පෙම් කරන්නේ පළමුවරට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ සුන්දර හර්ෂි රසංගා රතුගමගේ රංගන ක්ෂේත්‍රයට පැමිණියේ වයස අවුරුදු 8 දී පමණ, රූපවාහිනි දැන්වීමකට පෙනී සිටිමින්ය. ඉන්පසුව දිගින් දිගටම දැන්වීම්වලට පෙනී සිටි ඇය ටෙලි රංගනයට පිවිසියේ ‘‘සුජාතා’’ නාට්‍ය ඔස්සේය. සුජාතාගෙන් පසුව අනන්තා, කුමී, සමනලුන් පියාඹයි, රැස්, හදවතේ කතාව ඇතුළු නාට්‍ය රැසක රඟපෑ ඇය මේ දිනවල අපට හමුවන්නේ ‘තාදී’ නාට්‍යයේ ‘සමන්ති’ නමැති චරිතය සමඟය. මේ සුන්දර කතාබහ හැඩකාර හර්ෂි රසංගා එක්කයි. 

තාදි චරිතයෙන් පටන් ගනිමු?

චරිතය ගැන කිව්වොත් ගමක කටකාර අහිංසක ගැහැණු ළමයෙක්. ඒ චරිතය මට වැදගත් වන විශේෂ හේතු දෙකක් තියෙනවා. එකක් පෙම්වතියක ලෙස ප්‍රථම වරට එන්නේ මේ චරිතයෙන්. අනික් එක තමයි ඇත්තටම මනුස්සයෙක් ද සිතිවිල්ලක් ද කියලා තවම ප්‍රේක්ෂකයා දන්නෙ නැහැ. ඒ විදියෙ වෙනස් වෙච්ච චරිතයක් කරන ප්‍රථම වතාව මෙයයි. චරිතයේ නම සමන්ති. 

කොහොමද පෙම්වතියගෙ අත්දැකීම්? 

මුල් දවස් දෙකේ සබකෝලය ලැජ්ජාව තිබුණා. පසුව චරිත් අයියලා සෙනුර අයියලා ලොකු සහයක් දුන්නා. ඒ චකිතය නැතුව ගියා. 

පෙම්වතියට මුලින්ම කියන්න තිබුණේ?  

පළවැනියටම දෙබස් කියන්න තිබුණේ නැහැ. ආදරයෙන් සිටින අවස්ථා කීපයකට පෙනී සිටියා. පෙම්වතාගේ චරිතයෙ නම නිමන්ත. නිමන්ත ලෙස රඟපාන්නෙ සෙනුර පීරිස්. 

සමන්තිට ලැබෙන ප්‍රතිචාර කොහොමද? 

බොහොම හොඳයි. මෙතෙක් මගෙන් දැක්ක චරිතයක් නොවන නිසා ප්‍රතිචාර හොඳයි. 

දැන් මෙතැන් සිට දිගටම පෙම්වතිය වේවිද? 

මම හිතනවා දැන් මෙතැනින් පසුව එහෙම වේවි කියලා. මේ දිනවලත් අලුත් ටෙලි නාට්‍යයක පෙම්වතියක ලෙසයි රගපාන්නෙ. ඒකෙ නම සූර්යවංශය. මාව දැන් ගැමි පෙම්වතියට කොටුවෙලා. 

සැබෑ ජීවිතය මොන වගේද? 

විනෝදයෙන් සතුටින් ඉන්න කැමති සංවේදී චරිතයක්.

වෘත්තිය රඟපෑමද? 

උසස් අධ්‍යාපනය ලබන අතරේ රඟපාන්නෙ. මේ අංශ දෙකම සමබරව කිරීම අදහසයි. 

වයස කියන්න පුළුවන්ද? 

18 යි. 

ගෙදර විස්තර කියමු. 

මම, අම්මා, තාත්තා, අයියා සහ අක්කා. අයියා කුඩා කාලයේ දී රඟපෑවා. දැන් රඟපාන්නේ නැහැ. 

මොනවගේ පවුලක්ද? 

බොහොම එකමුතු විනෝදයෙන් ඉන්න ආදරණීය පවුලක්. 
රඟපෑම කොහොමද දැනෙන්නේ. 
අද වෙන කොට රඟපෑම මගේ ජීවිතයේ කොටසක් වගේ වෙලා. රඟපෑම නිසා මගේ සැබෑ ජීවිතයට ගන්න හොඳ දේ බොහෝමයි. රඟපෑමේ විෂයයට හරිම ආදරෙයි. ඒ නිසා මට ලැබුණු දේ බොහොමයි. මිනිසුන්ගේ ආදරය වගේ බොහෝ දේ ලැබුණා. ඒවා මුදල්වලට ගන්න බැරි දේවල්.  

රඟපෑම හැර වෙන මොනවද පුළුවන්? 

නර්තනයට සහ ගායනයට ආසයි. හැබැයි මම දක්ෂ ද කියලා මම දන්නේ නැහැ. 

ජීවිතේ මොන වගේ අරමුණු ද තියෙන්නෙ?

ලොකු අරමුණු නැහැ. අධ්‍යාපන කටයුතු ඉවර කරලා මගේ මහන්සියෙන් ආදරයෙන් ජීවිතය ගෙවීමට කැමතියි.

සැබෑ ජීවිතයේ දී පෙම්වතියගෙ අත්දැකීම් 

මේ දිනවල නැහැ. 

ආදරය මොන වගේ දෙයක් කියලද හිතන්නේ. 

අපි බොහොවිට තේරුම් ගන්න විදියට වඩා වෙනස්. ආදරය කියන්නේ ළංකර ගැනීම, වෙන්කර ගැනීමකට වඩා අනිත් කෙනාගේ සතුට ගැන හිතලා කැප කිරීමක් කරන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ ආදරය. ඇත්තම ආදරය කියන්නෙ දෙන්නෙක් එක්වීමට නොවෙයි. සැබෑ ලෙස ආදරය කරනවා නම් ආදරය ඒ වගේ කියල මම හිතන්නේ. 

වැඩි දෙනෙක් කතා කරන්නෙ හර්ෂි කියලද? රසංගා කියලද? 

හර්ෂි කියලා. 
විවේකයට හර්ෂි මොනවද කරන්නෙ 
සිංදු අහන කෙනෙක්. ගීතයක තනුව මට අල්ලලා ගියොත් ඒ ගීතය අහනවා. 

මේ දිනවල වැඩිපුර අහන්නේ? 

ආදරියේ ගීතය. 

ඒ ගැනත් කියමු 

ඒක මම පෙනී සිටි පළමු මියුසික් වීඩියෝව. ඒ වගේම ටෙලි චරිතයක පෙම්වතියගෙ චරිතයට පෙර පෙම්වතියක් ලෙස බොහෝ දෙනා මාව දැක්කේ ඒ මියුසික් වීඩියෝවෙන්. 

කොහොමද නදිමාල් 

එයා මම මගේ කුඩා කාලයේ ඉඳලාම කැමති කෙනෙක්. හරි හිත හොඳ ආදරණීය චරිතයක්. හැමෝම එක්ක සුහදයි. 

සමහරු හිතන්නේ මේ ගීතය නිසා ඔබ දෙදෙනා පෙම්වතුන් කියලා නේද? 

ඔව්. ඒ විදියෙ කතාවක් කොහොම ආවාද දන්නෙ නැහැ. එයා මට මගේම අයියා කෙනෙක් වගේ. හොඳ සහෝදරයෙක්. අපි අතර ඊට එහා කිසිම බැඳීමක් නැහැ. සහෝදරයකු ලෙස එයා මට බොහෝ දේ කියා දී තිබෙනවා. ගීතයට ප්‍රතිචාර වැඩි නිසා මිනිස්සු සමහරවිට එහෙම හිතනවා ඇති. 

ආදරියේ ගීතයෙන් පසුව?

මින් පසුව බොහෝ විට මම මියුසික් වීඩියෝ කරන එකක් නැහැ. ඉස්සර ඉඳලාම කරන්නේ නැහැ කියලා ඉන්නකොට තමයි සජිත අනුත්තර අයියා කතා කළේ. ඒ වගේම නදීමාල් අයියාගෙ ගීතවලට මම ප්‍රියයි. මේ වීඩියෝව රූගත කළ විදියත් හරි වෙනස්. ඒ නිසා එය බාර ගත්තා. මම හිතුවාට වඩා ප්‍රතිචාර බොහෝමයි. 

‘තාදි’ නිමන්ත වූ ‘සෙනුර’ මොන වගේද? 

හොඳට එකමුතු වෙලා වැඩ කරන සහෝදරයෙක්. හොඳ අයියා කෙනෙක්. හොඳ යාළුවෙක්.

‘තාදි’ නරඹනවාද? 

ඔව්. මම ඉන්න නිසාම නෙවෙයි. ඒ කතාවට ආස නිසා නරඹනවා. 

හර්ෂිගෙ ප්‍රියතාවයන් මොනවද? 

සිංදුවලට වගේම යාළුවෝ එක්ක එකතුවෙලා විනෝදයෙන් ඉන්න ආසයි. 

‘හර්ෂි’ ෆේස්බුක් නැද්ද? 

මම ෆේස් බුක් නැහැ. ඒත් මගේ නමින් ව්‍යාජ ඒවා තියෙනවා. ඒ වගේ දේ නිසා මට සමාජ මාධ්‍ය එපා වුණා. දැන් මම ඉන්නෙ ඉන්ස්ටර්ගැම් විතරයි. ‘‘harshirasanga_official’’ 

හර්ෂිට ගෙදර වැඩත් පුළුවන්ද? 

කටට රහට කන්න පුළුවන් විදියට උයන්න පුළුවන්. කේක් හදන්න තමා වඩා දක්ෂ. 

මිනිස්සු මෙතෙක් ඔබ රඟපෑ චරිත අතරින් වඩා ප්‍රිය මොන චරිතයට ද? 

සුජාතා චරිතයට. 

තවත් මොනවද කියන්න තියෙන්නේ 

ප්‍රේක්ෂකයන්ට මගේ ගෞරවය පුදන්න කැමැතියි. එයාලා නිසයි මම අද මේ විදියට ඉන්නෙ. මට ගල් ගහල මාව වට්ටන්න හදන අයටත් ස්තුතියි කියන්න කැමතියි. එයාලා නිසා මම තවත් ධෛර්යමත් වෙනවා.  

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
හැඩගැන්වීම: සැලෝන් අනූෂා

20210308Hot-1 20210308Hot-2 20210308Hot-3