ශ්‍රව්‍යාබාධිතයන්ගේ ප්‍රථම Pizza Hut එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-18-ent-43

ලංකාවෙ අපිට නම් පීට්සා කියපු ගමන් මුලින්ම මතක් වෙන්නේ Pizza Hut එක. Pizza Hut ලොව පුරා විහිදුණු අවන්හල් ජාලයක්. ඔවුන් ගිය වසරේ දී සිය 25 වන සංවත්සරය සැමරුවා. එකී සංවත්සරයට සමගාමීව අපේ රටේ අලුත් ආරකින් පවත්වාගෙන යන Pizza Hut Outlet එකක් ගැන මෙවර ඔබවෙත ගෙනඒමට අපි සිතුවා. මේ Pizza Hut එක පිහිටා තිබෙන්නේ අංක 01, සිරිපා පාර, කොළඹ 05 යන ලිපිනයේ. තිඹිරිගස්යායෙ Pizza Hut එක කිව්වම මේ ගැන හැමෝම දන්නවා. මේ Pizza Hut එක තමයි මුළු ලෝකයේම විශේෂ අවශ්‍යතා සහිත සේවක පිරිසක් වැඩකරන එකම Pizza Hut Outlet එක. ඉතින් තිඹිරිගස්යායෙ Pizza Hut Outlet එකට ගියොත් ඔබට වෙනස්ම විදිහේ අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මුලින්ම කියන්න අවශ්‍යයි සාමාන්‍ය Pizza Hut එකකදී ඔබට දකින්න ලැබෙන සියලුම ආහාරපාන මෙහිදී ඇණවුම් කරන්න පුළුවන්. Pizza වලට අමතරව Appetizers, Pastas, Rice, Desserts, Beverages මෙහිදී මිලදී ගත හැකියි. ඒ වගේම මෙහි විශේෂ අවශ්‍යතා සහිත ශ්‍රව්‍යාබාධිත පිරිසක් සේවය කළත්, ඔවුන් පාරිභෝගිකයන්ට දක්වන සේවාවේ කිසිදු අඩුවක් නැහැ. සුහදශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ඉතාම ඉහළින් පාරිභෝගිකයන්ට ලබාදෙන්න ඔවුන් කටයුතු කරනවා. මෙහි සේවය කරන කළමනාකරු සහ සුපරීක්ෂකවරිය හැරෙන්නට අනෙක් සේවකයන් එකොළොස් දෙනාම ශ්‍රව්‍යාබාධිතයි.

දැන් ඔබට ගැටලුවක් ඇතිවෙන්න පුළුවන් ඔවුන් තම පාරිභෝගිකයන් සමග අදහස් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ සංඥා භාෂාව (Sign Language). පාරිභෝගික ඔබටත් සංඥා භාෂාව හැසිරවීමට අදාළ මාර්ගෝපදේශනයක් ලැබෙනවා. ඒ වගේම ඔබට ඇණවුම් කිරීමට අවශ්‍ය සියලුම දේ ටැබ් එකක් ආශ්‍රයෙන් තෝරාගැනීමට අවස්ථාව සලසාදී තිබෙන නිසා කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැහැ. මේ නිසා ඔබ ඇණවුම් කරන දේ ඔබටම දැකබලා ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝනයට ගැනීම සඳහා සෑම Dining Table එකකම buzzer එකක් සවිකර තිබෙනවා. හදිසියේ හෝ සන්නිවේදනයේ කිසියම් ගැටලුවක් ඇතුවුවහොත්, ඔබට පුළුවන් මේ buzzer එක ප්‍රයෝජනයට ගන්න. ඒ වගේම සෑම සේවා මුරයකම කතා කළ හැකි (ශ්‍රව්‍යාබාධිත නොවන) සුපරීක්ෂකවරයෙක් සේවයේ යොදවා තිබෙන නිසා පාරිභෝගිකයන්ට ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.

“ආරම්භයේ දී අපිට සංඥා භාෂාව ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. අපිත් මුලින්ම සංඥා භාෂාව පිළිබඳ හැදෑරුවා. ඒ වගේම ඇතැම් වචන සඳහා අපිට සංඥා ක්‍රම නිර්මාණය කරන්න සිදු වුණා. උදාහරණයක් කිව්වොත් %පීට්සා^ කියන වචනයට සංඥා ක්‍රමයක්, සංඥා භාෂාව තුළ නොතිබුණ නිසා අපිට සිදු වුණා එය නිර්මාණය කරගන්න. ” මෙම Pizza Hut අවන්හලේ කළමනාකරු මනෝජ් ප්‍රනාන්දු මහතා අප සමග පැවසුවේ මෙවැන්නකි.

“මෙතන සේවය කරන විශේෂ අවශ්‍යතා ඇති සෑම අයෙක්ම රත්මලාන විශේෂ හැකියා සහිත පුද්ගලයන් සඳහා වූ පාසලෙන් පේස්ට්‍රි සහ බේකරි ක්ෂේත්‍රය පිළිබඳ ඩිප්ලෝමාව ලැබූ පිරිසක්. අනිත් අතින් පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාරය නම් ඇත්තටම හරිම ඉහළයි. ඒ ප්‍රතිචාර ගැන හිතාගන්න බැහැ. හැමදෙනාගෙන්ම ලැබෙන්නෙ හොඳම ප්‍රතිචාර. මේ ඉන්නේ අපි වගේම සාමාන්‍ය පිරිසක්. අපි මේ Concept එකෙන් වැඩකරන්න පටන්ගන්නෙත් එය සියයට සියයක්ම සමාජ සේවයක් ලෙස සලකළා. ඉදිරියේදීත් මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත පිරිස් බඳවාගෙන ඒ අයට ඉතාම හොඳ Training එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට වෘත්තීය ජීවිතයේ ඉහළටම යන්න එය ඉතාම හොඳ අඩිතාලමක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ දී අපේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යක්ෂ කෞෂාල් මෙන්ඩිස් මහතාව සිහිපත් කළ යුතුමයි. එතුමා තමයි මේ ව්‍යාපෘතියට සම්පූර්ණ අඩිතාලම යෙදුවේ. ඒ වගේම මේ පිරිසගේ පුහුණුවීම් කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ බ්‍රයන් ගුණරත්න මහතා. එතුමාටත් විශේෂ ස්තුති පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්න කැමතියි.”

සතියේ සෑම දිනකම උදෑසන 11 සිට රාත්‍රී 11 දක්වා මේ Pizza Hut Outlet එක විවෘතව පවතිනවා. එකවර පාරිභෝගිකයින් 48 දෙනෙකුට අසුන් ගැනීමේ ඉඩපහුසකම් තිබෙනවා. නගරබදව පැවතියත් වෙනත් Pizza Hut Outlet එකකින් දකින්න බැරි නිදහස් වටපිටාවක් ඔබට මෙහිදී දකින්න පුළුවන් වේවි.

ඔබටත් මිනිසත්කම පිරුණු, අමතක නොවන Pizza Hut අත්දැකීමට මෙය සුවිශේෂී මාවතක් විවර කරාවි.....

 

සටහන - නදීශානි ගමගේ / ඡායාරූප - දුලිත ශ්‍රීනාත්

 

2019-01-18-ent-48 2019-01-18-ent-40 2019-01-18-ent-41 2019-01-18-ent-42  2019-01-18-ent-44 2019-01-18-ent-45 2019-01-18-ent-46 2019-01-18-ent-47