීත රූප රචනා කිහිපයක්ම නිකුත් වෙන්න තියෙනවා. වර්තමානයේ නම් රංගනයට, නිරූපණයට වඩා වැඩි තැනක් දීලා තියෙන්නේ නිවේදන කටයුතුවලට.

 

කලා ක්ෂේත්‍රය තුළ ඔබ කාලයක් තිස්සේ කටයුතු කරන කෙනෙක් කිව්වොත් හරි?

ඔව්, දැන් සිවුවසරක් වෙනවා මම කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා. මම කලා ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් ආපු කෙනෙක්. මේ සිවුවසරක කාලය තුළ මම නිර්මාණ භාර ගත්තෙත් අඩුවෙන්.  ගොඩක් නිර්මාණ තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක් මම. එන හැම වැඩක්ම මම භාරගන්නේ නැහැ. මට ගැළපෙනවා කියලා හිතන හා මට කරන්න පුළුවන් කියලා හිතෙන නිර්මාණ පමණයි මම භාරගෙන වැඩ කළේ.

 

ඔබ අංශ තුනකින් මේ කලා ක්ෂේත්‍රයට දායක වෙනවා. ඔබ කැමති ඉන් එක් අංශයක් තියෙනවාද?

නැහැ. රංගනය, නිරූපණය වගේම නිවේදනය කියන අංශ තුනටම මම කැමතියි. වෙනසක් නැහැ. මේ හැම අංශයකටම මම ගොඩක් ආදරේයි. දක්ෂයෙක් කියන්නේ ඕනැම වෘත්තීයක් ආසාවෙන් කරන්න පුළුවන් කෙනෙකුට. මාත් එහෙමයි. 

 

උදව් කළ පිරිසකුත් ඇති ඔබට?

ගොඩක් අය ඉන්නවා. නම් වශයෙන් කියන්න ගියොත් ලොකු ලැයිස්තුවක් මට තියෙනවා. නම් වශයෙන් වඩා මම පොදුවේ හැමෝටම ගොඩක් ස්තුතියි කියන්න කැමතියි. ඇත්තටම හොඳ යහළුවෝ පිරිසක් මට මේ ක්ෂේත්‍ර වලදී මුණ ගැහුණා.

 

කලා ක්ෂේත්‍රය ගැන ඔබේ වචනයෙන් කියනවා නම්?

හරි දේ හරි විදියට කරනවා නම් කලාව කියන්නෙ වටින දෙයක් සහ ආදරණීය දෙයක්.

 

බුද්ධික සේනාධිර

20210405Nimesha (1) 20210405Nimesha (2) 20210405Nimesha (3) 20210405Nimesha (4) 20210405Nimesha (5)