මම ඒ අයට සමාව දෙනවා - මින් ඉදිරියටවත් මෙහෙම හැසිරෙන්න එපා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

-මිසිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ පුෂ්පිකාද සිල්වා

ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය වෙනුවෙන් පසුගියදා පැවැත් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරගය උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය.එහිදී මෙරට විවාහක රූ රැජිණ කිරුළ පුෂ්පිකා ද සිල්වාට හිමි වූ අතර සුළු මොහොතකින් අදාළ තීරණයට විරුද්ධව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණද වන කැරොලින් ජූරි අදාළ තරගකාරියගේ හිසෙහි පැලඳ තිබූ ඔටුන්න ගලවා දෙවැනි ස්ථානය දිනූ තරගකාරිය විවාහක රූ රැජිණ ලෙස නම් කළේය. කෙසේ නමුත් ඊට පසු දින පුෂ්පිකා ද සිල්වා නැවතත්  විවාහ රූ රැජිණ ලෙස නම්කර ඇයට යළිත් කිරුළු පැලඳූ අතර, එම සිදුවීම් මාලාව පිළිබඳව කතා බහ කිරීමට පුෂ්පිකාද සිල්වා 'අද' සමග මෙලෙස එක් විය.

කිරුළ ලැබුණු අභිමානය කොහොමද?

සතුටුයි. නමුත් ඒ ගැන කියන්න වචන නැහැ. ඇත්තටම ඒ වෙලාවේ උදව් කරපු ගොඩක් පිරිසක් ඉන්නවා. මුලින්ම මතක් කරන්න ඕනේ රෝසි සේනානායක මැතිනිය. ඇය සෑහෙන්න මට වෙච්ච අසාධාරණය වෙනුවෙන් පෙනී හිටියා. මේ වෙලාවේ ජාති ආගම් කුල පක්ෂ පාට භේදයකින් තොරව ලංකාවේ ඉන්න සියලු දෙනාම සහ මුළු ලෝකයක් එකතු වුණා මේ වෙච්ච අසාධාරණය වෙනුවෙන්. ඒ අයව මම මුලින්ම මතක් කරන්න කැමතියි. බොහොම ස්තූතියි ඒ අය මං වෙනුවෙන් හිට ගත්තාට. සමාජ මාධ්‍ය, ප්‍රධාන මාධ්‍ය ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණාට ස්තූතියි. ඇත්තටම මට හරිම මහන්සියි. මොකද ඒ පීඩනය දරා ගන්න හරිම අමාරු වුණා. නමුත් මට දෙවියන් වහන්සේ ඉවසීමේ ශක්තිය මට දුන්නා ඒ හැමදේම දරා ගන්න ඒ දේවල්වලට මුහුණ දෙන්න. ඒ දේම මට ඇති, ඒ ජයග්‍රහණයම මට ඇති. මම කිරුළට වඩා මගේ ආත්ම ගෞරුත්වය ගැන හිතන කෙනෙක්. ඉතිං ඒකත් මගේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා.

මගේ ජීවිතයේ වටින ලොකුම කිරුළ තමයි ඉවසීම කියන දේ. ඉතිං මට දැනෙන්නේ ලෝකයම දිනලා ඉන්නවා කියන හැඟීමයි. මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කිරුළටත් වඩා එහා ගියපු, ලෝකයක් දිනපු, ජනතාවගේ ආදරය කරුණාව ඒ හැමදේම දිනා ගත්තා කියන දේ තමයි දැනෙන්නේ. ඒක මට ලොකු ආශීර්වාදයක් දෙවියන් වහන්සේගෙන් දැනිච්ච.

 

වෙන අයට ජයග්‍රාහික කිරුළක් ලැබෙන්නේ මේ විදිහට නෙමෙයි, ගරුත්වයට හානියක් වෙලා තමයි කිරුළක් පළදින්න වුණේ?

ඇත්තටම මෙය මම ජීවිතයට හිතුවේ නැහැ සහ බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මට තියා මගේ හතුරෙකුටවත්. මම ඔය වගේ සිද්ධියක් දැකලා තියෙනවා මිස් යුනිවර්ස් පැජන්ට් එකේ. නමුත් මෙච්චර මෙහෙම අශීලාචාර විදිහට නෙමෙයි ඒ දෙය වුණේ. ගොඩක් දෙන්නෙක් තවත් ගැහැනු කෙනෙක්ට මෙහෙම කරන විදිහයක් ඇත්තටම දැක්කා කියලා ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වලා තිබුණා. මෙය අපේ බියුටි පැජන්ට් එකකට වඩා ගොඩක් බලපාන්නේ ලංකාව කියන අපේ රටේ කීර්තියටයි. ලංකාවේ මිනිස්සු මෙහෙමද, ඒ අයගේ බුද්ධි මට්ටම මෙහෙමද කියලයි ගොඩක් දෙනා කතා කරන්නේ. ඉතිං ඒක ඇත්තටම දුක් වෙන්න ඕනේ කාරණාවක්. අපි එහෙම විය යුතු නැහැ. අපි ශ්‍රී ලාංකික පුරවැසියෝ විදිහට අපිට වගකීමක් තියෙනවා, ආත්ම ගරුත්වයක් තියෙනවා. ඒක ඇත්තටම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි.

හිතා ගන්න බැරි දෙයක් වුණේ. පහුවදා උදේ නැගිට්ටට පස්සේ තමයි මං දන්නේ මට මොකක්ද වුණේ කියලා. දැනටත් මට ඒක හීනයක් වගේ. නමුත් ඒ අය කරන නරක ඒ අය ගෙනියයි. මම කරන හොඳ මම ගෙනි යයි. මම හොඳ කරපු නිසා, මම හෘද සාක්ෂියට එකඟව ජීවත් වුණා සහ තරග කරපු නිසා තමයි මට කිරුළ හිමි වුණේ. නැත්නම් දෙවියන් වහන්සේගේ ආශීර්වාදය මට ලැබෙන්නේ නැහැනේ. ඒක තමයි මම විශ්වාස කරන එකම දේ.

මෙහි ලොකුම ගැටලුව තිබෙන්නේ ඔබේ මේ දික්කසාදය පිළිබඳව කියන ප්‍රශ්නයයි, ඒ නිසා ඔබ ජාත්‍යන්තරයේදී තරග කරන අවස්ථාවේදී මේ කාරණාව නැවත මතු වුණොත් මෙහි හානිය ලංකාවේ කීර්ති නාමයට සහ ජාතික අධ්‍යක්ෂකවරයා වන චන්දිමාල් ජයසිංහට නේද?

එහෙම ප්‍රශ්නයක් කොහොමත් ඇති වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට සම්පූර්ණ විසඳුම ලැබිලා තියෙන්නේ. හැමෝම මේ පිළිබඳව හොයන්නේ බලන්නේ නැතුව කිව්වේ මම දික්කසාද වෙච්ච කෙනෙක් කියලා. නමුත් මම දැනටත් විවාහකයි. කාටවත් කියන්න බැහැ මම දික්කසාදයි කියලා. දික්කසාද පත්‍රයක් මගේ අතේ තාම නැහැනේ. මම තව අවුරුද්දකින් හරි දෙකකින් හරි දික්කසාද වුණත් දැනට මම විවාහකයි. මේ රටේ නීතියට අනුව තමයි අපි වැඩ කරන්නේ. මේ තරගයට අදාළ සුදුසුකම බලලා තමයි මම මේ තරගයට සහභාගි වුණේ. ඇත්තටම මට මොළයක් නැති කෙනෙක් නෙමෙයි නේ. මගේ කාලය, ශ්‍රමය, මුදල් වැය කරලා මෙච්චර මහන්සි වෙලා ටයිටල් 03ක් තියෙන කෙනෙක් විදිහට අවධානමක් ගන්නේ මේ අවුරුදු 10ක ඇතුළත මම හදා ගත්ත ප්‍රතිරූපයට මම හානි කර ගන්න නෙමෙයිනේ. මම හැම තිස්සෙම මගේ ආත්ම ගරුත්වය ගැන හිතන කෙනෙක්. එහෙම කෙනෙක් මේවගේ අවධානමක් අරගෙන තමන්ගේ තියෙන දේවල් නැති කර ගන්න මේ වගේ තරගයකට එයිද. එච්චරටම මොළයක් නැති කෙනෙක් විදිහට මම වැඩ කරන්නේ නැහැ. ඒක ඕනෙම කෙනෙක් දන්නවා. මම මොනා හරි දෙයක් කරනවා නම් හැමදේම ගැනම හොයලා බලලා තමයි මම ඒ හැමදේම කරන්නේ.

මේ කාරණාවේ වැරැද්ද කොතැනද?

මෙතන ඔක්කෝටම වඩා තිබුණේ පැහැදිලි ඊරිසියාවක්. මම දන්නේ නැහැ ඒ දෙන්නා මේ විදිහට හැසිරුනේ කාගේ අනුදැනුම මතද, මේ දෙන්නව මෙහෙය වූයේ කවුද කියලවත්. වේදිකාවේ හැසිරුනේ ක්වීන් කෙනෙක් හැසිරෙන්න ඕන විදිහට නෙමෙයි. අඩුම තරමේ ගැහැනු කෙනෙක් විදිහටවත් නෙමෙයිනේ. ඒ හැසිරුනු විදිහෙන් පිරිහෙන්නේ ඒ අය. මම ඒ අයට සමාව දීලා තියෙන්නේ. නමුත් මින් ඉදිරියටවත් ඒ අයට මේ විදිහට හැසිරෙන්න එපා කියන ඉල්ලීම මම කරනවා. හොයලා බලන්නේ නැතුවනේ ඒ අය මේ විදිහට කටයුතු කළේ. මගේ සැමියත් ප්‍රකාශයක් දීලා තිබුණා මම තාම දික්කසාද නැහැ කියලා. තව දෙයක් නැහැනේ. අදාළ පාර්ශ්වවලටත් මම ඒ අවශ්‍ය හැම ලියවිල්ලක්ම මම දීලා තියෙනවා. වර්ල්ඩ් පැජන්ට් එකටත් දීලා තියෙනවා. වර්ල්ඩ් පැජන්ට් එකට ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයට ප්‍රශ්නයක් වෙන්නත් ඕනේ නැහැනේ.

රටක් විදිහට අපි කතා කරන්න ඕනේ මෙතන තියෙන වැරදි නෙමෙයි. මේ කෙනා අපේ රට නියෝජනය කරන කෙනෙක් විදිහට දෙන්න ඕනේ සහයෝගය මොකක්ද කියන දේ. මේ ප්‍රශ්න විසඳන විධි තියෙනවා. ඕනෙම කෙනෙක්ට ආත්ම ගරුත්වයක් තියෙනවා. අනිත් එක අද  කොච්චර දක්ෂතා තියෙන කාන්තාවන් දික්කසාද වෙලා කොච්චර ඉන්නවාද. ඒ අයට මොකක්ද තියෙන අඩුව. ඇයි ඒ අයව මෙහෙම කොන් කරන්නේ. ඒ ගොල්ලන්ව කොන් කරන්න එපා. කාන්තාව කියන්නේ ලෝකයට ජීවියෙක් බිහි කරන කෙනෙක්. පිරිමි කෙනෙක් වුණත් ලෝකයට බිහි වෙන්නේ කාන්තාවකගෙන්. ඇය තරුණියක්, යෙහෙළියක්, බිරිඳක්, මවක්, මිත්තණියක් මේ හැම භූමිකාවක්ම නියෝජනය කරන කෙනෙක්. එතකොට ඇය විවාහ වුණාට පස්සේ බිරිඳක් විදිහට සැමියා වෙනුවෙන් දරුවො වෙනුවෙන් 365 දවසෙම ඇය මුළු ජීවිතයට පරිත්‍යාග කරනවා.

පෝය, සෙනසුරාදා ඉරිදා නිවාඩු නැතුව හැමදාම වැඩ කරන කෙනෙක්. අද ලංකාවේ දහදෙනෙක් ගත්තොත් නව දෙනෙක් දික්කසාද වෙලා. අද විවාහ වෙනවා හෙට දික්කසාද වෙනවා. එහෙම ගියොත් දක්ෂ හැම කාන්තාවටම විවාහක රූ රැජින තරගයට යන්න බැරි වෙයිනේ. ඒක හරි අසාධාරණයි එහෙම නීතියකුත් තියෙන එක.

ලෝක විවාහක රූ රැජිණ තරඟය සඳහා මානසිකව සූදානම් වෙන්න පුළුවන්ද?

ඇත්තෙන්ම බොරු කියන්න ඕනේ නැහැ. දැනටත් හොඳ මානසිකත්වයකින් නෙමෙයි මම ඉන්නේ. මට මගේ වෛද්‍යවරයා කිව්වේ විවේක ගන්න කියලා. මොකද ඒ ඇති වෙච්ච පීඩනය දරා ගන්න හරිම අමාරුයි. නමුත් ඒ දරා ගැනීමේ ශක්තිය මට හැමදාම දෙවියන් වහන්සේගෙන් ලැබුණා. බලන් හිටපු අය දන්නවා මිසිස් ශ්‍රී ලංකා පැජන්ට් එකට කොච්චර කැප කිරීම් කරාද කියලා.

මගේ උපරිම ශ්‍රමය, දායකත්ව දුන්නා. ඒ මට නෙමෙයි, මගේ රටට ගෞරවයක් ලබා දෙන්න ඕනේ නිසා. තුන්වැනි වරටත් විවාහක ලෝක රූ රැජින කිරුළ ලංකාවට අරන් එන්න ඕනේ හින්දා. මොකද හැම තිස්සේම රට ගැන ආඩම්බරයෙන් හිතන කෙනෙක්. අභිමානයෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම සිංහලයෙක් විදිහට ඉපදිලා. පොළොන්නරුවේ අධ්‍යාපනය ලබපු කාන්තාවක් විදිහට මම හරිම ආඩම්බර වෙනවා ශ්‍රී ලාංකික පුර වැසියෙක් වීම පිළිබඳව.

මවු භාෂාව සිංහල කතාකරන එක ගැන මම හරිම ආඩම්බර වෙනවා. අපි ලැජ්ජා වෙන්න ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් එකට නෙමෙයි. මවු භාෂාව කතා කරන්න බැරි එකටයි. මට හොඳට මගේ මවු භාෂාව කතා කරන්නත් පුළුවන්, ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන්. නමුත් මම හැම තිස්සේ නියෝජනය කරන්නෙම මගේ රට, මගේ ජාතිය රටේ සියලු දෙනාවමයි. භාෂාව වැදගත් නැහැ හරියට අනිත් දේවල් කරනවා නම්. ඇතැම් රටවල් බියුටි පැජන්ට්වල නියෝජනයේදී ඔවුන් භාවිත කරන්නේ ඔවුන්ගේ මව් භාෂාව. නමුත් ලංකාවේදී මවු භාෂාව භාවිත කරන එකත් ප්‍රශ්නයක් වුණා. පැජන්ට් එකේ හිටපු අය ඒක පොයින්ට් එකක් කරගෙන තිබුණා ඉංග්‍රීසි කතා කරන අයට තමයි මෙතන ලොකු වාසියක් තියෙන්නේ කියලා. නමුත් රෝසි මැතිනිය කිව්ව මෙතනට භාෂාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක කවුරුත් ප්‍රශ්නයක් කර ගන්න එපා. පරිවර්ථකයන් ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් කියන දේ. ඇයට බොහෝම ස්තූතිවන්ත වෙනවා ඇත්ත ඇති සැටියේ කතා කරපු එක සහ මට වෙච්ච අසාධාරණය වෙනුවෙන් ලොකු කර්තව්‍යයක් කරා. ඒ සඳහා බෙහෙවින් ස්තූථිවන්ත වෙනවා.

ඔබ පසුගියදා පැවැති සාකච්ඡාවේදී කියා සිටියා අප රටේ කාන්තාවන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ඉදිරියේදී පෙනී සිටිනවා කියලා. මේ කාරණාවට දේශපාලනය අදාළ වෙන්නේ කොහොමද? දේශපාලයට එන්නම ඕනද මේ දේවල් වෙනුවෙන් කටයුතු කරන්න?

නැහැ. දේශපාලනයට එන්නම අවශ්‍ය නැහැ සමාජ සත්කාර කරන්න. දේශපාලනය කියන්නේ යම් කිසි තනතුරක් යටතේ අපිට හම්බ වෙනවා වරප්‍රසාද, බලය, අදාළ අමාත්‍යාංශය යටතේ මුදල් හම්බ වෙනවා. එතනදී තනි පුද්ගලයෙකුට වඩා එතනදී අපිට ලැබෙන වපසරිය වැඩියි. නමුත් සමාජ සේවය කරන්න දේශපාලනයම අවශ්‍ය නැහැ. මිසිස් ශ්‍රී ලංකා කිරුළ එක්ක ජනතාව නියෝජනය කරන්න පුළුවන්. අපි කොහොමත් වර්ල්ඩ් පැජන්ට් එකට ගිහින් කරන්නෙත් රට නියෝජනය කරන එකනේ. දේශපාලනයම අවශ්‍ය නැහැ මේ කටයුතු සඳහා කියලා මම හිතනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ලහිරු හර්ෂණ

20210408Pushpika-1 20210408Pushpika-2 20210408Pushpika-3 20210408Pushpika-4 20210408Pushpika-5