වැඩේ කරල නිහඬ වෙනවා, වැඩිය දඟලන්නෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පෑයූ තවත් රුවඇති, නුවණැති තුරුණු ශිල්පිනයක ලෙස ඇය නම් කරන්නට පුළුවනි. කටුගම්පොළ අප්පුහාමිලාගේ දෝන තරණි මනෝරා ගුණතිලක මේ රුවැත්තියගේ සම්පූර්ණ නාමයයයි. කොළඹ සරසවියේ නීති පීඨයේ අවසන් වසරේ සිසුවියක වන තරණි මනෝරා, රංගන ශිල්පිනියක ලෙස මේ දිනවල ප්‍රේක්ෂකයින් අතර එන්නේ, ස්වර්ණවාහිනියේ විකාශය කෙරෙන හදවතේ කතාව නාට්‍යයේ අචිනි නමැති චරිතය සමගය. හදවතේ කතාව එක්ක බොහෝ දෙනාගේ හදවත්වලට සමීප වූ රුව ඇති, නුවණැති, ගුණ ඇති මේ ලස්සසන තරණි මනෝරා එක්ක අපි කතාබහකට එක්වෙමු. 

• තරණි මනෝරා මේ නම් දෙකෙන් මොන නමින් ද ඔබට කතා කරන්න ඕනෑ. ?  

මේ නම් දෙකටම මම ආසයි. මනෝරා කියන වට වැඩිපුර කැමැතියි. 

• තේරුම? 

තරණි කියන්නේ ඉරට. මනෝරා කියන්නේ මනරම් කියන එකට. 

• හිරු එළියට මනරම් වූ ලස්සන මනෝරා ගැන හැඳින්වීමක් කළොත්? 

මගේ ගම මාකොළ. මුලින්ම ඉගෙන ගත්තේ සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයෙන්. උසස් පෙළ සමත් වෙලා කොළඹ සරසවියේ නීති පීඨයට තේරුණා. අද මම නීති පීඨයේ අවසන් වසරේ සිසුවියක්. ඒ අතරවාරයේදී තමයි කලා අංශයේ වැඩවලට සහභාගී වෙන්නෙ. 

• මනෝරාගේ පවුලේ විස්තර සඳහන් කරමු? 

අම්මයි - තාත්තයි, මල්ලියි මමයි. තාත්තා පුද්ගලික අංශයේ රැකියාවක් කරනවා. අම්මා ගෘහනියක්. මල්ලි ගණිත අංශයෙන් උසස් පෙළ හදාරණවා.

• මනෝරා කලා ක්ෂේත්‍රයට ආ විදිය පැහැදිලි කළොත්? 

මුලින්ම නිරුපණ අංශයේ කටයුතු කරන්න ලැබුණා. ඒ විදියට ඉන්නකොට රඟපෑමේ අවස්ථාව ලැබුණා. හදවතේ කතාවේ අචිනි වුණේ ඒ විදියටයි. 

• අචිනි සහ තරණි මොන වගේද? 

තරණිට වඩා අචිනි හරි වෙනස්. අචිනි කියන්නේ ගායකයකුට තදින්ම ආසා කරන තරුණියක්. කොච්චර දුරට ඇබ්බැහි වීමක් ද කිව්වොත් ඒ නිසාම එයා මානසික රෝගයකින් පෙළෙනවා. ඉදිරියේදී මේ චරිතය ගලා යන විදිය වෙනස් වේවි. 

• කොහොමද ලැබෙන ප්‍රතිචාර? 

හොඳ ප්‍රතිචාර වගේ සමහරු නොහොඳත් කියනවා. බොහෝ දෙනෙක් නාට්‍ය නරඹන බව ඒ ප්‍රතිචාරවලට අනුව කියන්න පුළුවනි. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා කියලා බොහෝ දෙනා කියද්දි ලොකු සතුටක් ඇති වෙන්නේ? 

• සැබෑ ජීවිතයේදී උන්මාදයකින් වගේ ආසා කරන ගායකයෙක් ඉන්නවද? 

එහෙම විශේෂ කෙනෙක් කියලා නැහැ. අරුතක් ඇති, මිහිරි සංගීතයක් ඇති ඕනෑම ගීතයකට ආසයි. 

• ප්‍රියතම ගායිකාවක්? 

එහෙමම විශේෂයක් නැහැ. 

• එතකොට ප්‍රියතම ගිතය? 

ශාස්ත්‍රීය පදනමක් ඇති ගීතවලට ආසයි. අමරදේව ශූරීන්ගේ, නන්දා මාලිනී මහත්මියගේ සහ අමරසිරි පීරිස් වැනි ප්‍රවීණයින්ගේ අරුත් බර ශාස්ත්‍රීය ගීත බොහොමයක් තියෙනවා. මම ඒවා අහන්න ආසයි. 

• ප්‍රථම රඟපෑම මොන වගේ අත්දැකීමක් ද ගෙන දුන්නේ? 

නවක රංගන ශිල්පිනියක නිසා එය ලොකු අත්දැකීමක් ගෙන දුන්නේ. ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක රඟපෑමට ලැබීමට ලොකු අවස්ථාවක්. ඒ නිසා ජීවිතයට ලැබුණු අත්දැකීම් බොහෝමයි. ජීවිතයට පන්නරයක් වෙන්නෙ අපි අද දවසේ ලබන අත්දැකීම්. ඒ නිසා මට නම් රංගනය කියන්නේ තවත් සරසවියකට ආ ගමනක් වගෙයි. 

• පාසල් ජීවිතයට හැරී බැලුවොත් මොනවටද එදා වඩා දක්ෂ වුණේ? 

ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ සපුගස්කන්ද බාලිකාවේ ඉගෙනුම ලබද්දි, සා/පෙළ දක්වා සිටියදී, පාසලේ පැවැත්වූ සියලුම කලා කටයුතුවලට පෙනී සිටියා. ඇත්තම කිව්වොත් හිටියෙ නැති ප්‍රසංගයක් නැති තරම්. නර්තනය වේවා, කථනය වේවා, රංගනය වේවා, ඒ ඕනෑම ඉසව්වකට හෝ තූර්ය වාදක කණ්ඩායමේ, ක්‍රීඩා අංශයේ එහෙමත් හිටියා. පාසලින් ලැබූ ඒ ආභාෂය නිසා මේ විදිහට ප්‍රසිද්ධ මාධ්‍යයට එන්න පුළුවන් වූ බව කියන්න පුළුවනි. 

• එදා ඔබගේ අරමුණ වුණේ? 

මුලින්ම නම් මගේ අරමුණ වුණේ නර්තන අංශයේ ගුරුවරියක වීමටයි. කලා අංශයෙන් උසස් පෙළ A සාමාර්ථ 3 ක් සමග විශිෂ්ට ලෙස සමත් වූ  නිසා නර්තන ගුරුවරියක වීමේ අරමුණ වෙනස් වුණා. කලා අංශයෙන් දිස්ත්‍රික්කයේ 16 වැනිදා ලෙසත්, දිවයිනේ 101 වැනියා ලෙසත් තේරුණා. ඒ ප්‍රතිඵල නිසා කොළඹ නීති පීඨයට තේරුණා. 

• ඉගෙනීමෙන් ලස්සන ගමනක් ආ මනෝරා රූපයෙනුත් ලස්සනයි.  මනෝරාගේ හිත මොනවගේද? 

පෙනුමෙන් මොන තරම් ලස්සන වුණත්, ඇතුළාන්තයෙන් අදහස් ලස්සන නැත්නම් වැඩක් නැහැ. ලස්සන දේ අගය කිරීමටත් පුරුදු වෙන්න ඕනෑ. ගැහැණු ළමයෙකුගේ පෙනුම වගේම හිතත් ලස්සන වෙන්නම ඕනෑ. 

• නීති විෂය කොහොමද? 

ලෙහෙසි විෂයයක් නෙවෙයි. නමුත් ඒ විෂයයට අදාළව අපි සෙවුම් බැලුම් කරමින් හදාරන්න පෙළැඹුණාම ඒ කෙරෙහි ආසාව ඇති වෙනවා. ඕනෑම දෙයක් උනන්දුවෙන් කළොත් ඒ විෂයය ගැන අමාරු වෙන්නේ නැහැ. මම නීති විෂයට ආසයි. 

• දැන් වයස කීයද? 

අවුරුදු 23 යි. 

• නුවණැති, රුවඇති, ලස්සන මනෝරාගේ ආදරේ මොන වගේද? 

ආදරේ ලස්සනයි. මට සරසවියෙ හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ නියැළීම එක්ක, රසික පිරිසකගේ ආදරය ලැබෙනවා. ඒ ඔක්කෝම වගේම ගෙදරින් ලැබෙන ආදරයත් සුන්දරයි. මාත් ඒ හැමෝටම වගේම අධ්‍යාපන කටයුතුවලට වගේම නිර්මාණ කටයුතුවලටත් ආදරෙයි. 
අනාගතයේදී නිසි පරිදි නිසි කලට පෙම්වතකුගේ ආදරයකුත් ලැබේවි. අද මම හදවතින්ම ආදරේ නීති අධ්‍යාපනයටයි. මොකද ෆයිනල් අවුරුද්දනෙ. ඒක හරිම අමාරුයි. සම්පූර්ණ අවධානය ඊට තිබිය යුතුයි. 

• තරණි කොහොම කෙනෙක්ද? 

මගෙ වැඩේ කරලා නිශ්ශබ්දව ඉන්න කැමති කෙනෙක්. වැඩිය දඟලන්න කැමති කෙනෙක් නෙවෙයි. අනුන්ට උදව් කරන්න හරි කැමැතියි. 

• අනාගත නීතිඥ නෝනා, නීතිඥ වෘත්තියයි රඟපෑමයි කොහොම කරාවිද? 

හැකියාව ඇත්නම්, අපි එයින් ප්‍රයෝජන ගැනීම කළ යුතු දෙයක්. අද තියෙන්නේ තරගකාරී ලෝකයක්. ඒ නිසා ඒ සෑම අංශයකින්ම දක්ෂ වීම තිබුණොත්, ශක්තිමත්ව රැඳී සිටින්න පුළුවන් වේවි. 

• තරණි සතු විශේෂම දේ? 

මම ඕනෑම කෙනෙකුගේ පුංචි දෙයක් හෝ අගය කරන කෙනෙක්. ඒකට මම හරි කැමැතියි. මම හිතන්නේ මිනිස්සුන්ට ලෝකයට මම ආදරය කරන කෙනෙක්. 

• මනෝරා ට හදවතේ කතාවේ රඟපාද්දි හද ගැහැණු අවස්ථා තියෙනවද? 

මුල්ම රූගත කිරීමට කැමරාව ඉස්සරහට ගියාම හද ගැහෙන වේගය වැඩි වුණා. දැන් නම් ටිකක් හුරුයි. ජීවිතේ හැම දෙයක්ම එහෙමනෙ. 

• ලස්සන මනෝරාට නළුවන්ගේ ආදරණීය යෝජනා එන්නේ නැද්ද? 

නැහැ. මොකද අපි හැමෝම හොඳ යාළුවෝ. එහෙම වුණාම අනවශ්‍ය යෝජනා එන්නේ නැහැ. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ -  හැඩගැන්වීම් - නිරෝෂා රණසිංහ

20210214Hot (1) 20210214Hot (2) 20210214Hot (3) 20210214Hot (4) 20210214Hot (5)