ගායිකාවක් වුණත් මම රංගනයට කවදාවත් සමුදෙන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිනියක් ලෙස ඔබේ ආදරය දිනාගත් නදිෂා දයාරත්න මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇත්තේ ගායිකාවක් විදිහටය. මෑතකදී ගීත කිහිපයක්ම එළිදැක්වූ ඇය ඉදිරියේදී තවත් ගීත කිහිපයක්ම එළිදැක්වීමට සූදානමින් සිටියි. එමෙන්ම ඇය දායක වූ ටෙලි නිර්මාණ කිහිපයක් හරහාද රසික ඔබට නදිෂාව ඉදිරියේදී දැකගත හැකිවේ. ‘සාරවිට’ තරු කතාබහ දිග හැරෙන්නේ ඇය සමගිනි.

ඔබ රංගන ශිල්පිනියක්ද? එහෙමත් නැත්නම් ගායිකාවක්ද?

මාව මුලින්ම කෙනෙක් අඳුන ගත්තේ රංගන ශිල්පිනියක් විදිහට. ඒ මම කලාවට සම්බන්ධ වෙච්ච මුල්ම කාලයේ. ඒත්, දැන්නම් මම ගායනය පැත්තට සම්බන්ධ වෙලා ඉන්නේ කිව්වොත් නිවැරදියි. මොකද, මම අධ්‍යපනය ලැබුවේ සංගීතය පැත්තෙන්. ඒ නිසා ඒ ඉගෙන ගත්ත දෙයින් වැඩක් ගන්න ඕනා කියන අරමුණ ඇතිව තමයි මම සංගීතය හා ගායනය පැත්තට මේ වනවිට යොමු වෙලා ඉන්නේ. පසුගිය දිනවල මම ගීත කිහිපයක්ම නිකුත් කළා. ඒ නිසා වර්තමානයේ බොහෝ දෙනෙකු මාව අඳුන ගන්නේ ගායිකාවක් විදිහට.

ඒ කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට ඔබව අපිට ඉදිරියේදි දකින්නට නොලැබෙයිද?

රංගනයට සමුදිලා නැහැ. මගේ මුල්ම ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනියේ විකාශය වුණ ‘පුරකලීනි’ කියන ටෙලි නාට්‍යය. එහෙත්, පළමු වතාවට මාව පුංචි තිරේ දැක්කේ ලිලන්ත කුමාරසිරි මහත්මයාගේ ‘අපේක්ෂා’ කියන ටෙලි නාට්‍යය ‘පහන්දි’ කියන චරිතය තුළින්. ‘කෝරළේ මහත්තයා’, ‘තවදුරයි ජිවිතේ’ ඇතුළු ටෙලි නාට්‍යය කිහිපයක මම රඟපැවා. අන්තිමට මම දායක වුණේ මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වෙන ‘හදවතේ කතාව’ කියන ටෙලි නාට්‍යයට. මට හොඳයි කියලා ලැබෙන චරිතයකට ඉදිරියේදි අරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම මම එහි රඟපානවා.

දැනට ඔබ ගීත කොපමණ ප්‍රමාණයක් එළිදක්වලා තියෙනවාද?

දැනට ගීත හතක් විතර ගායනය කරලා තියෙනවා. දර්ශන රුවන් දිසානායක මගේ ආදරණිය ගුරුතුමා එක්ක ගීත කිහිපයක්ම කළා. මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘හදවතේ කතාව’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නෙත් මම. මෑතකදී ‘ඔබ ආ දා සිට මගේම ලෝකය’ කියලා මගේම  ගීතයක් එළිදැක්වූවා. මේ දිනවල එෆ් එම් නාලිකාවල නිතරම වගේ මගේ අලුත් ගීතය ප්‍රචාරණය වෙනවා. 

කලාවට සම්බන්ධ වෙලා ඔබ දැන් කාලයක් වෙනවා. මේ කාලය තුළදි ඔබ වඩාත් තෘප්තිමත් වන්නේ ගායිකාවක් විදිහටද? එහෙමත් නැත්නම් රංගන ශිල්පිනියක් විදිහටද?

එකක් කියලා කියන්න බැහැ. රංගනය සම්බන්ධ වුණ කාලයේදී මම ගොඩක් වෙලාවට කළේ මට ලැබුණ නිර්මාණ තෝරාබේරාගෙන රඟපාපු එක. ඉතින් මම ඒ හැම නිර්මාණයකට දායක වෙද්දි ඒ චරිතයට කරන්න පුළුවන් උපරිමට සාධාරණය කළා. ගායනය කියන්නේ මගේ හිනයක්. ඒ වගේම දැනට කරපු හා ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගත්තොත් ඒ හැම නිර්මාණයක් ගැනම සතුටු වෙන්න පුළුවන් මට. ඉතින් රංගන ශිල්පිනියක් විදිහටත්, ගායන ශිල්පිනියක් විදිහටත් පසුගිය කාළේ කරපු නිර්මාණ ගැන මම ගොඩක් තෘප්තිමත් වෙනවා.  

ඔබ දායක වුණ නිර්මාණ බොහෝමයක් ඉදිරියේදි නිකුත් වෙන්න තියෙනවා නේද?

සංගීතය පැත්තෙන් කිව්වොත් ගීත හතරක් පමණ නිකුත් වෙන්න තියෙනවා. ‘ඔබ ආ දා සිට’ ගීතය මේ දිනවල ඉහළ ප්‍රතිචාර ලබමින් ප්‍රචාරණය වෙනවා. ඉදිරියට එන්න තියෙන මගේ නිර්මාණත් මේ අලුත් ගීතය වගේම ශ්‍රාවකයෝ ආදරයෙන් වැළඳ ගනියි කියලා මම හිතනවා. එකම ශෛයලයට නැතුව මම කැමතියි වෙනස් විදිහට නිර්මාණ කරන්න. මම අදහස් කරන්නේ එකම රාමුවකට කොටු වෙන්න නැතුව වෙනස් වෙනස් විදිහේ ගීත නිර්මාණ කරන්න මම නිතරම වගේ උත්සාහ කරනවා. ඒ වගේ වෙනස් විදිහට කරපු නිර්මාණත් තියෙනවා මගේ එන්න තියෙන නිර්මාණ අතර. රංගනය පැත්තෙන් ගත්තොත් තව මගේ නිර්මාණ දෙකක් විතර එන්න තියෙනවා. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට කතා කරලා තියෙනවා. ඒවා තවමත් සාකච්ඡා මට්ටමින් තියෙන ඒවා.

හැමෝටම හීන තියෙනවා. නදිෂා ඔබගේ හිනේ කුමක්ද?

මගේ හිනේ තමයි රටේ දක්ෂ ගායිකාවක් වෙන එක. විවිධ ආරේ හරවත් ගීත වගේම මේ දිනවල අපේ තරුණ පිරිසට ගැළපෙන ආකාරයට හොඳ ගීත නිර්මාණය කරන්න මම උත්සාහ කරනවා. මම හිතනවා දැන් මා වටා යම් රසික පිරිසක් එකතු වෙලා ඉන්නවා කියලා. ඒ හින්දා ඉදිරියට කරන හැම නිර්මාණයක්ම ඔවුන් ඉතාමත් ආදරයෙන් භාරගනිවි කියලා මම හිතනවා. ගායිකාවකට අමතරව රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නත් මම අපේක්ෂාවෙන් ඉන්නවා.

ඡායාරූප හා සටහන - බුද්ධික සේනාධීර

20210301Nadeesha (1) 20210301Nadeesha (2) 20210301Nadeesha (3) 20210301Nadeesha (4)