ශරීරයට දුක් දීලා ඇඟ කෙට්ටු කරගන්න දඟලන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රූපවාහිනිය, සිනමාව ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නිරූපිකාවක් ලෙසට මෙන්ම නිවේදිකාවක් ලෙසට ද හඳුන්වා දිය හැක. ක්ෂේත්‍රයට පෑයූ තරු අතර ඇය ද දීප්තිමත් තාරකාවක් බව මා අමුතුවෙන් සටහන් තැබිය යුතු නැත. ඇය නමින් ශලිනි තාරකාය. ලස්සන රහස් පිටුව සැරසෙන්නේ ඇය සමග කතා බහා කළ ලස්සනම ලස්සන අදහස්වලිනි. 

• එන්න එන්නම ලස්සන වීමේ රහස කුමක්ද? 

දකින හැමෝම ඔය කතාව කියනවා. මම හිතන්නේ ඉස්සරට වඩා මම දැන් මහත නිසා පිරුණු බවක් ලැබිලා තියෙනවා. ඒකත් එක්ක මාව ලස්සනට පෙන්වා ඇති කියලා තමයි මම නම් හිතන්නේ. 

• ලස්සන වෙන්න මොකුත්ම කරන්නේ නැද්ද? 

ලස්සන වෙන්නම නෙමෙයි, නිරෝගීව ඉන්න කියලා හිතලා නම් පොඩි පොඩි වැඩ ටිකක් කරනවා. වතුර බොන එකයි, ජිම් එකට යන එකයි තමයි ප්‍රධානම. ඊට අමතරව එළවළු, පළතුරු, පළාවර්ග පුළුවන් විදිහට ආහාරයට ගන්නවා. මම කොහොමටත් ශරීරයට දුක් දීලා ඇඟ කෙට්ටු වෙන්න දේවල් කරන්නේ නම් නෑ. හොඳට කනවා, ෂූට් එකකට ඇඟ කෙට්ටු කර ගන්න අවශ්‍ය වුණොත් කෑම පාලනය කරනවා. 
ඊට අමතරව ගෙදර ඉන්න දවසට කස්තුරි කහ, වෙනිවැල්ගැට කුඩු, සුඳු හඳුන් කුඩු එකට මිශ්‍ර කරලා ඒකට කිරි හෝ යෝගට් එකක් දාලා දෙහි බිංදු කිහිපයක් කලවම් කරලා මූණේ ගානවා. අව්වේ වැඩිපුර වේලාවක් හිටපු දවසට කඩල පිටියි, කහයි, කලවම් කරලා ඇල් වතුරෙන් අනලා ගානවා. මේ වගේ ස්වභාවික සත්කාරවලින් හම ආරක්ෂා වෙනවා වගේම හමට හොඳ දීප්තිමක් බවකුත් ලැබෙනවා. මේ හැමදේම කරන ගමන් මාසයකට දවසක් අනිවාර්යයෙන්ම සැලෝන් එකට ගිහින් මුහුණට අවශ්‍ය සත්කාරයි ඔයිල් ට්‍රීට්මන්ට් එකකුයි දා ගන්නවාමයි. 

• ඔබ වෙනදාට වඩා ලස්සනයි කියලා කවුරු හරි කියනකොට මොකද හිතෙන්නේ? 

ඇත්තටම ඕනෑම කාන්තාවක් මේ ලෝකේ අහන්න ආසම වචනය තමයි තමන් ලස්සනයි කියලා අහන වචනය. ඒ වචනය ඇහෙනකොට මටත් ඒ වගේම සතුටක් දැනෙනවා. ඒ වගේම මට ඒ වෙලාවේ තව දෙයක් හිතෙනවා. ඒ තමයි කෙනෙක්ව අගය කරන්න වචනයක් කියන කෙනෙක් මොන තරම් සුන්දර හදවතක් තියෙන කෙනෙක් වෙන්න ඕනෙද කියන එක. 

• ඔබට වඩා ලස්සන කෙනෙක් දැක්කාම මොනවාද හිතෙන්නේ. 

මොකුත් හිතෙන්නෑ. මම කරන්නේ ඒ ලස්සන කෙනා දිහා මට ඇති වෙනකං බලන් ඉන්න එක. 

• කාන්තාවක් තවත් කාන්තාවක් ලස්සනට ඉන්නවාට ඊර්ෂ්‍යා කරනවා නේද? 

එහෙම දෙයක් ගැන මම දන්නෑ. ලස්සන කාන්තාවකට ඊර්ෂ්‍යා කළා කියලා තමාට මොකුත් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඉතිං මම හිතන්නේ ඒවගේ දේවල් කරන්න ගියොත් වෙන්නේ අපි නොදැනුවත්වම පිරිහෙන එක. 

• කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ කුමක් නිසා කියලද ඔබ හිතන්නේ. 

මම හිතන්නේ හැමෝටම නැති ආකර්ෂණීය බවක්. ලස්සන ලැබෙන්න පෙර පිනක් තියෙන්න ඕනේ කියලා. ඊට අමතරව විශ්වය සමග අප කරනා ගනුදෙනුවක ආශිර්වාදයක් ලෙසට එවැනි භාග්‍යයක් ලැබෙන බවත් මම විශ්වාස කරනවා. 

• ලස්සන කියන්නේ ආඩම්බර විය යුතු දෙයක්ද? 

මම හිතන්නේ නම් ලස්සන කෙනෙක් තමන්ගේ ලස්සන තවත් ඔප්නංවා ගන්න කරගන්න ඕනේ නිහතමානී වෙන එක.

• කාන්තාවකට ලස්සන වැදගත් කියලා හිතනවාද? 

ඔව්. ලස්සන නිසා කාන්තාවකට විශේෂ පිළිගැනීමක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. 

• පෙරට වඩා වර්තමානයේදී සෑම කාන්තාවක්ම ලස්සනට ඉන්න උත්සාහ කරනවා. එය ඔබ දකින්නේ කොහොමද? 

කුමන් හෝ හේතුවක් නිසා එවැනි දෙයක් වෙලා තියෙන එක හරිම හොඳ දෙයක් විදිහටයි මම දකින්නේ. තරුණියන් වගේම, විවාහ වුණ අය තරුණ අම්මලා විතරක් නොවේ ඕනෑම වයසක කාන්තාවක් පිළිවෙළට, පිරිසිදුව ඉන්නවා නම් ඒක හරිම ප්‍රියජනකයි. රූපලාවන්‍ය නිෂ්පාදන නිසා හෝ අන්තර්ජාලය වැඩිපුර භාවිතා කරන නිසා තමන්ගේ ඡායාරූප අප්ඩේට් කිරීම වැනි කරුණු නිසා සිදුවෙලා තියෙන පෙරළියට නම් මම ගොඩක් කැමතියි. 

• ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව. 

බොහෝ කාන්තාවන් දැක තිබෙනවා. ඒ අතරින් මම මිශ්‍ර ජාතික කාන්තාවන්ට ගොඩක් කැමැතියි. 

• විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද? 

ඔව්. තැනට ගැළපෙන විදිහට, මට ගැළපෙන විදිහට විලාසිතා කරනවා. ඊට අමතරව ඉතිං වෘත්තිය අනුව, ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන විදිහට විලාසිතා තෝරාගනු ලබනවා. 

• ඇඟට ලස්සනම පාට. 

ලා පාට ඇඳුම්වලට මම ගොඩක් ආසයි.

• මූණේ තියෙන උපන් ලපය නිසා සුන්දරත්වය වැඩිවෙලා කියලා හිතන්නේ නැද්ද? 

ඒ උපන් ලපය දැන් මාව හඳුනාගැනීමේ අනන්‍යතාවක් බවට පත් වෙලා. මම නම් ඇත්තටම කැමතියි ඒක අයින් කරන්න. ඒත් අම්මා කැමති නැති නිසා තමයි උපන් ලපය තියාගෙන ඉන්නේ. 

• ලස්සන තිබූ පමණින්ම කෙනෙකුට ඉදිරියට යන්න පුළුවන්ද? 

බැහැ. හැකියාව, උනන්දුව, කැපවීම හැදෑරීම කියන දේ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. රංගනය වගේ ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න මේ හැම දේම එක්ක වාසනාව, ලැබීම කියන දේත් තිබිය යුතුයි. 

• වර්තමානයේ බොහෝ දෙනෙක් ලස්සනයි කියලා දකින්නේ හම සුදු වීම. ඒ ඔබත් අනුමත කරනවාද? 

සුදු වෙන එක පමණක් නොවේ. අද වෙන විට සමහර අය මූණ, නිකට, නහය, හම, හක්ක ඉඳලා ලොකු ගණන් වියදම් කරලා වෙනස් කරගෙන සුන්දර වෙන්න උත්සාහ කරනවා. ඒ වගේ අවදානම් දේවල් කරලා හිටියාටත් වඩා කැත වුණ අවස්ථා දැකලා තියෙනවා. 
ස්වභාව දහමෙන් අපට දුන්න සුන්දරත්වය මුළුමනින්ම වෙනස් කර ගන්න ගියොත් වෙන්නේ අපි නොදැනුම්වත්වම විරූපී වෙන එක. එවැනි දේ නොවිය යුතු දේවල් විදිහටයි මම නම් දකින්නේ. 
අපි කරලා තියෙන පිං මේ අනුව අපිට යම් රූපයක් ලැබිලා තියෙනවා. ඒක ආරක්ෂා කරගන්න එකයි ඇත්තටම අපි කරන්න ඕනේ. 

• හදවතින් ලස්සනට ඉන්න මොනවාද කරන්නේ. 

සෑම කෙනෙකුටම යහපතක් වෙන්න කියලා හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා. අනිත් අයට යහපතක් කරද්දි අපි නොදැනුවත්වම මේ විශ්වය අපිට යහපතක් කරනවා. ඒක මම ඉහළින්ම පිළිගන්න දෙයක්.

අසුන්තා එදිරිසූරිය

20210125Shalani-1 20210125Shalani-2