පෞද්ගලික ජීවිතයටත් මුල් තැන දෙන්න ඕනේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210316apsara-1

අංගර ඉංගර, හිත අද්දර, සිරසාලින්දය වැනි වැඩසටහන් ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් හඳුනාගත් අප්සරා මැණික් දිසානායක නිවේදිකාවක් ලෙස බොහෝ දුර පැමිණ තිබෙනවා. කාලයක් විදේශගත සිටි අප්සරා නැවත රූපවාහිනී තිරය හරහා දක්නට ලැබුණා. නමුත් ඇය ඉදිරියේදී සිය වෘත්තීයට සමුදීමට තීරණය කරලා තිබෙන බවට ආරංචි වුණු නිසා සාරවිට අප ඒ ගැන ඇගෙන් විමසන්නට සිතුවා.

මේ දවස්වල අප්සරාගේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද?

හිත අද්දර ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඉස්සරහට අවුරුදු එනවානේ. අවුරුදු වැඩසටහන්වලට සූදානම් වෙනවා.

අප්සරා සිරසට එකතු වෙන්නේ කොහොමද?

මම මුලින්ම එන්නේ සිරස එෆ්.එම් එකට. ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට. ඒ 2011දි. මම 2013දි තමයි සිරස ටී.වී. එකට එන්නේ.

පොඩි කාලේ ඉඳලාම හීනය තිබුණේ නිවේදිකාවක් වෙන්නද?

ඔව්. මේක පොඩි කාලේ ඉඳලාම තිබුණු හීනයක්. පොඩි කාලේදී මම ගෙදරදි තනියෙන් ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ට් කරනවා. ටී.වී එකේ ප්‍රසන්ටින් කරන වැඩසටහන් බලනවා. පාසැලෙත් මීඩියා යුනිට් එකේ හිටියා. පාසැලේ උත්සවවල නිවේදනය කළා.

20210316apsara-6

නිවේදිකාවක් වෙනවා කිව්වාම ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?

මට මේ රැකියාව ලැබෙද්දි මම කැම්පස් හිටියේ. මම ජොබ් එකට යනවා නම් කැම්පස් එක අත් හරින්න වෙනවා. මම ඒක කිව්වාම ගෙදරින් කිව්වේ ඔයාට හොඳයි නම් කරන්න කියලා. ඒ වගේම සහයෝගයක්, ආශිර්වාදයක් මට ගෙදරින් ලැබෙනවා.

අප්සරා වැඩියෙන්ම කැමති මොන විදිහේ වැඩසටහන් ඉදිරිපත් කරන්නද?

මම එහෙම එක් තැනකට කොටු වෙලා නැහැ. මම හැම වර්ගයේම වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. හිත අද්දර, සිරසාලින්දය, අංගර ඉංගර, මගේ සින්දු පැය කියන වැඩසටහන් එකකට එකක් වෙනස්. ඉතින් මම ඒ හැමදේම කරනවා. එහෙම තෝරාගෙන, එක් තැනකට සීමා වෙලා වැඩ කරන්න කැමති නැහැ. ලයිව් වැඩසටහන්, ආගමික වැඩසටහනුත් කරලා තියෙනවා.

රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මම කවදාවත් හිතන්නේ නැහැ මට රඟපාන්න පුළුවන් කියලා. මගේ හීනය තිබුණේ නිළියක් වෙන්න නෙවෙයි නිවේදිකාවක් වෙන්න. මම හීනයට දැන් ඇවිත් තියෙන්නේ. ඉතින් එහෙම ලැබුණු හැම ආරාධනාවක්ම මම ප්‍රතික්ෂේප කළා.

මාධ්‍ය ජීවිතයේදී ලැබුණු අත්දැකීම් ගැන කියමුද?

මේක හරි සුන්දර රැකියාවක්. මට ගොඩක් දේවල් නිවේදිකාවක් වුණාම ලැබුණා. මගේ ගම නිකවැරටියේ. ගමකින් ඇවිත් සිරස වගේ ආයතනයකට සම්බන්ධ වෙන්න ලැබිලා ඒ තුළින් විශාල දේවල් ටිකක් මම ජීවිතයට එකතු කරගත්තා. මාව ගොඩක් අය නිවේදිකාවක් විදිහට දන්නවා. ඒකම මට ජීවිතයේ ලැබුණු හොඳම අත්දැකීමක්. මට හැම වෙලාවෙම මම ජීවත් වෙනවා කියලා දැණුනු රැකියාවක් තමයි මේ.

සජීවී වැඩසටහන්වලදී වැරදීම් වෙලා නැද්ද?

සජීවී වැඩසටහන්වලදී මට එහෙම ලොකුවට වැරදීම් වෙලා නැහැ. මොකද මම තවම හිතනවා කරන දේ හරියට කරන්න ඕනේ කියලා. සජීවී වැඩසටහනකට වාඩිවෙන්න කලින් මම හැමතිස්සේම හිතනවා මේක මගේ පලවෙනි ලයිව් එක කියලා. එතකොට මට පුළුවන් තරම් වැරදි අවම කරගෙන වැඩ කරන්න පුළුවන්.

අද බොහෝවිට නිරූපණ ශිල්පිනියොත් නිවේදිකාවගේ භූමිකාවට ඇවිත්. ඒක ඔබ දකින්නේ කොහොමද?

ඕනෑම වෘත්තියක් තෝරාගන්න හැම කෙනෙක්ටම අයිතියක් සහ කැමැත්තක් තියෙනවා. රඟපාන අය සින්දු කියනවා, නිරූපණය කරන අය නිවේදනය කරනවා. කවුරු කළත් මේක හැදෑරීමකින් සහ වගකීමෙන් කළ යුතු රැකියාවක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් නිවේදිකාවක් කියන භූමිකාව හරි ලේසියි කියලා. හොඳට මේකප් කරලා, ලස්සන ඇඳුමක් ඇඳලා කැමරාව ඉස්සරහ මොනවා හරි කියන එක නෙවෙයි ප්‍රසන්ටින් කියන්නේ. ඊටවඩා දෙයක් මේ රැකියාව ඇතුළේ තිබෙනවා. අපි කියන දේවල් තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. මිනිස්සුන්ට පණිවුඩයක් ගෙනියන්නේ අපිනේ. මේක භාරදූර රස්සාවක්.

ඔබ නැවත විදේශගත වීමට සූදානම් වෙනවාද?

ඔව්. මගේ හස්බන්ඩ් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මමත් පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ හිටියේ. මම ලංකාවට ආවේ ආයෙත් යන්න බලාගෙන. හැබැයි මේ කොරොනා තත්ත්වය නිසා ඒක කල් ගියානේ. තව මාස කිහිපයකින් මම නැවතත් ඕස්ට්‍රේලියාව බලා යනවා. ඒ යන්නේ ආයෙත් ලංකාවට ඒමේ බලාපොරොත්තුවකින් නෙවෙයි.

එතකොට අප්සරා කියන නිවේදිකාව?

නිවේදිකාවට සමුදෙන්න වෙනවානේ. මම කෙවින්ව මැරි කළෙත් එහේ පදිංචියට යන්න බලාගෙන. මොකද අපි දෙන්නා රටවල් දෙකක ඉඳලා ජීවත් වෙන්න බැහැනේ. එයාට ලංකාවට එන්න ප්ලෑන් එකක් නැහැ. නිවේදිකාවට සමුදෙන්නේ වෘත්තීය ගැන කලකිරිලාවත්, සිරසත් එක්ක කලකිරිලාවත් නෙවෙයි. මම සිරසට වගේම නිවේදන වෘත්තියටත් හැමදාටම ආදරෙයි. අපි අනෙක් හැමදේටම වගේම පෞද්ගලික ජීවිතයටත් මුල් තැනක් දෙන්න ඕනේනේ.

නිවේදිකාවක් ලෙස පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

ඒක මට වචනයෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම පොඩියට තමයි මේ ගමන එන්න පටන් ගත්තේ. ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට ඇවිත් රූපවාහිනි නිවේදිකාවක් වෙනවා කියන එක මාරම දෙයක්. මාව එක දවසින් මිනිස්සු දැනගත්තේ නැහැ. කාලයක් ගියාට පස්සෙයි දැනගත්තේ. ඒ ගමන හරි සුන්දරයි.

උදව් කළ අය ගැනත් මතක් කරමු?

නම් වශයෙන් කියන්න බැරි තරම් විශාල පිරිසක් මට ඉන්නවා. මගේ ගෙදර අය, හස්බන්ඩ්, සිරස නාලිකාවේ නිෂ්පාදක කණ්ඩායම, හිටපු නාලිකා ප්‍රධානීන් සහ ඉන්න නාලිකා ප්‍රධානීන් ඇතුළු සිරස කණ්ඩායමම මතක් කරනවා. ඒ වගේම මගේ ප්‍රේක්ෂකයින් තමයි මගේ ලොකුම ශක්තිය. ඔවුන්වත් ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20210316apsara-2 20210316apsara-3 20210316apsara-4 20210316apsara-5 20210316apsara-7