කෙටි කාලයකින් ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210303Geethma (2)

මේ දිනවල පුංචි තිරයේ වැඩි ආදරයක් ආකර්ෂණයක් දිනාගෙන සිටින නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සඳැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා. ඇය ගීත්මා බණ්ඩාර.

මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්න කලා කටයුතු කොහොමද?

මේ දිනවල දිගටම කරගෙන යන්නෙ ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු තමයි. ඊට අමතරව ඉතින් වෙළෙඳ දැන්වීම්වලට සුපුරුදු පරිදි සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම අලුත්ම නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒවගෙන් සුදුසුයි කියලා හිතෙන කිහිපයක වැඩ භාරගෙන තියෙනවා. ළඟදීම ඒවගේ වැඩ කටයුතු ආරම්භ වෙයි.

‘සංගීතේ’ නාට්‍ය චරිතය ගැන කතා කළොත්?

‘සංගීතේ’ නාට්‍යයේ ‘අසිනි’ කියන චරිතය තමයි මම කරන්නෙ. ඒ අසිනි කියන්නෙ අහිංසක ගැහැනු ළමයෙක්ගෙ චරිතයක්. ඉතින් ඇයගෙ ආදරය පාසල් කාලෙ පටන් යන ආදර කතාවක්. ඉතින් ඒ ආදරයට විරුද්ධකම් ගොඩක් තියෙනවා. ගෙදරින් ගුටි කන්න වෙලාත් තියෙනවා. නමුත් ඒ ආදරේ ජයගන්න සටනක යෙදෙනවා. ඒ වගේ දුක් බාධක මැදින් දිවෙන චරිතයක්. මේ වෙද්දි ප්‍රේක්ෂක ආදරය උපරිම විදියට ලැබිලා තියෙනවා මේ වෙනුවෙන්. ඒ ගැන ගොඩක් සතුටුයි.

මේ චරිතය ගීත්මාට කොහොමද දැනෙන්නෙ?

ඇත්තටම ගොඩක් දුරට මගේ චරිතයට සමානයි. ඇයගෙ වැඩ, කතාබහ එහෙම. නමුත් මම ඒ තරම් හිතුවක්කාර නැහැ. ඒ චරිතයෙ තරම් නම් මම සැබෑ ජීවිතයේ ඉවසන එකක් නැහැ. නමුත් සමහර ගති පැවතුම් බොහෝමයක් සාමානයි.

කතාවෙ හැටියට ආදරෙ ජයගන්න ලොකු සටනක යෙදෙනවා කිව්වනෙ. ඇත්ත ජීවිතේ එවැනි දෙයක් සිදුවුණොත්?

ඇත්ත ජීවිතෙත් සත්‍ය ආදරය ජයගන්න මම අනිවාර්යයෙන් සටන් කරයි.

එවැනි සිදුවීමකට මුහුණ දෙන්න ලැබිලා නැද්ද?

තවම නම් නැහැ.

ගීත්මා මේ ක්ෂේත්‍රයට එන්නෙ අවුරුදු කුමාරියක් විදියට. ඒ ආපු ගමන් මග කොහොමද?

මම අවුරුදු කුමාරි වෙන්න කලින් ඉඳලම වෙළඳ දැන්වීම්වල ඉඳල තියෙනවා. ඒ 2016 වසර මුලදි වගේ. ඊට පසුව තමයි 2018 හිරු අවුරුදු කුමරිය දෙවන ස්ථානය ලබා ගත්තෙ. ඒ හරහා තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්න වාසනාව ලැබුණෙ.
ඒ ‘අහස් මාළිගා’ නාට්‍යයේ ‘තාරු’ චරිතය හරහා. ඒ පොඩි චරිතයක්. කොටස් සීමිත සංඛ්‍යාවක විතරයි ඉන්න ලැබුණෙ. ඊට පසුව මම සම්බන්ධ වෙනවා සිරස නාළිකාවෙ විකාශය වුණු ‘නීල පබලු’ නාට්‍යයට. එතැනින් පසුව තමයි ‘සංගීතේ’ වෙනුවෙන් ආරාධනා ලැබෙන්නෙ.

ක්ෂේත්‍රයට ඇවිල්ලා ටික කාලයක් යනවනෙ ප්‍රධාන චරිතයකට එන්න. නමුත් ගීත්මාට ඉතා ඉක්මණින් ඒ අවස්ථාව ලැබුණා. ප්‍රේක්ෂක ආදරය දිනාගන්න ලැබුණා. ඒ ගැන කතා කළොත්?

ඇත්තටම ඒ ගැන සතුටුයි වගේම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. කෙටි කාලයකින් ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ වගේම ප්‍රධාන චරිතයකින් පුංචි තිරයට එන්න ලැබුණා. ජීවිතේ යම් ජයග්‍රහණයක් ලැබුවා කියන හැඟීම තමයි දැනුණෙ. මොකද මම ක්ෂේත්‍රයට ඇවිල්ලා ටික කාලයයි. ඒ ආපු ගමනෙදි පසුගිය වසර දෙකේම සම්මාන උළෙලවල නිර්දේශිත නාමයන්වලට පවා ඇතුළත් වෙන්න ලැබුණා. ඒ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය කාණ්ඩය යටතට. 
2020 රයිගම් සම්මාන උළලෙ අවසාන දවස දක්වා මම පළමු ස්ථානයේ රැඳිලා හිටියෙ. ඒ මගෙන් ශත පහක්වත් වැය වෙන්නෙ නැතිව ප්‍රේක්ෂක මනාපයෙන්. ඉතින් මේ ආපු ටික කාලෙට ප්‍රවීණ ජනප්‍රිය නළු නිළියො 10 දෙනෙක් අතරින් මට මේ තැනට එන්න ලැබීම ලොකු වාසනාවක්. සම්මානය ලැබුණත් නොලැබුණත් මේ නිර්දේශ වීම මට ගොඩක්ම වටිනවා. ඉතින් මාව මේ තැනට ගෙනාපු මගේ ප්‍රේක්ෂකයන්ට මම ස්තුතිවන්ත වෙනවා. 

ඒ වගේම ගීත්මාට ප්‍රවීන රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩ කරන්න ලැබීමත් සම්මානයක් ලැබුණා වගේ කියලා හිතෙන් නැද්ද?

අනිවාර්යයෙන්ම. මගේ මේ කලා ජීවිතේ ආරම්භයේ පටන්ම ප්‍රවීන රංගන ශිල්පී ශිල්පිනියන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ප්‍රවීන චරිතයන්ගෙන් අපිට ගන්න තියෙන දේවල් වගේම අපිට ලබාදෙන මගපෙන්වීම ඇත්තටම ඉතා විශිෂ්ටයි. විශේෂයෙන් ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා, ඩග්ලස් රණසිංහ මහත්මයා වැනි ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතවලින් නිතරම වගේ ලැබෙන ඒ උපදෙස් මගේ මේ ගමනට ලොකු ශක්තියක්. එක පැත්තකින් මෙවැනි චරිත එක්ක රංගනයේ යෙදෙන්නට ලැබීමත් ලොකු වාසනාවක්.

පාසල් වේදිකාවෙ හුරු පුරුද්දක් තිබුණද රංගනය පිළිබඳව?

මම O/L විභාගය වනතුරු කළේ චිත්‍ර කලාව. මොකද අපේ පාසලේ නාට්‍ය හා රංග කලාව කියන විෂය ධාරාව තිබුණෙ නැහැ. 
මම ගියේ ගමේ පාසලට. ඒ පාසල දියුණු පාසලක් නෙමෙයි. පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති පාසලට තමයි ගියේ. නමුත් අපි යාළුවො එකතුවෙලා 9, 10, 11 වසරවලදි නාට්‍ය කණ්ඩායමක් හදාගෙන පාසලේ විශේෂ උත්සව අවස්ථාවල අපි රඟපෑවා. එහිදී පිටපත් රචනය, අධ්‍යක්ෂණය සියල්ලම වගේ මම කරලා තියෙනවා. එවැනි අත්දැකීමක් තමයි පාසල් කාලය තුළ තිබුණෙ. එතැනින් පසුව මම උසස් පෙළ කරන්න හොරණ ශ්‍රීපාලියට එනවා.

ඒ පාසල නම් කලාවට ප්‍රසිද්ධයි නේද?

කලාවට ප්‍රසිද්ධ පාසලක් වුණාට මම උසස් පෙළට හැදෑරුවෙ ගණිත අංශයෙන්. ඒ නිසා කලාවට සම්බන්ධ වෙන්න මට අවකාශයක් තිබුණෙ නැහැ.

පාසල් කාලෙ පිටපත් රචනය, අධ්‍යක්ෂණය කළා කිව්වනෙ. ඉදිරියට මේ ක්ෂේත්‍රයේ දෙයක් කරන්න අරමුණක් තියෙනවද?

අනිවාර්යයෙන්ම. ටෙලි නාට්‍යයක්, සිනමා නිර්මාණයක් නිෂ්පාදනය කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. දැන්ම නෙමෙයි තව කාලෙකින්. ඒක මගෙ ලොකු හීනයක්. ඒ වගේම දැනට මම නවකතාවක් ලියාගෙන යනවා. කියවීමේ මාසයේදී එය එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම පොඩි පොඩි වැඩ කලාව පැත්තෙන් කරගෙන යනවා.

ඉදිරියේදී සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා නැද්ද?

ඒකත් ඇත්තටම හීනයක් මගෙ ජීවිතේ. සිනමාවට සම්බන්ධ වීම ඕනෑම රංගන ශිල්පිනියකගෙ බලාපොරොත්තුවක්, හීනයක්. මටත් ඒ දේ තියෙනවා. මේ වෙද්දි සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ලැබුණට මට ගැළපෙන චරිතයක් තවම ලැබුණෙ නැහැ. පිටපත් කිහිපයක් ලැබුණා. නමුත් මට ඒ චරිත ගැළපුණේ නැහැ. ඒ නිසා ප්‍රතික්ෂේප කරන්න වුණා. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන් ඉක්මනින් සිනමාවට සම්බන්ධ වෙනවා.

අද ඉන්න තැන ගැන, මේ ලැබෙන ආදරය ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම අද පාරෙ යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ඒ තරමට ප්‍රේක්ෂක ආදරයක් තියෙනවා. ඒ ආදරය මම විඳිනවා හරිම සතුටින්.

මේ දිනවල රටේ පවතින වෛරස් තත්ත්වය රංගන වැඩ කටයුතුවලට බාධාවක් වුණේ නැද්ද?

ඇත්තටම කොරෝනා කාලෙත් අපි දිගටම රූගත කිරීම් කරගෙන ගියා. එක තැනක නැවතිලා සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව රූගත කිරීම් සිදුවුණා. නමුත් ගෙදරට වෙලා හිටපු කාලෙකුත් තිබුණා.

ඒ කාලෙදි මොකද කළේ?

ගෙදර ඉද්දි ඉතින් පොත්පත් කියෙව්වා. උයන පිහන දේවල් කළා. ඒවා විතරයි ඉතින් විශේෂයෙන්ම.

හොඳට ඉවුම් පිහුම් පුළුවන්ද?

අනේ ඔව්. මම පුංචි කාලෙ ඉඳලම ඒ වැඩ කටයුතු කළා. දැනටත් ගෙදර ඉන්න දවසට වැඩිපුරම උයන්නෙ මම තමයි. ඒක දිගටම කරපු දෙයක්.
 

වැඩිපුරම රසට උයන්නෙ? 

මම හිතන්නෙ චිකන් කරිය. මොකද ගොඩක් දෙනෙක් රසයි කියලා තියෙනවා.

ධනු විජේරත්න / ඡායාරූප: තුෂාර සංජීව

20210303Geethma (1) 20210303Geethma (3) 20210303Geethma (4)