ජනප්‍රියත්වට පත් ඕනෑම කෙනෙක්ගෙ චරිත සමාජ මාධ්‍ය තුළින් ඝාතනය කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කස්තුරි ජයවර්ධන යනු මේ දිනවල පුංචිතිරයේ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පිනියෙකි. මියුසික් වීඩියෝ හරහාද ඇය බොහෝ ප්‍රසිද්ධියට පත්ව තිබේ. මේ දිනවල ටෙලා නාට්‍යය ඔස්සේ දැක ගැනීමට හැකියාව ලැබෙන ඇයගේ කලා දිවිය පිළිබඳව කතාබහ කිරීමට ‘අද’ තරු කතාබහට මෙලෙස එක්විය.

 

මේ දවස්වල හරි කාර්යය බහුලයි නේද?

ඇත්තෙන්ම ඔව්, මේ දවස්වල නාට්‍ය තුනක් විකාශය වෙනවා. ඒකේ වැඩකටයුතු යනවා. ටෙලි නාට්‍යය සහ මියුසික් වීඩියෝ වැඩත් එක්ක ටිකක් ඇත්තෙන්ම කාර්යය බහුල වෙලා තියෙනවා.

 

විකාශය වෙන ටෙලි නාට්‍යය ගැන කිව්වොත්?

දැනට විකාශය වෙනවා නීල පබලු ටෙලි නාට්‍ය්‍ය, නෑනලා සහ අන්ගි පියාපත් කියන ටෙලි නාට්‍යය තුන තමයි.

 

ගිය අවුරුද්දෙ ඇති වුනු කොවිඩ් සිදු වීම නිසාද මේ අවුරුද්දේ මෙච්චර කාර්යය බහුල වෙන්නේ?

ඔව් ඒ හින්දා තමයි මෙච්චර කාර්යය බහුල. ඒ නවත්තලා තිබ්බ ඔක්කෝම වැඩ පටන් අරගෙන යනවා. ඇත්තම කිව්වොත් සමහර වැඩවලට දිනත් නැහැ වෙන් කර ගන්න. ගොඩක් කාර්යය බහුලයි මේ ටිකේ. තව නාට්‍යය දෙකක් විකාශය වෙන්නත් තියෙනවා. ඒ වගේම මියුසික් වීඩියෝ එක්ක එක දිනයක්වත් නිදහසේ ඉන්න හම්බෙන්නේ නැහැ මේටික පහු වෙනකම්.

 

මෙච්චර නිර්මාණ සඳහා ආරාධනා ලැබෙන්නේ ලැබුණු ජනප්‍රියත්වය නිසාද?

මම හිතනවා ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක යම් කිසි හැකියාවකුත් තියෙන්න ඕනේ. මම ක්ෂේත්‍රයට එන්නේ දෙරණ අවුරුදු කුමාරිය හරහායි. 2019 දෙරණ අවුරුදු කුමාරි තරඟයේ දෙවැනි ස්ථානය ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ ඒ හරහා රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරපු, තරිඳු දිසානායක නිෂ්පාදනය කරපු ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයට තමයි මම ඉස්සෙල්ලාම සම්බන්ධ වෙන්නේ. ඒ හරහා දැනට මම නාට්‍යය කිහිපයක්ම කරලා තියෙනවා. ඉතිං ජනප්‍රියත්වයක් එක්ක ලැබුණු අවස්ථාව නිසා මම මගේ යම් කිසි හැකියාවක් තිබුනා නම් ඒ ඔස්සේ තමයි මේ තරම් නිර්මාණ වලට දායක වෙන්නේ.

 

වැඩියෙන්ම ඔබව ජනප්‍රියත්වයට පත්වුණ ටෙලි නාට්‍යය?

මාව වැඩිවශයෙන් කතාබහට ලක්වුණේ ‘නීල පබලු’ නාට්‍යයේ මහීමාගේ චරිතය ඔස්සේ තමයි මාව වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත් වුණේ. ඒ ඔස්සේ තමයි මාව ගොඩක් අය දැන ගන්නේ. ඇත්තෙන්ම ඒ චරිතය මම ආසාවෙන් කරපු චරිතයක්. ඒක නිසා මට ඒ සඳහා ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ප්‍රේක්ෂකයන්ගේ වගේම නාට්‍යය තුළත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා ඒ සඳහා. මම දැනට අවුරුදු දෙකක් විතර වෙනවා ක්ෂේත්‍රයට ඇවිල්ලා. මුල හිටපු මම නෙමෙයි අද ඉන්නේ. නාට්‍යයෙන් නාට්‍යයයට යම් කිසි දේවල් ඉගෙන ගෙන හැකියාවන් වර්ධනය කර ගෙන යම්කිසි හැකියාවක්, දැනුමක් එක්ක තමයි මම ‘නීල පබලු’ නාට්‍යයට එන්නේ. මට පුළුවන් උපරිමයෙන්ම කරා. ඒ නිසා ප්‍රතිචාර හොඳ වෙන්න ඇති.

 

ලැබෙන ආරාධනා තෝරා බේරා ගන්නවාද?

කරන්න වෙන අවස්ථාවන් තියෙනවා. මට කතාකරන චරිත වලින් තෝරාබේරාගෙන තමයි නිර්මාණය වලට දායක වෙන්නේ. එහෙම කරන්න වෙන්නේ මට කරන්න පුළුවන් දේවල් සහ මම දන්න ප්‍රමාණය නිසයි. මොකද ඒ දේවල් එක්ක මට චරිතයක් තුළින් කරන්න පුළුවන් දේවල් තියෙනවානේ. එහෙම නිසා තමයි චරිත තෝරා බේරා ගැනීමක් සිදු කරන්නේ.

 

කලා ක්ෂේත්‍රය ගැන අදහස මොකද?

ඇත්තෙන්ම කතා ක්ෂේත්‍රය ගැන විවිධ මත තියෙනවානේ. ගොඩක් අය කියනවා මේ ක්ෂේත්‍රය හොඳ නැහැ. ගැහැණු ළමයෙක්ට මේක ගැලපෙන්නේ නැහැ වගේ දේවල්. මගේ ගම මහියංගනයේ. ඉතිං අපේ අම්මා තාත්තා වුණත් මේ ක්ෂ්‍රේත්‍රයට එන කොට බයයි. මගේ නෑදෑයෝ යාළුවෝ අම්මලාට කියනවා යවන්න එපා මේ දේවල් වලට කියලා. මම හිතන දේ තමයි තමන් ප්‍රතිපත්තිගරුකව හරියට නිවැරදිව ඉන්නවා නම් කවුරුත් අපිට වැරැද්දක් කරන්නේ නැහැ. වැරදි කියන එක නම් කරයි. අපිට මේකේ කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් අපි හරියට ඉන්නවා නම්. කවුරුත් වචනයකින්වත් බලපෑමක් කරන්නේ නැහැ අපි නිවැරදිව ඉන්නවා නම්. මම ඒ තැන තමයි ඉන්නේ. අපි හරියට ඉන්නවා නම් අපිට ඕනෑම තැනකට ගිහින් හරි විදිහට ලස්සනට ඉන්න පුළුවන්.

 

ක්ෂේත්‍රයට ඇත්තටම මෙච්චර චෝදනා තියෙන්නේ පිටින් දකින දේවල් නිසා නේද?

ඇත්තටම බොහෝ දෙනා කියන තරම් දේවල් නැහැ. ඒ දේවල් වැරදියි. මිනිස්සු කියන්නේ හැමෝම එකයි. වැරදි කරනවා වැරදි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගෙන යම් කිසි වැරැද්දක් අඩුපාඩුවක් වුනොත් ඒක හැම කෙනා අතරටම ගිහින් ඉවරයි. හැබැයි මිනිස්සු අතර ඉන්න පුද්ගලයන් ඊට වඩා වැරදි කරනවා. නමුත් ප්‍රසිද්ධ චරිතයකින් වෙන වැරැද්දක් තමයි හැමෝම කතාබහ කරන්නේ. ඒ නිසා තමයි මේ කලාව පිළිබඳවත් ඒ විදිහට දකිනවා ඇත්තේ.

 

ජනප්‍රියත්ව කියන්නේ පෞද්ගලිකත්වයට ලොකු හානියක්ද?

අනිවාර්යෙන්ම ලොකුම හානියක්. ඒක අපි දැන ගන්න ඕනා අපේ පෞද්ගලික දේවල් ආරක්ෂා කර ගන්න. මේ දේවල් නිසා තමයි සමහර පෞද්ගලික දේවල් හංගගෙන තියා ගන්න වෙනවා.

 

වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ තමයි මේ පෞද්ගලිකත්වයට බොහෝ ප්‍රහාර එල්ල වන්නේ?

මම වුනත් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. සමාජ මාධය කියන දේ නිවැරදිව භාවිතා කරන්න දැන ගන්න ඕනේ. අපේ වචනයක් වැරදුනත් ගොඩක් දෙනෙක් ඒවට ප්‍රහාර එල්ල කරන්න තියෙන අවස්ථාවන් වැඩියි. ජනප්‍රියත්වයට පත් ඕනෑම කෙනෙක්ගෙ චරිතක් සමාජ මාධ්‍ය තුළින් ඝාතනය කරනවා. ඒ දේවල් වැරැද්දක්. යම් කිසි දෙයක් කරන්න ඉස්සෙල්ලා ඒ පුද්ගලයා පත්වෙන මානසිකත්වය ගැන හිතලා කටයුතු කරන්න ඕනේ. ඒ දේවල් කරනවා නම් හොඳයි කියලා මම හිතනවා.

 

මේ දවස්වල සමාජ මාධ්‍ය වල ලොකුම මාතෘකාව තමයි කාන්තාව සමාජ මාධ්‍ය ඔස්සේ හෑල්ලුවට සහ අපහාසයට පත් කිරීම සහ ඇයව පීඩා කිරීම වැනි දේවල්?

ඒක නම් ඇත්ත. පහුගිය දවස්වල ඒ පිළිබඳ ලොකුවට කතාබහ කලා. මම ගැන හොඳටම දන්න කෙනෙක්ගෙන් ඇහැව්වොත් කියයි මගේ ගැන. නමුත් සමහර මිනිස්සු ඉන්නවා වැරදි කටකතා කියනවා. නමුත් ඒ පුද්ගලයා මාව දන්නෙවත් සහ මාව ආශ්‍රය කරලත් නැහැ. තමන්ගේ අභිවෘද්දිය උදෙසා යම් කිසි දෙයක් කරනවා නම් ඒක වැරදියි. ලෝක ධර්මතාවයට අනුව එයාලට ඒ දේවල් කවදා හරි ලැබෙයි. ඒවට ප්‍රථිපල ලැබෙයි. එහෙම කරන අය ඒ දේවල් කරන්න එපා. ඒක ලොකු වැරැද්දක්. වෙන කෙනෙක්ගෙ චරිතය ඝාතනය කරාම ඒ පුද්ගලයාට ඇතිවන මානසික මට්ටම, ලැජ්ජාව සහ එම පුද්ගලයා ලක්වෙන පීඩනය පිළිබඳව තේරෙන්නේ නැහැ. ඒ දේවල් කරන එක ලොකු වැරැද්දක් කියලා තමයි කියන්න තියෙන්නේ.

 

මේ අතරින් ඇතැම් රසික රසිකාවන් ඒ දේවල් වලට නැගී සිටිනවා නේද?

අනිවාර්යෙන්ම. හිතමුකෝ මගේ අතින් වැරැද්දක් වුනා කියලා. ඒකට කට්ටියක් එකතු වෙලා මඩ ගහද්දී, ඇත්තම මට ආදරේ කරන අය මාව හැමවෙලාවේම නිවැරදි කරන්න බලනවා. එයාලා වගේ රසික පිරිසක් කලාකරුවන්ට ඉන්න එක ගැන ලොකු සතුටක් තියෙනවා.

 

රසික ආදරය ගැන මොකද හිතෙන්නේ?

එදා ඉඳන් ආපු ගමනේ මට දවසින් දවස රසික පිරිස වැඩිවෙනවා. අද වෙද්දී මට සතුටු වෙනන් පුළුවන් හේතුවක් තමයි මට බොහෝ දෙනෙක්ගේ ආදරයක් ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර ලැබෙද්දී වැරැද්දක් කියෙන්නේ නැහැ. නමුත් සමහරු ඉන්නවානේ මම හොඳ වුණත්, නරක වුනත් පිට රූපය දැකලා එයා හරි නැහැ, හොඳ නැහැ කියන. හැබැයි අදටත් තාම එහෙම නරක ප්‍රතිචාර හම්බවෙලා නැහැ. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ රසිකයන් තුළ මම ඉන්න තැන හැමදාම රැක ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. 

 

ඩිලාන් ක්‍රිෂාන්ත

20210320Kasthuri (1) 20210320Kasthuri (2) 20210320Kasthuri (3) 20210320Kasthuri (4) 20210320Kasthuri (5)