මඩ ගහන්න කට තිබ්බට හරියට කකුලක්වත් උස්සගන්න බෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනූෂි.. අපි ඔයාගේ ගම්පළාත සහ පවුලේ විස්තරත් එක්ක මේ කතාබහ පටන්ගමු?

මගේ ගම්පළාත මොරටුව කටුබැද්දේ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි අප්පච්චියි මල්ලිලා දෙන්නයි මමයි. මම තමයි පවුලේ වැඩිමලා. මගේ අප්පච්චිගේ නම පත්මසිරි. ඔහු ව්‍යාපාරිකයෙක්. මගේ අම්මගේ නම චන්ද්‍රිකා. අම්මා රුකියාවක් කරන්නෙ නැහැ. ඒත් ගෙදර හැම වැඩ කටයුත්තක්ම කරන ගමන් අම්මා මාත් එක්ක හැමතැනකටම යන්නත් එනවා.

දිනූෂි.. අධ්‍යාපනය ලැබුවේ මොන පාසලේද?

මම ඉගෙනගත්තේ දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ. පාසල් ජීවිතය මට හරි සුන්දරයි. අමතක නොවන අපූරු පාසල් කාලයක් මට තිබුණා. පාසලේදී මම බොහෝ බාහිර ක්‍රියාකාරකම් කළා. විවාද කණ්ඩායමේ සාමාජිකාවක් වුණා. රඟපෑවා. නිවේදනය කළා. ඉස්කෝලෙ හැමෝම මට හරි ආදරෙයි. ඉස්කෝලෙන් ලැබුණු ඒ අවස්ථා නිසා තමයි අද මට මේ අවස්ථාව ලැබිලා තියෙන්නෙ.

පාසල් අධ්‍යාපනයෙන් පසුව දිනූෂි විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවද?

ඔව්.. තාමත් මම කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබනවා. කැලණිය විශ්වවිද්‍යාලයේදී මම ජාත්‍යන්තර අධ්‍යයනය තමයි ඉගෙන ගන්නෙ. ඊට අමතරව මම ජර්මන් භාෂාවත් ඉගෙන ගන්නවා.

පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද?

චූටි කාලේ ඉඳන්ම මම නීතිඥවරියක් වෙන්න ආසා කළා. ඒ නිසාම මම පාසලේ විවාද කණ්ඩායමටත් බැඳුණා. ඒ ඔස්සේ විවිධ දස්කම් දැක්වූවා. උසස් පෙළට කලා විෂයන් තෝරාගත්තෙ නීතිවේදය කරන්න හිතාගෙනයි. නමුත් අවසානයේදී මාව කැලණි විශ්වවිද්‍යාලයට තමයි තේරුණේ. ඒ නිසා පුංචි කාලෙදී මම දැකපු හීනය මගේ අතින් මඟහැරුණා.

ළමා කාලෙදී මල්ලිලා දෙන්නත් එක්ක දිනූෂි ගත කරපු ජීවිතේ කොහොමද?

මට වඩා ලොකු මල්ලි අවුරුදු හතරක් බාලයි. චූටි මල්ලි අවුරුදු අටක් බාලයි. චූටි කාලෙදීනම් මම ඒ දෙන්නා එක්ක සෙල්ලම් කරද්දී චූටි චූටි රණ්ඩුනම් කළා. හැබැයි ඒ දෙන්නා මට හරි ආසයි. දැන්නම් අපි තුන්දෙනාම හරි හොඳයි. දැන් මගේ හොඳම රසිකයෝ දෙන්නා තමයි මගේ මල්ලිලා දෙන්නා.

කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු දිනූෂිට ධරණි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ අවුරුදු කුමාරි තරගයෙන්. එහෙම නේද?

ඔව්.. 2020 අවුරුද්දේ දෙරණ අවුරුදු කුමාරි තරගය තිබුණේ online ක්‍රමයටයි. ඒකට මමත් ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් මට තුන්වැනි ස්ථානය හිමිවුණා. ඒකෙන් පස්සෙ තමයි මට ධරණි ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ධරණි ටෙලිනාට්‍යයේ මම රඟපාන්නෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විනුලි කියන ගැහැනු ළමයගේ චරිතයයි. අවුරුදු කුමාරි තරගයට මම ඉදිරිපත් වෙන්න හිතුවෙවත් නැහැ. මම හොඳට දන්න ශ්වේනි නංගි තමයි මම වෙනුවෙන් මගේ පවා තරගයට ඉදිරිපත් කළේ. මම ඇඳගෙන හිටපු රෙද්ද හැට්ටේ වුණත් ශ්වේනි නංගිගේ අක්කාගේ ඇඳුමකින් තමයි අපි හදාගත්තෙ. මටත් වඩා මම ගැන උනන්දුවක් ශ්වේනි නංගි ඇතුළු එයාගේ පවුලේ අයට තිබුණා. ඒ දුන්නු සහයෝගයට මම ගොඩක් ස්තූති කරන්න ඕනෙ.

ධරණි ඔබගේ මුල්ම රංගනයයි. ලෙහෙසි වුණාද?

හිතුව තරම් ලෙහෙසි වුණේ නැහැ. පාසල් වේදිකාව මට නුහුරු තැනක් වුණේ නැහැ. පාසල් නාට්‍ය කිහිපයකම මම රඟපාලා තිබුණා. හැබැයි කැමරා, ලයිට් ඉස්සරහ රඟපාපු අවස්ථාවත් එක්ක මම වෙනස්ම වුණා. ඒ වෙනුවෙන් ධරණි අධ්‍යක්ෂ සහ මුළු කණ්ඩායමටම ස්තූති කරන්න ඕනෙ. මම පාසලේ විවාද කණ්ඩායමෙත් සමස්ත ලංකා පාසල් විවාද කණ්ඩායමෙත් ජයග්‍රහණ පවා ලබා තියෙනවා. පාසලෙත් මම හැමදේකටම සහභාගි වුණු ශිෂ්‍යාවක් වුණා. රංජිනී සිස්ටර් වගේම සියලුම ගුරු මණ්ඩලය මේ වෙලාවේ මගේ මතකයට එනවා. ඒ හැමෝම මට හරි ආදරෙයි. පාසලෙන් ලැබුණු හොඳ දේවල් නිසා පාසල් වැඩ කටයුතු වගේම පාසල් බාහිර වැඩ කටයුතුත් සමබරව කරගෙන යන්න මට පුළුවන් වුණා.

ධරණි නාට්‍යයේ හැමවෙලේම ගහගන්නෙ ඇයි? මේ නිසා දිනූෂිට සමහරුන්ගෙන් විවේචන එල්ල වෙනවා නේද?

අපේ නාට්‍යයේ සටන් අධ්‍යක්ෂණය කරන්නෙ ඔසඳ සමන් බණ්ඩාරයි. නාට්‍ය රූගත කිරීම් කරන්න මාස දෙකකට පමණ පෙර ඔසඳ මාස්ටර් අපේ සටන් පුහුණුවීම් පටන් ගත්තා. ඊට පෙර මම සටන් ශිල්පය හදාරලා තිබුණේ නැහැ. ඒ පුහුණුවීම්වලින් පස්සෙ තමයි අපි ඒ නිර්මාණයට දායක වෙන්නෙ. සමාජ මාධ්‍ය හරහා සමහරු අපේ රඟපෑම් විවේචනය කරලා තියෙන බව මාත් දකිනවා. ඒක තමයි ලංකාවේ ජීවත් වන සමහර මිනිස්සුන්ගෙ හැටි. ඒ දේවල් සාමාන්‍යයයි. සමහර මිනිස්සුන්ට කකුලවත් උස්සගන්න පණ නැති වුණත් අපි දෙන්නා ටෙලිනාට්‍යයේ කරන සමහර සටන් ජවනිකා ගැන බොරු විවේචන කරනවා. ඒ බොහෝ දෙනෙක් keyboard වීරයෝ විතරයි. එහෙම අපිව විවේචනය කරන අයගේ මූණවල් අපිට පේන්නෙ නැහැ. සමහරවිට ඒ මිනිස්සුන්ට ඇවිදගන්නවත් බැරිවෙන්න පුළුවන්. නමුත් ඒ අය අපි ගැන post හදලා ඒවා share කරනවා. පිටරටක මෙහෙම වුණානම් wonder women වෙනවා. නමුත් ලංකාවේ සමහර මිනිස්සුන් හිතන පතන විදිහ වෙනස්. විවේචන එනවා. සමහර post දැකලා මටම හිනා යනවා. ඇත්තටම ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ කියලත් හිතෙනවා. හැබැයි ඒ හැම post එකකින්ම හිතට දැනෙන්නෙ පුදුමාකාර හයියක්. ඒ නිසා එහෙම අපිව විවේචනය කිරීමත් අපිට ලබා දෙන ලොකු සහයෝගයක්. මේ හැමදෙයක්ම බොහොම තාවකාලික දේවල්. අලුත් දෙයක් විවේචනය කරන්න ලැබුණාම මිනිස්සුන්ට අනිත් හැමදේම අමතකයි. ඒ දේ මම තේරුම් අරගෙනයි ඉන්නෙ.

මේ ටෙලිනාට්‍යයට අමතරව තවත් නිර්මාණවලට දායකවෙලා තියෙනවද?

නැහැ. ටෙලිනාට්‍ය නිර්මාණ ගත්තොත් තවම කරන්නෙ මේ ටෙලිනාට්‍ය විතරයි. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලටනම් දායකත්වය ලබා දුන්නා. ධරණි මුළු කණ්ඩායමම අපිට අපේ ගෙදර අය වගෙයි. පුදුම සහයෝගයක් අපිට ලබා දෙන්නේ. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නෙ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක සහ තිර රචනය කරන්නෙ නිදුක් මධුෂික අයියයි. ඉතින් ශ්‍රියන්ත අයියා, නිදුක් අයියා, මහේෂ් ඉන්දික අයියා ඇතුළු මුළු කණ්ඩායමෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු රංගනයෙන් දායකවෙන හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අපි එක පවුලක් වගෙයි. ඒ හැමෝටම ගොඩක් ස්තූති කරන්න ඕනෙ. 

මොකද අද හිතෙන්නෙ?

ලොකු සතුටක් දැනෙනවා. මේ මගේ මුල්ම රංගනයයි. අඩුපාඩු බොහොමයක් ඇති. ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා. තාම මම මේ ක්ෂේත්‍රයට කූඹියෙක් වගෙයි. ඒ නිසා අඩුපාඩු හදාගෙන මේ ක්ෂේත්‍රයට එකතු වෙන්න ආසයි. විශ්වවිද්‍යාලයේ මම ඉගෙනගන්නෙ තුන්වැනි වසරෙයි. ඉතින් ඒ හැමදේම සමබරව කරගෙන කාටත් කරදරයක් වෙන්නෙ නැතිව මේ ගමන යන්න මම ආසයි.

දිශානි ජයමාලි කරුණාරත්න  / සේයාරූ I සුමුදු හේවාපතිරණ

20210327Diushi (3) 20210327Diushi (2) 20210327Diushi (1)