මම වෙනස් වෙන්න දඟලන කෙනෙක් නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20210209Shanika (1)සිරස සුපර්ස්ටාර් සීසන් 03 හි කිරුළ දිනමින් බොහෝ දෙනාගේ ජනාදරයට පත් වූ ඇය නමින් ශානිකා මධුමාලි. ප්‍රසංග වේදිකාව තුළින් බොහෝ රසික පිරිස ආදය දිනා ගත් ඇය මෙවර ‘අද’ තරු කතාබහට එක් කර ගනු ලැබීය. මේ ඇය සමග කරනු ලැබූ කතාබහයි.

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මගේ අලුත් සිංදු දෙකක් එන්න තියෙනවා. යසස් මැදගෙදර සහ වාසව බදුගේ ගේ චිත්‍රපටක් වන ‘ආදරණිය ප්‍රාර්ථනා’ චිත්‍රපටයේ ගීතයක් එන්න තියෙනවා. ශෙයාන් ගලහිටියාව තමයි සිංදුව වචන කලේ. ඒ සිංදුව ගිය අවුරුද්දේ තමයි එළිදක්වන්න හිටියේ. නමුත් ඒක කරන්න වුනේ නැහැ. මේ අවුරුද්දේ ඒක එළිදක්වන්න ඉන්නවා. දෙවැනි සිංදුව ශෙහාන් ගලහිටියාව අයියාගේ වචන වලට කේෂාන් පෙරේරා අයියා  සංගීතය කරපු ගීතයක් එන්න තියෙනවා.

 

2020 සිංදු කිහිපයක් එළිදැක්වූවා නේද?

සිංදු 03 ක් එළිදැක්වූවා. මම ලොකුවම සමාජ මාධ්‍ය භාවිතා කරපු කෙනෙක් නෙමෙයි. ඉතිං මේ සිංදු කිහිපය එළිදැක්වූයේ සමාජ මාධ්‍ය ඔස්සේමයි. චැනල් වලට කිසිම දෙයක් මාර්ගයෙන් මේ ගීත ප්‍රචාර වුණේ නැහැ. මම කරපු Cover එක නම් චැනල් දෙක තුනක ප්‍රචාරය වුණා. එහිදී Cover Songs දෙකක් සහ මගේ අම්මාගේ උපන් දිනය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කලා.  

 

සිරස සුපර්ස්ටාර් කිරුළ දිනු ඔබේ ජනප්‍රියත්වය ප්‍රසංග වේදීකාවට පමණක්ද සීමා වූනේ?

මම ගොඩක් වැඩකටයුතු කලේ ප්‍රසංග වේදිකාව සමගයි. මගේ වැඩිම රසික පිරිසක් ඉන්නේ එතන. මම සීමා වුණා කියන්න බැහැ. නමුත් මම වැඩි වශයෙන් කටයුතු කලේ ප්‍රසංග වේදීකාව සමග තමයි.

 

එම කිරුළ තුළින් ලැබූ ප්‍රසිද්ධිය අඩුවක් වුනේ නැද්ද?

මෙහෙමයි, ප්‍රසිද්ධිය කියන එක අඩුවෙනවා. මොකද මම වැඩ කලේ සෑහෙන්න අඩුවෙන්. මම ප්‍රසිද්ධ වෙන සිංදු ගොඩක් කලේ නැහැ. මගේ සිංදු ප්‍රසිද්ධ වුනේ ඉතාමත් ස්වල්පයයි. ඒ අතරින්ම ගොඩක් ප්‍රසිද්ධ වුණේ යුග ගීත. ගොඩක් අය ඉතිං මම සුපර් ස්ටාර් වුණා කියලා දන්නවා. ඒ කාලෙත් ලොකුවට වැඩ කලේ නැහැ. පස්සේ සිරසෙන් මට CD එකක් කරලා දුන්නා ‘පුංචි කුඩේ’ කියලා. ඒ සිංදු ටික ආවට පස්සේ 2010 සිරස සුපර් ස්ටාර් වලින් අවසන් වෙලා තිබ්බ වැඩ වලට වැඩියෙන් 2015 න් පස්සේ වගේ මට සෑහෙන්න වැඩ තිබ්බා. ඒකේ තිබුන ගීත සිරස FM එකෙන් ගොඩක් ජනප්‍රිය කරා. ඉතිං ඒවා මාර්ගයෙන් ප්‍රසංග වේදිකාව තුළ වැඩකටයුතු කරා. ඉතිං ප්‍රසිද්ධය අඩුවුනාද වැඩි වුනාද කියන එක මම නම් දන්නේ නැහැ. නමුත් වැඩ තියෙන කාලෙට ප්‍රසංග වේදිකාවේ වැඩ තිබුණා.

 

සමාජ මාධ්‍ය වල එච්චරට කැපී පෙනෙන චරිතයක් නොවුනේ?

ඇත්තටම සමාජ මාධ්‍ය පිළිබඳව ලොකු දැනුමක් තිබුණේ නැහැ. සමාජ මාධ්‍ය හරියට පාවිච්චි කරන්න පටන් ගත්තේ 2019 වගේ. මගේ පෞද්ගලික මතය නම් කලාකරුවෙකුගේ සමාජ මාධ්‍ය හසුරුවන්න වෙනම කෙනෙක් ඉන්න ඕනේ කියන එකයි.

 

දැනුම නැති නිසාද? නැත්නම් සමාජ මාධ්‍ය වලින් නිර්මාණය වන ගොසිප් වැනි දේවල් නිසාද සීමා වුණේ?

දැනුමක් තිබ්බෙත් නැහැ. සමාජ මාධ්‍ය ඔස්සේ ඕනාවට වඩා ඉන්න ගියහමත් මඩ වදින එකත් නවත්වන්නත් බැහැනේ අපිට. මොකද අපේ පෞද්ගලික ජීවිතේ කිසිම දෙයක් ඒ ඔස්සේ ප්‍රසිද්ධ කරන්න බැහැ. ඒ නිසා මම ඒ පැත්තට බර වෙලා හිටපු කෙනෙක් නෙමෙයි.

 

මේ අවුරුද්දේ එන්න තියෙන්නේ මුලින්ම චිත්‍රපට ගීතයක්ද?

ඒක ඇත්තටම චිත්‍රපට ගීතයක් කියලා නෙමෙයි කලේ. මම ශෙහාන් අයියාගෙන් සහ යසස් අයියාගෙන් සිංදුවක් කර ගන්න සෑහෙන්න ආසාවෙන් හිටියේ. මම ඒක සෝලෝ ගීතයක් විදිහට කලේ. ඊට පස්සේ තමයි ශෙයාන් අයියා, වාසව අයියා, යසස් අයියා තමයි කිව්වේ මේ සිංදුව එයාලාගේ චිත්‍රපටයට ගන්නම් කියලා. මම හිතුවටත් වඩා ඒ සිංදුවට වටිනාකමක් එයාලා දුන්නා.

 

බොහෝ දෙනා කියනවා නේද ඔබේ එකම ආරෙක් ගීත පමණයි තියෙන්නේ කියලා?

මම ගායනා කරන්නේ මට පුළුවන් ඒවා විතරයි. මම වෙනස් වෙන්න දඟලන්නේ නැහැ. මම වෙනස් වෙන්න දඟලන කෙනෙක් නෙමෙයි. මට ඕනේ මම කරන වැඩේ හරියට කරන්න විතරයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

MUA- Madhushan Kumarasinghe

Photogrpher- Jordan Michael

Editor - Rishee Tharusha Nirz

20210209Shanika (2) 20210209Shanika (3) 20210209Shanika (4) 20210209Shanika (5)