මුලදි යාළුවෝ දැන් පෙම්වත්තු ඉස්සරහට විවාහවෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ ලස්සන රුමලි කේශීඩා රඟපෑම් අංශයට ආවේ දෙරණේ විකාශය වූ ‘‘පාවෙලා වළාකුළේ ඒවිද අම්මා’’ නාට්‍යයේ ටීෂා යන චරිතයෙනි. ඉන්පසුව තිරගතවීමට නියමිත අමුඩ රජා, ටියුබ්ලයිට් සහ තවත් චිත්‍රපටයකට දායක වූ ඇය පසුගියදා 2020 වසර සඳහා පැවැත්වූ මිහිකත රූ රැජිණ තරගයේදී Miss – Air අංශයේ කිරුළ දිනාගත්තා, මෙලෙසින් කටයුතු කරන රුමලි මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ නිරූපන ශිල්පිනියක ලෙස අතිශය කාර්යබහුල ශිල්පිනියකි. අද අපේ කතාබහ ලස්සන රුමලි සමගයි. 

20210226Hot (1)• රුමලි පාවෙලා වළාකුලෙන් පසුව ටෙලිවලට ආරාධනා නැද්ද? 

ආරාධනා ලැබුණා. ඒත් රංගන ශිල්පිනියක් ලෙස මම ආවේ දෙරණ එක්ක. එයාලා එක්ක තවත් එකක් කරන්න බාර ගත්ත නිසා වෙන ඒවාට ගියේ නැහැ. මොකද මම වචනයක් දුන්නොත් දුන්නාම තමයි. ඒත් අපි ගරු කරන්න ඕනෑ ආරාධනා නම් බොහෝමයි. 

• මේ දිනවල ඔබ වඩා ආසා නිරූපණයටද? 

පටන් ගත්තේ නිරූපණයෙන්. ඒකත් එක්ක නිතරම බිසි වුණා. මනාලියක් ලෙස සහ ෆැෂන්වලට නිතරම පෙනී සිටිනවා. වැඩ වැඩිපුරම ලැබෙන්නෙ ඒ අංශයෙන්. 

• හොඳ මුදලකුත් ලැබෙනවා ඇති? 

මුදලට වඩා මම කොමර්ෂල් එකක් කරද්දි එහි වටිනාකම සහ මගේ ප්‍රතිරූපයට හානියක් නැත්නම් කරනවා. මම බොහෝ දුරට බලන්නේ ඒ වැඩේ තියන ගුණාත්මක බවයි. මොකද මාවනෙ මම නියෝජනය කරන්නේ. 

• කොහොමද චිත්‍රපට ජීවිතේ ? 

තවම මගේ ප්‍රථම චිත්‍රපටය තිරගත වුණේ නැහැ. අමුඩ රජා ඒක හාස්‍ය රැගත් චිත්‍රපටයක්. බොහෝ ප්‍රවීනයින් සමග ප්‍රධාන චරිතයක් රඟපෑමේ අවස්ථා ලැබුණා. ඒක ඇත්තටම ලොකු අවස්ථාවක්. 

• ‘‘අමුඩ රජා’’ නිසා වෙච්ච රසවත් සිදුවීම් මොනවද? 

ඒ චිත්‍රපටයේ නයෙක් යොදා ගත්තා. මම වාහනය පදවාගෙන යද්දී නයා එහා සීට් එකේ. පුදුම බයකින් මම ගියේ. පපුව ගැහුණ වාර අනන්තයි. 

•  ටියුබ් ලයිට් චිත්‍රපටයේ වෙච්ච සිදුවීම් මොනවද? 

සාමාන්‍යයෙන් මම රූගත කිරීම්වලට යද්දි අම්මා නිතරම එනවා. කොවිඩ් ප්‍රශ්න තිබියදීත් අම්මයි මගෙ මල්ලියි දෙන්නාම ඇවිත් හිටියා. එය ත්‍රාසජනක සිදුවීම් ඇතුලත් චිත්‍රපටයක්. පළමු වතාවට එවැනි දේට මුහුණ දීමම අලුත් අත්දැකීමක්. හැබැයි ඉතින් සීරීම් ආදි තුවාලත් වුණා. ඉදිරියේදී ලකී සෙවන් චිත්‍රපටයට දායකවීමේ අපේක්ෂාවෙන් ඉන්නවා. එහි රංගපාන්නෙ විකට රජු බන්දු සමරසිංහ සමගයි. 

• මිස් Earth (මිහිකත රූ රැජින) ඒ ගැන කියමු 

ස්වභාවධර්මයට අනුකූලව අපි මිහිකත රැක ගනිමු යන තේමාව යටතේ පැවැත්වෙන එම රූ රැජින 2020 වසරේ තරගයේදී තමයි මට මේ සම්මානය ලැබුණේ. මට එහිදී කිරුළ හිමුවුණේ Miss – Air අංශයෙන්. ඒකට 2020 වසරේ පැවැත්වූ එකම රූ රැජින තරගය එය වීම තවත් විශේෂත්වයක්. මිස් අර්ත් කියන්නෙ ලෝක රූ රැජින තරග අතරේ තුන්වැනි තැන වගේ තියෙන ප්‍රමුඛ පෙළේ තරගාවලියක්. 

• ලංකාවෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද? 

හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ තරගය මෙහෙය වූවේ රොසෑන් ඩයස් මහත්මියයි. ඉතා ප්‍රමිතියක් යටතේ පැවැත්වූ තරගයක්. කොරෝනා නිසා සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පැවැත් වුණේ. ඒ ඔක්කෝම රැකගෙන. ලොකු අවදානයක් යොමු කරමින් පැවැත්වූ රූ රැජින තරගයක් ලෙස කවුරුත් ප්‍රසංශා කළා. 

• කොහොමද රුමලි ගේ ජීවිතේ 

හොඳයි. මේ කාලය අපි සැමෝටම අසීරුයි. එවැනි කාලයකදී මට පුද්ගලිකව ජයග්‍රහණයක් ලැබීම ලොකු සතුටක්. හැබැයි මට දුකකුත් තියෙනවා. මොකද මගේ පුංචි ඉන්නේ ඉතාලියේ. එයා එනකල් මග බලාගෙන ඉන්නෙ. 

• මිස් Air ලෙස මොනවද කරන්න තියෙන දේ? 

පරිසර දූෂණය අවමකර ගැනීම උදෙසා විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් සමාජය දැනුම්වත් කිරීම. විශේෂයෙන්ම සාගර කලාපය අවට ව්‍යාපෘතියක් දියත් කරලා තියෙන්නෙ. සාගර කලාපය පිරිසිදුව තබා ගැනීමට ජනතාව පෙළඹවීම එහි අරමුණයි. 

• රුමලි පරිසරයට ලැදිද? 

මගේ අවට සිටින සතුන්ගේ සිට ගේ, පරිසරය ගැන ලොකුවට හිතන කෙනෙක්. අපි ගන්න හුස්ම ටික පවා හොඳින් ගන්න පරිසයට හානි නොවන පරිදි ජීවත් වෙනවා. ප්ලාස්ටික් වතුර බෝතලයක්වත් ගන්නෙ නැහැ. ඒ වගේ දේ ගැන හිතලා තමයි කටයුතු කරන්නෙ. පුළුවන් සෑම වෙලාවකම ගහක් සිටුවනවා. සමහර විට පොඩි පැළයකින් පරිසරයට ලොකු සේවයක් වෙනවා. මේ ලැබුණු උප කිරුළ ප්‍රයෝජනයට ගෙන අපේ රටේ වන සංහාරය නැති කරන්න ක්‍රියාත්මක වෙන්න සූදානමින් ඉන්නෙ. ජාතික වන සංරක්ෂණ ආයතනය හා එක්ව ව්‍යාපෘතියක් දියත් කරන්න ඉන්නෙ. 

• රුමලි ලංකාවේ නිතරම සංචාරය කරන්න කැමතිද? 

මුහුද අවට කලාපයට හරි ආසයි. මට හරි නිදහසක් දැනෙන පරිසරයක්. ඒ  නිසා කැමතියි. 

• පීනන්නත් පුළුවන් 

අපොයි ඔව්. වයස අවුරුදු 7 සිට පිහිනුම් කරලා ලැබූ ජයග්‍රහණ සහතික පවා තියෙනවා. 

• මුහුදේ පීනලා තියෙනවද? 

පුහුණුවීම්වලට යද්දි සතියකට වතාවක් වෙරළ පුහුණුවට ගියා. සාමාන්‍ය දුරකට මුහුදේ පීනන්න පුළුවනි. 

• කොහොමද ලස්සන රුමලිගෙ ආදරේ? 

පාසල් කාලයේ සිට හමුවූ ප්‍රේමයක්. මුලදි අපි යාළුවෝ. දැන් පෙම්වතුන් ලෙස වසර ගණනාවක් ඇසුරු කරනවා. කවදාහරි ඒ විවාහය වේවි. 

• ආදරේ කොහොමද දැනෙන්නේ. 

තේරුම් ගැනීම වගේම දෙන්නට දෙන්නා අතර වූ විශ්වාසය තමයි ආදරය. බැඳීමක් පවතින්නෙ ඒ විශ්වාසය සහ ආදරය මතයි. 

• එයා කැමතිද රුමලි රඟපානවට? 

එයා ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඒ වුණාට මට අපේ අම්මා තාත්තා වගේම මගේ හීන සැබෑ කරගන්න ලොකු සහයෝගයක් දෙනවා. 

• ජීවිතේ ගැන හිතන්නෙ කොහොමද? 

වැඩ එක්ක කාර්ය බහුල වෙන්න කැමතියි. මගේ වැඩ ගැන මගේ ගැන අවධානයෙන් ඉන්න කැමතියි. වැඩකට ගියත් ඉක්මනට ගෙදර එන්න කැමතියි. පිටස්තරව නිකරුනේ කාලය ගත කරන්න කැමති නැහැ. මහන්සියෙන් කැපවීමෙන් ජීවිතය ජයගන්න උනන්දු වෙන කෙනෙක්. 

• රඟපෑමට නිරූපනයට එන්න හිතන ඔබ වගේ ලස්සන තරුණියන්ට මොන වගේ අවවාදයක් දෙන්නද කැමති.

නිතරම තමන් තමුන්ගේ වටිනාකම දෙන්න. ඒ වගේම අපි බාර ගන්න දේට උපරිම සාධාරණය කරන්න. මව්පියන්ට මූලික ගරුත්වය ගැන හිතලා කටයුතු කරනවා නම් ඒ තරුණියට වරදින්නෙ නැහැ. අනෙක ගොඩ බදා ගැනීමට වඩා ක්ෂණික තීරණ නොගෙන දුරදිග බලා කටයුතු කළොත් තමන්ට හොඳ ගමනක් යන්න පුළුවන්. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20210226Hot (2) 20210226Hot (3)